හමුදා සේවයට සිවිල් පාලන ක්‍රමවේදයන් අන්තර්ගත කිරීමට හෝ සිවිල් සේවයට හමුදා පාලන ක්‍රමවේදයන් මුහු කිරීමට යාම අතිශයින් බරපතල කාරණයක් බව 'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ'
සභාපති, හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
 
එවැනි මුහුන් කිරීමකට උත්සාහ ගෙන ඇති රටවල් වෙත්නම් ඒවා ඒකාධිපති ආඥාදායක රටවල් පමණක් බව පවසන කරු ජයසුරිය, එවැනි ක්‍රියා මාර්ග නිසා ඇතිවූ අහිතකර ප්‍රතිඵල පිලිබදව ලෝක ඉතිහාසය පුරාවට අමිහිරි මතකයන් ගනණාවක්ම ඉතිරි කර තිබෙන බව පෙන්වාදෙයි.
 
හිටපු හමුදා නිලධාරියකු මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විධායක නිලධාරියකු වූ කරු ජයසුරිය එබැව සඳහන් කර සිටියේ, අද (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
 
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
 
 
''අද අප රට තුළ සිදුවන බොහෝ දේවල් පිළිබදව සැලකීමේදී රටේ සහ මහජනතාවගේ යහපතට වඩා එක් එක් පුද්ගලයන්ගේ පටු අරමුණු හා අපේක්ෂාවන් මුදුන් පත්කරගැනීම සඳහා කටයුතු සිදුවන ආකාරයක් පෙනි යනවා. 
 
ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව රටේ යහපත ගැන මෙන්ම ජනතාවගේ සුබසෙත උදෙසා ගනිමින් සිටි වැදගත් ආදර්ශයන් හා ක්‍රියා මාර්ග දේශපාලන බලය සඳහා හෝ වේවා පටු ආර්ථික අරමුණු උදෙසා හෝ වේවා යම් යම් බලවත් චරිත විසින් අවභාවිතා කරන ආකාරයක් අදවනවිට දැකගත හැකියි. 
 
මේ එක්තරා විදිහකට භයානක තත්වයක් අනෙක් අතට ශෝචනීය කාරණයක්
 
''සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යැයි රටට පෙන්වා දෙමින් අද වනවිට මේ රට තුළ සිදුවන ඇතැම් කටයුතු රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පරදුවට තබා සිදු කරන සූදුවක් බවට පෙනෙන්නට තිබෙනවා.''
 
යුක්රේනය යනු අප ඉතාමත්ම ගරු කරන අපගේ මිත්‍ර රාජ්‍යයක්. නමුත් ඒ සමඟම අප අමතක නොකල යුතු කාරණය වන්නේ යුක්රේනය ඇතුළු ඒ අවට අනෙකුත් බොහෝ රටවලද විශේෂයෙන්ම යුරෝපය පුරාවටම අද වනවිට කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. 
 
නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වීම හා එහි ඇති වේගවත් පැතිරීම ගැන අද මුලු මහත් ලෝකයේම දැඩි අවධානයක් යොමුවී තිබෙනවා.
 
එවැනි පරිසරයක අපේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීමේදී රටක් විදිහට අප විශේෂයෙන්ම සැලකිලිමත්විය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. 
 
රටේ ජනතාවගේ සුබසෙත උදෙසා ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. සංචාරක ව්‍යාපාරයට ඇති හිතකාමී පරිසරය ස්වභාව ධර්මයෙන් අපට දුන් විශාල දායාදයක්. එයින් අප උපරිම ප්‍රයෝජන ගතයුතුයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. 
 
නමුත් අද වනවිට සමස්ත ලෝකය පුරාම මතුවෙමින් ඇති වසංගත රෝග අභියෝගය සැලකීමේදී සියල්ලටම පෙර අප සැලකිලිමත් විය යුත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනයි. 
 
රටේ ජනතාවගේ යහපත ගැනයි.
 
 

f4d28cb5a3c40a72e77da49cbeb6fe5d XL ''යුක්රේනයේ සිට කැදවාගෙන ඇති සංචාරකයන් සම්බන්ධයෙන් රටේ නිල සංචාරක බලධාරීන් පවා දැනුවත්ව ඉදලා නැහැ.''

 
නමුත් අද රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? පලවන මාධ්‍ය වාර්තා අනුව යුක්රේනයේ සිට කැදවාගෙන ඇති සංචාරකයන් සම්බන්ධයෙන් රටේ නිල සංචාරක බලධාරීන් පවා දැනුවත්ව ඉදලා නැහැ.
 
 මාධ්‍ය වාර්තාවලට අනුව පෙනී යන්නේ දේශපාලන බලය ඇති එක්තරා පිරිසක් රටේ සියලුම නීති හා සම්මත ක්‍රමවේදයන්ගෙන් බැහැරව මෙම කටයුත්ත සිදු කර ඇති බවයි. 
 
ඒ ගැන අද බොහෝ පාර්ශවයන්ගෙන් චෝදනා නැගෙනවා. එහි සත්‍යක් ඇත්නම් එය බරපතල වැරැද්දක්. අප එයට බලවත් විරෝධය පල කරන අතර අදාල බලධාරීන් වහාම මේ ගැන අවධානය යොමුකර නිවැරදි පියවර ගනු ඇතැයි ද අප අපේක්ෂා කරනවා.
 
 
 

 

තවත් ඛේදනීය පැත්තක් ?
 
''ශ්‍රි ලාංකිකයන් විශාල පිරිසක් විවිධ රටවල ඔවුන්ගේ රැකියා පවා අහිමි වී  ඉතාමත්ම අසරණව දුක් විදින තත්වයක් තුළ ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකරමින් යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දීම ගැන විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් අද වනවිට දැඩි විරෝධය පල කරමින් සිටිනවා. ''
 
 
මෙහි තවත් ඛේදනීය පැත්තක්ද තිබෙනවා. ශ්‍රි ලාංකිකයන් විශාල පිරිසක් විවිධ රටවල ඔවුන්ගේ රැකියා පවා අහිමි වී  ඉතාමත්ම අසරණව දුක් විදින තත්වයක් තුළ ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකරමින් යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දීම ගැන විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් අද වනවිට දැඩි විරෝධය පල කරමින් සිටිනවා. 
 
ශ්‍රී ලංකාව රටක් ලෙස පොදුවේ අනුගමනය කරන නිරෝධායන ක්‍රියාවලිය යුක්රේන සංචාරකයන් සඳහා අදාල නොකර ගනිමින් ඔවුන් වෙත දක්වා ඇති විශේෂ සැලකිල්ල රටට විදේශ විනිමය ගෙනඑන ශ්‍රී ලාංකිකයන්ට නොලැබෙන්නේ මන්දැයි ඔවුන් ප්‍රශ්ණ කරමින් සිටිනවා.
 
එක්තරා ශ්‍රි ලාංකික කාන්තාවක් අන්තර්ජාලය හරහා සිදුකර ඇති සංවේදී ආයාචනය ගැන මේ රටේ බලධාරීන් දැන්වත් අවධානය යොමුකල යුතුයි. 
 
එම දුක්ගැනවිල්ලෙන් කියවෙන ශෝචනීය කතාව කුමක්ද? ඇය මුලු මහත් ලෝකයටම ඇසෙන සේ කියන්නේ කුමක් ද? තම රටට ආපසු එන්නට අවශ්‍ය මුදල් සොයා ගැනීමට අද වනවිට ඇතැම් කාන්තාවන් තම ඇග විකුණන තත්වයකට පත්ව සිටින බවයි. 
 
එය මොන තරම් ශෝචනීය තත්වයක්ද. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මොන තරම් වේදනාකාරී පණිවිඩයක්ද? මේ රටේ දේශමාමක බලධාරීන්ට මේවා පෙනෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද? මෙවැනි දේවල් අසන්නට ලැබීම අපේ අවාසනාවක් ද? රටේ අවාසානාවක් ද? අද අපට ඇත්තේ එවැනි ප්‍රශ්ණයක්.
 
 

බංගාලියෙක් එක්ක බුදියලා හරි ලංකාවට එන්න සල්ලි හොයනවා“ අපි සාපකරනවා ඔබලාට..
 
 
දිස්ත්‍රික්කට හමුදා නිලධාරීන් 25 ක් !
 
 
ඒ වගේම තවත් එක් ප්‍රමුඛ වැදගත් කාරණයක් පිලිබදවද ඔබගේ අවධානය යොමු කිරීමට කැමති. 
 
මේ රටේ කොවිඩ් පාලනය සදහා යැයි ප්‍රකාශ කරමින් රටේ දිස්ත්‍රික්ක 25 සදහා ම අමතර හමුදා නිලධාරීන් 25 දෙනෙකු අද වනවිට පත්කර තිබෙනවා. 
 
ඒ ගැන සමාජය තුළ විවිධ මත පල වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ යම් අසහනකාරී වාතාවරණයක් මතුව ඇතැයි අපට වාර්තා වෙනවා.
 
ඔවුන් ඒ ගැන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට සම්බන්ධ මහා සංඝරත්නය වෙතත් අනෙකුත් ආගමික නායකයන් වෙතත් අප ව්‍යාපාරයටත් කරුණු දක්වමින් සිටිනවා.
 
ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායන්හි දී සිවිල් සේවය තරමට ම හමුදා සේවය ද ඉතා වැදගත්. 
 
එහිදී අප අවබෝධ කරගතයුතු කරුණ වන්නේ සිවිල් සේවයට වඩා සපුරාම වෙනස් වූ සුවිශේෂි අරමුණු හා වෙනස් සම්ප්‍රදායක් හමුදා සේවයෙන් අපේක්ෂා කරන බවයි. 
 
නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සෑම රටකම මේ ආයතන පද්ධති දෙක ඒ ඒ ආයනවවලින් අපේක්ෂා කරන සක්‍රීය, කාර්යක්ෂම හා විනය ගරුක සේවය එම ආයතනවලට අනුරූපී ආකාරයට වෙන් වෙන්ව පවත්වාගෙන යනවා මිසක එකට මුසු කරන්නේ නැහැ. 
 
හමුදා සේවයට සිවිල් පාලන ක්‍රමවේදයන් අන්තර්ගත කරන්නට හෝ සිවිල් සේවයට හමුදා පාලන ක්‍රමවේදයන් මුහු කරන්නට යන්නේ නැහැ. 
 
එවැනි මුහුන් කිරීමකට උත්සාහ ගෙන ඇති රටවල් වෙත්නම් ඒවා ඒකාධිපති ආඥාදායක රටවල් පමණයි. 
 
එවැනි ක්‍රියා මාර්ග නිසා ඇතිවූ අහිතකර ප්‍රතිඵල පිලිබදව ලෝක ඉතිහාසය පුරාවට අමිහිරි මතකයන් ගනණාවක්ම ඉතිරි කර තිබෙනවා.
 
 
 
''හිටපු හමුදා නිලධාරියෙකු වශයෙන් හමුදාවේ ඇති විශිෂ්ඨත්වය, කැපවීම, දක්ෂතාවයන් මෙන්ම විනය පිලිබදවද අපට හොද අවබෝධයක් තිබෙනවා. අප පෞද්ගලික අංශයේ සේවය කරද්දී විශ්‍රාමික හමුදා නිලධාරීන් හරහා විශිෂ්ඨ ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. නමුත් සක්‍රීය හමුදා සේවය හා සිවිල් සේවය යනු එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක්. ඒ බව අප තේරුම් ගතයුතුයි.'' - කරු ජයසුරිය 
 
 
 
මෙහිදී අපගේ පරිපාලන සේවයටද විශාල වගකීමක් තිබෙනවා. කිපවිටක්ම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සමඟ අප සම්බන්ධවී සිටි නිසා රාජ්‍ය සේවකයින්ගේ විශිෂ්ඨත්වය ගැන අපිට කතා කරන්න පුළුවන්. රාජ්‍ය සේවයේ ඇති හැකියාව හා දක්‍ෂකම මා පෞද්ගලිකව දැක තිබෙනවා.
 
1950 – 60 දශකයේ අපගේ රාජ්‍ය නිලධාරීන් ආසියාවේ රටවල් කිහිපයක කාර්යයක්‍ෂම රාජ්‍ය සේවා ඇති කිරීම සඳහා උපදෙස් දුන් ආකාරය වාර්තා වී තිබෙනවා. අපේ රාජ්‍ය සේවය ලෝකයේ ආදර්ශමත් රාජ්‍ය සේවයක් වශයෙන් ගෞරවය උපයා ගත්තා.
 
රාජ්‍ය සේවයේ පිරිහීම ඇතිවුණේ එය දේශපාලනීකරණය වූ නිසයි. කීර්තිමත් රාජ්‍ය සේවයක් විනාශ කිරිම ගැන සමහර දේශපාලඥයින් වගකිවයුතුයි. එමෙන්ම උසස්වීම් ලබාගැනීම සඳහා දේශපාලඥයන් පසුපස ගිය සමහර නිලධාරීන්ද සිටියා.
 
 
''2002 වර්ෂයේදී 17 වන සංශෝධනය ගෙන ආවේ යම් විදිහකින් හෝ මෙම තත්වය වෙනස් කිරිම සඳහායි. ඉන්පසු 2015 ගෙන ආ 19 වන සංශෝධනයෙන් රාජ්‍ය සේවකයාට ලැබිය යුතු ආරක්‍ෂාව හා ගෞරවය ලබාදුන්නා.''
 
 
 
20 වන සංශෝධනය ගෙනඒමෙන් පසු නැවතත් රාජ්‍ය සේවය දේශපාලනීකරණය වුණා. ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව හරහා කෙරුනු පත්වීම් දෙස අප බලන්නේ බලවත් වේදනාවෙන් හා කලකිරීමෙන්.ආණ්ඩුවේ පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාකාරිකයන්ව සිටි අය අද මෙම කොමිෂන් සභාවල තනතුරු දරමින් සිටිනවා.
 
අපි රජයට කියන්නේ මේ සඳහන් කල කරුණු ගැන අවධානය කල් නොයවා යොමු කරන්න කියායි. එසේ නොවුනහොත් දැඩි අසහනයට පත්ව ඇති ජනතාව නිසි පිළිතුරු දීම නවත්වන්නට බැරිවේවි.
 
ජනතාව කුපිත නොකරන ලෙස අපි රජයට යහපත් සිතින් කියනවා.''

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්