කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ රාජ්‍ය අයිතිය අත් නොහරින බවට පොරොන්දුවක් ලිඛිතව ලබා දීම
 අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව රජයේ නිල නිවේදනයක් එනතුරු විරෝධතා පවත්වාගෙන යාමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.
 
 නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව එම තීරණයට එළැඹ ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
 
රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය දේශීය සම්පත් අලෙවි නොකිරීම දේශීය සම්පත් විකුණා නොදැමීම යැයි පවසා ඇති අගමැතිවරයා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට විකිණීමට හෝ පාලනයට භාර දීමට කටයුතු නොකරන බව එම සාකච්ඡාවේදී අවධාරණය කළේයැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.
 
 
අදාළ කැබිනට් පත්‍රිකාවේ නිවේදනය පෙබරවාරි 02 වන දිනයේ ලැබෙනු ඇති බවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විශ්වාසය පළකරයි.
 
 
“ඒ නිල නිවේදනය එනතුරු අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත අරින්නේ නෑ,” යි එම සංගමයේ , සභාපති ප්‍රසන්න කළුතරගේ මාධ්‍යවේදීන්ට කියා සිටියේය.
 
“අපි හෙට දිනයේ දී මේ නිල නිවේදනය අපිට ආවට පසුව අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරිනු ලබනවා. ඒ කැබිනට් තීන්දුවේ වෙන දෙයක් තිබුණොත් එහෙම අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරින්නේ නෑ.”
 
කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය ඉන්දියාවට ලබා දීමට රජය කටයුතු කරන බවට චෝදනා කරමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් අරම්භ කර තිබුණි.
 
එය අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වීම සමග වරාය අධිකාරිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ ජනවාරි 31 ඉරිදා ප්‍රකාශ කර තිබුනේ  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බවයි.
 
කෙසේ වෙතත්, තම පොරොන්දුව ලිඛිතව ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
 
 
"එහි දී මා ප්‍රකාශ කළේ මගේ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසඳා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත් තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවත්" යැයි අගමැති මහින්ද රාජපක්ෂ සිය මුහුණු පොතෙහි සටහන් කර තිබේ.
 
 
 "එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව ද ප්‍රකාශ කළෙමි".
 
 විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඉදිරිපත් කළ බව පෙන්වා දුන් අගමැතිවරයා එහිදි පවසා ඇත්තේ  කමිටු වාර්තාවේ යෝජනා සම්බන්ධයෙන් විදේශීය සමාගම එකඟ නොවූ බැවින් නැගෙනහිර පර්යන්තය 100% වරාය ආධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පෙබරවාරි 1 සදුදා පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
 
 එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමෙ වෘත්තීය සමිති එකමුතුව එකඟ වු අතර ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව තීරණය කළ බව අගමැතිවරයා වැඩි දුරටත් දන්වා තිබේ.
 
 අගමැතිවරයා ලෙස තමන්  පවත්වන රැස්වීම්වල දී ගන්නා තීන්දු තීරණ එලෙස ම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී සිටින අතර තමා  ගන්නා තීරණ සාකච්ඡාවලට පමණක් සීමා නොවී ක්‍රියාවට නංවන බවත් එහි දී අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබේ.
 
 මෙම අවස්ථාව සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, වරාය හා නාවුක අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, අග්‍රාමාත්‍ය  වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ හා වරාය වෘත්තීය සමිති 23 නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයන් පිරිසක් එක්ව සිටි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
 
 
 

එදා JR කළ නරකම දේ මෙදා GR කරයි ද?

 

තිස්සගේ දූගේ පත්වීම විදේශ ඇමති මාරපනගේ වැඩක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්