පොලිස් අත් අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා
මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබේ.
 
"ආසන්න දින කිහිපයක් තුළ මෙවැනි සිදුවීම් වාර්තා වීම තුළින් රට තුළ නීතියේ ආධිපත්‍ය පිළිබද බරපතල ගැටළුකාරී තත්වයක් ගොඩනැගෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්වාසයයි"
 
පොලිස්පති වෙත යොමු කරන ලද ලිපියක් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය දැනුම් දී ඇත්තේ පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝග වල මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වලද අවධාරණය කර ඇති බවයි.
 
  
ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක සහ මාබුලගේ දිනිත් මෙලන් මාබුල හෙවත් ඌරුජුවා යන සැකකරුවන් දෙදෙනා මැයි 13 සහ 14 යන දෙදින තුළ පොලිස් වෙඩි පහරින් ඝාතනය වී තිබුනේ පොලිස් භාරයේ සිටියදීය.
  
මානව හිමිකම් කොමිෂන් සභාව තම අවධානය ඒ වෙත යොමු කර ඇත්තේ නීතිඥ මණ්ඩලයක් විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුවය. 
 
"මීට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි යොමු වී ඇති අතර එම පැමිණිලි HRC/1216/21 සහ HRC/1176/21 යටතේ ලියාපදිංචි වී ඇත."
 
JAgath Balasuriyaපොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් ආචාර්ය ජගත් බාලසුරිය වැඩි දුරටත්  දැනුම් දී ඇත්තේ, කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේ ආරම්භක පියවරක් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව මෙම සිදුවීම පිළිබදව සිදු කරන ලද පරීක්ෂණය පිළිබද පුර්ණ වාර්තාවක් කැඳවීමට තිරණය කර ඇති බවයි.
 
එම වාර්තාව මැයි මස 30 දිනට පෙර ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
 
"එබැවින්, ඔබ දෙපාර්තමේන්තුව තුළ සිදුකරන ලද පරීක්ෂණ වාර්තාව 2021.05.30 දිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසට මෙයින් ඔබ වෙත දන්වා සිටිමි.  "
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය වසරේ නිවේදනය කර තිබුනේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව යි.
 
බන්ධනාගාර ගතව සිටින රැදවියන් ඝාතනය කළ බවට එල්ල වන චෝදනාද මෑත යුගයේ ඉහළ ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් පසුගිය සමයේ දිගින් දිගටම පෙන්වා දී තිබුනි.
 
 
“පැන යාමට තැත් කිරීමේදී” සිදුවන මරණ:
 
බන්ධනාගාර ‍කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පසුගිය වසරේ නොවැම්බර් 18 බදාදා මාධ්‍ය වෙත දැනුම් දී තිබුනේ බෝගම්බර පැරණි බණ්ධනාගාරයේ නිරෝධානයට ලක් වෙමින් සිටි රැඳවියන් පස් දෙනකු එදින අලුයම බන්ධනාගාර තාප්පයෙන් පැන පලා යාමට කළ උත්සාහයේදී එක් රැඳවියකු මියගොස් ඇති බවයි.
 
එදින බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක්ද සිදු කර තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුනි.
 
බන්ධනාගාර නිලධාරීන් පවසන පරිදි එදින මියගියේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
 
Senaka pereraකොරෝනා වසංගත සමය තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කිහිපයකම සිරකරු ඝාතන සිදු වු බව සිහිපත් කරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ බන්ධනාගාරගතව සිටින සිරකරුවකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම බන්ධනාගාර පාලනාධිකාරිය සතුව පවතිද්දීත්, බන්ධනාගාර නිලධාරීන් අතින්ම සිරකරුවන් ඝාතනයට ලක්වීම බරපතල තත්වයක් බවයි.
 
යූ ජී උපුල් නිලන්ත නමැති සැකකරු විසින් පහර දෙනු ලැබූ බවට චෝදනා කරන මොණරාගල බන්ධනාගාරයේ නිලධාරියකු තවත් නිලධාරියකු සමග එක්ව අදාළ රැඳවියාට පහරදීමෙන් නොවැම්බර් 3 දින අම්පාර, නවගම්පුර 04 ගම්මානයේ පදිංචි හතලිස් හැවිරිදි ඔහු මිය ගොස් තිබු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පෙන්වා දෙයි.
 
බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක එදින පවසා තිබුනේ සිරකරුගේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි.
 
  
වසංගත සමය තුළ දිවයිනේ බන්ධනාගාර කිහිපයකම මෙවැනි ඝාතන සිදු වු බවට චෝදනා එල්ල වී ඇති බව සිහිපත් කරන මානව හිමිකම් නීතිඥයා අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන කිසිදු බන්ධනාගාර නිලධාරියකුට එරෙහිව මේ දක්වා අවම වශයෙන් අභ්‍යන්තර දඩුවම් ලබාදීමක්වත් සිදුව නොමැති බවයි.
  
එවැනි තත්වයක් තුළ මෙවැනි ඝාතන සිදු කිරීමට එම නිලධාරීන්ට ධෛර්ය ලැබෙන බව නීතිඥ සේනක පෙරේරාගේ අදහසයි.
 
බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අපරාධකරුවන්ය යන මතය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම සමාජගත කර තිබෙන තත්වයක් තුළ  රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් එල්ල වන පීඩනය වැඩිවී ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව දිගින් දිගටම අවධාරණය කර තිබුනි.
 
 
 
මහර සහ අනුරාධපුර:
 
 
 
සිරගෙදරින් පැන යාමට තැත් කිරීමේදී ඇද වැටී මියගිය බවට බලධාරීන් පවසන තරුණ රැඳවියකු වද දී මරා දමා ඇති බවට පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබුනි.
 
එම පැමිනිල්ල ඉදිරිපත් කර තිබුනේ මහර බන්ධනාගාරයේ සිටියදී මැයි 3 දින මිය ගිය කාවින්ද ඉසුරුගේ පියා වන සුමනදාස තිසේරා විසිනි.
 
සිය පුතුගේ මරණය පහරදීමකින් සිදු කරන ලද්දක් බව පවසන ආර්.එම් කරුණාවතී මාතාව මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබුනේ ඔහුගේ පාද සහ අතක් කඩා දමා තිබු බවයි.
 
අනුරාධපුර බන්ධනාගාරය තුළ කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම වැලැක්වීම වෙනුවෙන් රැඳවියන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි තැබීමෙන් සිදුවූ එක් මරණයක් හිතා මතාම කරන ලද මිනීමැරුමක් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය අගෝස්තුවේ තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනි.
 
බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය කන්ද මුල්ලේ ආරචිචිලාගේ සමන් කුමාරගේ බිරිද අගෝස්තු 21 සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුනේ සිය සැමියා ඝාතනය කිරීමේ අරමුණින්ම වෙඩි තබා ඇති බවයි.
 
අනුරාධපුර බන්ධනාගාරය තුළ එදින සිදු වු වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙක් ඝාතනය වී තිබුනි.

 

 

 


 

THE LEADER TV 
 
 
ඩෑන් පබ්ලිසිට් දුන් 'වස්ති'ගේ 'ආලෝක උපාලි..' පෙරළියක ලකුණක් ද?
 
 
 
පෝට් සිටි පනතට  තුනෙන් දෙක නැතුව කළු චීන්නු අනාථ වෙයිද ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්