කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් වෙළෙඳ නෞකාවේ තිබු රසායනික ද්‍රව්‍ය දිගුකාලීනව පරිසරයේ නොපවතිනු ඇති බවට විද්වත් මත පළ වී තිබේ.
රසායනික සාගර විද්‍යාඥවරියක වන මහාචාර්ය ලිහිණි අලුවිහාරේ සහ වුඩ්ස් හෝල් සාගර විද්‍යායතනයේ විද්‍යාඥ ආචාර්ය ක්‍රිස් රෙඩ්ඩි උපුටා දක්වමින් ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥවරියක මෙන්ම, උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණයන්හි පුරෝගාමිනියක වන ආචාර්ය ආශා ද වොස් සිය ට්විටර් ගිනුමේ සටහන් කර ඇත්තේ, නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය දිගුකාලීනව පරිසරයේ නොපවතිනු ඇති බවයි.
නමුත් ඉන් වහාම සිදුවන, කෙටිකාලීන හෝ දිගුකාලීන අනතුරේ බලපෑම තීරණය කිරීමට දැනට ඇති දත්ත ප්‍රමාණවත් නොවන බව ඔවුහු අවධාරණය කරති.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ නිවේදනය කර තිබුනේ ගිනි නිවීම් කණ්ඩායම් එක්ස්ප්‍රස් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවට ගොඩවූ බව යි.
කොළඹ වරායට ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ පිටුපස කොටසේ ජල කාන්දුවක් දැයි සෙවීමට නාවික හමුදා කිමිඳුම්කරුවන් නම දෙනෙක් යෙදවමට පියවර ගෙන ඇති බව නාවික හමුදා ප්‍රකාශක ඊයේ ජනමාධ්‍ය වෙත පවසා තිබුනි.
දින දහයකට වැඩි කාලයක් තිස්සේ ඇවිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායන ද්‍රව්‍ය මුහුදට මුසුවීම හේතුවෙන් මීගමුව ආශ්‍රිත මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත දැඩි අවදානමකට ලක්ව ඇති බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනතනය (නාරා) ද මීට ඉහතදී තහවුරු කර තිබුනි.
එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග අවධාරණය කර තිබුනේ සෑම රසායනික මූලද්‍රව්‍යක්ම එක් එක් ආකාරයෙන් සාගර පරිසරයට බලපෑම් කරන බවයි.
කෙසේවෙතත් පරිසර විද්‍යාව පිළිබඳව මෙරට පළමු ආචාර්ය උපාධිධාරීනිය ලෙස සැලකෙන ආචාර්ය අජන්තා පෙරේරා මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගියදා පෙන්වා දුන්නේ නෞකාවේ ගින්නෙන් ඇති වූ පරිසර හානිය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බවයි.
අතිශය සංවේදී මෙරට මුහුදු කලාපයට ‘වන්දියක් හින්දා’ සිදුවන දැවැන්ත හානියට වගකිවයුත්තේ ආණ්ඩුව බවට ඇය චෝදනා කරන්නීය.
“නයිට්‍රික් අම්ලය මුහුදට වැටෙනවා සේම ඒ ප්‍රදේශයේ හිටපු කුඩා මතස්‍යයන් හා සියලු ජීවින් මැරුණා විතරක් නෙමෙයි දිය වෙලා ගියා. ඇටකටු දිය වෙලා යනවා. ඒ වගේම මතුපිට ඉන්න ඇල්ගී සියල්ල මැරිලා ගියා. කැල්සියම් කාබනේට් දියවෙලා ගිහිල්ලා, අපි අවුරුදු ගාණක් හදපු කොරල්පර ටික ඔක්කොම විනාශ වෙලා ගියා. කොරල් පරයක් හැදෙන්න අඟල් තුනක් හැදෙන්න අවුරුද්දක් යනවා. ඒකයි අපි පරිසර විද්‍යාඥවරුන් විදිහට කෑ ගහන්නේ. අපේ මත්ස්‍ය කළමනාකරණයට හදා ගත්ත සම්පත් එක මොහොතකින් නැති කර ගත්තා වන්දියක් හින්දා. මෙච්චර දුබල මෙච්චර දුප්පත් මානසිකත්වයක් අපේ කැබිනට් මණ්ඩලයට හා අපේ රටට රජයට කොහොමද ඇති වුණේ. මේකද මේ රජය කියලා කියන්නේ. එකකොට මේ ප්ලාස්ටික්වලට තියන හානිය. මාළු දන්නේ නෑ මේක ප්ලාස්ටික් පෙලට් කියලා. මේක ගිලිනවා. ඊට පස්සේ ඔවුන්ගේ බඩේ තියෙන්නේ ප්ලාස්ටික් පෙලට්. ඒ නිසා තමයි මැරිච්ච මාළුන්ගේ කට ඇරියම ඒ මාළුන්ගේ ඇගේ තියෙන්නේ ප්ලාස්ටික් පෙලට් සහ කරමල්වල හිර වෙලා තියෙන්නේ ප්ලාස්ටික් පෙලට්. මේක අපරාධයක්”
නැව් ගින්නෙන් දින කිහිපයකට පසුව හික්කඩුව වෙරළ තීරයේ දී මියගිය කැස්බෑවෙකු හමු වී තිබු අතර ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥවරියක වන ආශා ඩි වොස් අවධාරණය කර තිබුනේ ඒ සතා මිය ගියේ කෙසේද ගැටළු සහගත බවයි.
"නමුත් සත්‍යය තත්වය නම්, ඒ හේතුව අපි දන්නේ නෑ”
නෞකාවේ අනතුර හේතුවෙන් සහ ප්ලාස්ටික් කැට සාගරයට එකතු වීම හේතුවෙන් මරණ සිදුවී ඇති බව සත්‍ය වුවත්, මෙම මරණයට හේතුව එයම දැයි නොදන්නා බව ඇය සදහන් කර තිබුනි.
ඇය තව දුරටත් අවධාරණය කර තිබුනේ මරණ පරීක්ෂණයක් සිදුකිරීමක් හෝ, ඉතා නිශ්චිත ලකුණු දක්නට නොලැබෙන්නේ නම්, මරණයට හේතුව උපකල්පනය කිරීම හෝ නෞකාවේ අනතුරට එය සම්බන්ධ කිරීම ඉතා අපහසු බවයි.
“මෙතන තියෙන ප්‍රධානම දේ නම්, අප ඉක්මන් වී නිගමන වලට නොයා, විද්‍යාව දෙස බැලිය යුතුයැ,” යි ප්‍රකාශ කරන ආචාර්ය ඩි වොස්, රජයේ කණ්ඩායම් විසින් මෙම මරණ වලට හේතුව හැකිතාක් විද්‍යාත්මක ආකාරයකින් සොයා ගැනීම සඳහා කටයුත් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබුනි.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් පැවැති බව මේ වන විට අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, “තෙල් හෝ රසායන ද්‍රව්‍ය කාන්දුවක් මේ වන තෙක් දැක ගත නොහැකිය,” යනුවෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මැයි 31 පෙරවරුවේ දැනුම් දී තිබුණි.
සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු තොරතුරු
නැව් ගින්නෙන් වෙරළට සිදුවූ හානිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ මහජන සහය පැතූ සාගර ජීව විද්‍යාඥවරියගේ ඉල්ලීමට දින දෙකක් ඇතුලත, ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබුනි.
ආචාර්ය ඩි වොස්
ආශා ද වොස්, පසුගියදා ට්විටර් පණිවුඩයක් මඟින් ජනතාවගෙන් ඉල්ලා තිබුනේ , ගිනිබත් වූ නැවෙන් ගොඩබිමට ගසාගෙන ආ අපද්‍රව්‍ය වලින් හානියට පත් වූ වෙරළ තීරයේ, මෙම සිදුවීමට පෙර ඡායාරූප තිබේ නම් තමන් වෙත ලබා දෙන ලෙසයි.
මෙසේ පෙර හා පසු ඡායාරූප සංසන්දනය කිරීම තුළින්, සිදු වී ඇති අනතුර පිළිබඳ තක්සේරුවක් ලබා ගෙන එය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත දැනුම් දීමට තමන් කටයුතු කරන බව ඇය සටහන් කර තිබුනි.
“මේක පොඩි වැඩක් වගේ පේන්න පුළුවන්. ඒත් මෙම සිදුවීමට කලින් වෙරළේ තත්වය පෙන්නුම් කෙරෙන හොඳ ඡායාරූප අපට ලැබුනහොත්, ඒවා හුඟක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්”, යි සාගර ජීව විද්‍යාඥවරිය සිය ට්විටර් පණිවුඩය හරහා නිවේදනය කර තිබුනි.
එම පණිවුඩය පළ කර දින දෙකක් ගතවීමටත් පෙර, අය නැවත ට්විටර් පණිවුඩයක් තබමින් අවධාරණය කර තිබුනේ , තමන්ට අවශ්‍යව තිබූ සියලුම ඡායාරූප ලැබුණ අතර, ඒ අතරින් වඩාත් ප්‍රයෝජනවත් ඡායාරූප තෝරාගෙන, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත යැවීමට කටයුතු කරමින් සිටින බවයි.
නැවේ අපද්‍රව්‍ය වෙරළට ගොඩ ගැසීම හේතුවෙන් මෙරට වෙරළ තීරයට මේ වන විට දැඩි පරිසර හානියක් ද සිදුවී තිබේ.
නැව් අනතුරෙන් පසුව මුහුදු මසුන් ආහාරයට ගැනීමට රටේ ජනතාව දක්වන බිය තුරන් කිරීම සදහා ප්‍රසිද්ධියේ මාළු ආහාරයට ගෙන පෙන්වීමට මීගමුව ධීවර සංගම් නායකයකු ඊයේ ක්‍රියා කර තිබුනි.
රටින් පිටවීම තහනම්:
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට, ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ අතිරේක ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ජුනි 01 අඟහරුවාදා නියෝගයක් නිකුත් කළේය.
ඒ, නැවේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මැයි 20 වනදා සිටි කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැයි 31 සදුදා දිනත් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුනි.
###############
THE LEADER TV
රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !
සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්