මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ චන්ඩි කතාවලින් තමන්වහන්සේ බිය ගැන්විය නොහැකි යයි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපතිවරයා ඇතුළු

ආණ්ඩුවේ ප්‍රධානින් හමුවේ අවදාරණය කර තිබේ.

 
අරලියගහ මන්දිරයේ ඊයේ (28) පැවති විශේෂ රැස්වීමේදී උන්වහන්සේ එබව සඳහන් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
 
ඇමරිකානු යුගදනවි ගිවිසුම හා වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් ජනාධිපතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම රැස්වීම කැඳවා තිබිණ. 
 
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව ඊයේ පස්වරු 5.30ට පමණ ආරම්භ වී රාත්‍රී 10 පමණ වන තෙක් පැය හතර හමාරක් තිස්සේ පැවති නමුත්, කිසිඳු කාරණයක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ද ආණ්ඩුවේ අභ්‍යන්තර  ආරංචිමාර්ග වලින් පැවසේ .
 
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙනුවෙන් ඇමතිවරුන් වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් අතාවුල්ලා, වීරසුමන වීරසිංහ, ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරු ද, අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ සහ පොහොට්ටු පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරු ද මෙම රැස්වීමට එක්ව සිටියේය. 
 
එසේම, ලංකා වතු කම්කරු සංගමය (CWC) නියෝජනය කරමින් සෙන්දිල් තොන්ඩමන් ද මෙම රැස්වීමට සහභාගී වී තිබිණ. 
 
 
ජනාධිපතිගේ 'බුඩිස්ට් සිම්බල් එක' ! 
 
 
මෙම රැස්වීමේදී මුලික කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙනත් කරුණු සාකච්ඡාවට ගත් අවස්ථාවේදී අමාත්‍ය විමල් විරවංශ කරුණු දැක්වීමක් සිදුකරමින්, එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් එහි සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කිරීම ආණ්ඩුවට හිතවත් පිරිස්වල බරපතල විවේචනයට ලක්ව ඇතැයි සඳහන් කර තිබේ.
 
  
අනතුරුව ගෙවිඳු කුමාරණතුංග මන්ත්‍රීවරයාද ඥානසාර හිමියන් මෙවැනි කොමිසමක සභාපති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සමාජය තුල මතුව ඇති විරෝධය පැහැදිලි කර තිබේ. මෙය සිංහල - බෞද්ධ ජනතාවට කල අපහාසයක් ලෙස සංඝ සමාජයේද බරපතල විවේචනයට ලක්ව ඇතැයි ඔහු පෙන්වා දී ඇත. 
 
 
මේ අවස්ථාවේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ, එවැනි පත්කිරීමක් සිදුකිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති බවයි. 
 
''අපි පිලිගන්නවා ජනාධිපතිතුමාට එහෙම පත්කිරීමක් කරන්න අපි සියලුදෙනා එකතුවෙලා බලයදිලා තියනවා. එත් බුඩිසම් සිම්බර් එක විදියට උන්වහන්සේ පත්කිරීම සුදුසුද කියන ප්‍රශ්නයක් මෙතන තියනවා..'' යයි ඒ එල් එම් අතාවුල්ලා මෙහිදී සඳහන් කර ඇත. 
 
එම කාරණය අනුමත කරමින් ගෙවිඳු කුමාරණතුංග මන්ත්‍රීවරයා තව දුරටත් පවසා ඇත්තේ, මෙම පත්කිරීම කිසිඳු ලෙසකින් අනුමත කළ නොහැකි බරපතල වරදක් බවයි. 
 
ඒ අවස්ථාවේදී  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවා පවසා ඇත්තේ, තමාට ද මෙම පත්කිරීම සම්බන්ධයෙන් විවේචනයක් ඇතත්, ජනාධිපතිවරයාට තමන් කැමති ඕනෑම අයකු පත්කර ගැනීමට බලයක් ඇති බවයි. 
 
එම අවස්ථාවේදී අමාත්‍යවරුන් ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනෙකුම මෙම පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරද්දී උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇති අතර එහිදී දැඩි ආවේගයෙන් යුතුව යළි අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ලක්ෂ 69ක ජනවරමක් ලබාගත් ජනාධිපතිවරයාට තමන් කැමති ඕනෑම  අයකු ඕනෑම තනතුරකට පත්කර ගැනීමට බලයක් ඇතැයි යළි යලිත් අවදාරණය කර ඇත.
 
  
එම අවස්ථාවේදී යළි උණුසුම්කාරී තත්වයක් මතුව ඇති අතර හවුල්කාර පක්ෂවල නායකයින් එක හඬින් පවසා ඇත්තේ, ජනාධිපතිවරයාට එවැනි බලයක් තිබුනද මෙවැනි පත්කිරීම තුලින් ජනාධිපතිවරයා පමණක් නොව සමස්ත ආණ්ඩුවම හැල්ලුවට ලක්වෙන බවයි. 
 
 
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වා ඇති උදය ගම්මන්පිල අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට ලක්ෂ 69ක ජනවරමක් ලැබුනේ, 2015 පරාජයෙන් පසු ඇතැමුන් රටිනුත් පලායද්දී විමල් - වාසු  -තමන් ඇතුළු දේශප්‍රේමී බලවේග ගෙනගිය මතවාදී මෙහෙයුම නිසා බව අවදාරණය කර තිබේ.
 
එම අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යලිත්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හැල්ලුවට ලක්කරමින් ප්‍රකාශයක් කළ අවස්ථාවේදී නැගී සිටී ඇති පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, තමන් වහන්සේ ජේ.ආර්. - ප්‍රේමදාස යුගයේ සිට එජාප ආණ්ඩු පලවා හැරීමට සිදුකල අරගලවලට දායකවූ ආකාරය පැහැදිලි කරමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශ දැඩි ලෙස විවේචනයට ලකර ඇත. 
 
 
''අද මහා ලොකුවට මෙතන සද්දේ දාන අය එදා හිටියේ එක්සත් ජාතික පක්සේ.. ගාමිණී දිසානායකල ළඟ. ඒ කලෙත් අපි ජනතාවගේ පැත්තේ ඉඳගෙන සටන් කළා. අරගල කළා . හිරේ ගියා. ඉල ඇට කුඩුකර ගත්තා. ඒ නිසා හිතන්න එපා ඔය සද්ද වලට අපි බයවෙයි කියල.. මන්ත්‍රීකම නැති වුනත් මම සටන අතාරින්නෙ නැහැ. අපේ හවුල්කාර පක්ෂවල නායකයෝ ආවත් නැතත් මම ඔය ඇමරිකන් ගිවිසුමට විරුද්ධව පාරට බහිනවා. එනිසා ඔය චන්ඩි කතා කියල මාව බය කරන්න එන්න එපා..'' යයි උන්වහන්සේ දැඩි ආවේගයකින් යුතුව පවසද්දී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කිසින් නොකියා නිහඬව සිට ඇත.
 
 
කෙසේවුවද මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් එහි සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කරනු ලැබුවේ අධිකරණ අමාත්‍යවරයට සහය දැක්වීමට බවයි.
 
'' එක් රටක් සහ එක නීතියක් වැඩසටහන මෙතෙක් සාර්ථක වෙලා නැහැ. පහුගියදාක මම අනුරාධපුරයට ගිය වෙලාවේ හාමුදුරු නමකුත් එකතාව කිව්වා. එනිසා තමයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කළේ..'' යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසු බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සඳහන් කළේය. 
 
මෙම රැස්වීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිට ආරාධනා කර නොතිබිණ. 
 
 
සබැඳි පුවත :
 

THE LEADER TV 
 
නැව ඉන්දු - චීන යුද්ධයකට ? | අද ගොසිප් එක
 
 
රට නං ඉවරයි වහ බොමු | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්