ගලගොඩඅත්තේ භික්‍ෂු ප්‍රතිරූපක දුර කතනයෙන් බෞද්ධ භික්‍ෂුන් දෙනමකට ඍජුව අමතා කළ තර්ජනයට ගිහි සමාජය නිහඬව සිටිති.



 ශාසනික ව්‍යවහාර සහ සම්ප්‍රදාය අනුව එය භික්‍ෂු සමාජය දරාගත යුතුවේ.

ලාංකේය සකල භික්‍ෂු සංහතියම දේශපාලයට බද්ධ චීවරධාරින් අතලොස්සකගේ ග්‍රහණයට හසුව ඇත යන්න මුසාවක් නොවේ. ආමිෂ ලාභයට ගිජුවූවන් නිසා බෞද්ධ ඉගැන්වීම පවා විකෘතිව පවතී.

ලංකාවේ දේශපාලනයේ ගතික තත්වයද මෙයමය.  

විවිධ අපරාධ සම්බන්ධව චෝදනා ලැබ සිටින නම් දැරූ පල් හොරුන් කිහිප දෙනෙකුගේ ග්‍රහණයේ රට පවත්නා සේම, ලාංකේය සංඝ ශාසනයද දැඩි අර්බුදයක සිරවී සිටින්නාහ. ඉහත කී දුර කතන කතාබහ හරහා ගිහියන්ට අබ සරණයි කී රටට එක නීතියක් හැදීම භාර කාසාව කන්ටකයාගේ භික්‍ෂුත්වය හෙළිදරව්වේ.


භික්‍ෂුව සිය අනගාරික පෞරුෂ අනන්‍යතාවය නොතකා හැසිරීමත් පාලකයන් තමන් කළමනාකරණය කළ යුතු පෞරුෂ අනන්‍යතාවයෙන් බැහැරව හැසිරීම මෙන්ම සමාජ අර්බුදයකි. බරපතල වන්නේ භික්‍ෂුන් තක්කඩියන් ලෙසත්, දේශපාලනඥයන් ශුද්ධවන්තයන් ලෙසත් හැසිරීමය. මෙය විකෘතියකි.

 

පුද්ගල අනන්‍යතාවය නායකත්වය තවත් මානයකින් උර ගා බැලීමකි. විශ්වසනිය නායකත්වය චරිත සංවරය හා පුද්ගල හැසිරීමට සාපේක්‍ෂ වේ.  

බණ්ඩාරනායක ඝාතනයට කොටු වූ තල්දූවේ සෝමාරාම සහ මාපිටිගම බුද්ධරක්ඛිත දෙදෙනාගේ පැවැත්ම හොඳ උදාහරණයකි. අත් අඩංගුවට පත් සෝමාරාම ගිහි වෙස් ගත්තේය. බුද්ධරක්ඛිත එල්ලුම් ගහට නියමව, උසාවියෙන් නික්මුණෙත් සිවුර පිටින්ය.

ඒ හරහා සංඝ සමාජය ගැන මිනීමරු සෝමාරාම  සහ කුමන්ත්‍රණය කළ බුද්ධරක්ඛිත තුළ පැවති ආකල්ප වෙනස එනම් සෝමාරාම භික්‍ෂු වේෂයෙන් තමන් කළ අපරාධය පිළිබඳ  පසුතැවිල්ලද, බුද්ධරක්ඛිත තුල පැවති අධිපතිවාදි මාන්නයද නිරීක්‍ෂණය කළ හැකිය.  

සුදු ඇඳ ගත් හැම එකාම සුද්ධ පවිත්‍ර නැත. බුද්ධාගම ජීවන මාර්ගයක්දැයි ප්‍රසිද්ධ සභාවකදී කළ විමසූ අවස්තාවක ආචාර්ය වල්පොල රාහුල හිමි කියා සිටියේ එය සමහර භික්‍ෂුන්ට නම් ජීවන මාර්ගයක් බවය. දේශපාලනය ජීවන මාර්ගයක්ද? ඊට වෙනත් පිළිතුරක් වේ නම් පුළුල්ව සාකච්ඡා කළ හැකිය.

දේශපාලනයෙහි නිරත ශ්‍රමණ ප්‍රතිරූපකයන් යයි කී වහාම, ගලගොඩඅත්තේ භික්‍ෂු ප්‍රතිරූපකගේ අවේශවීමත් පාකිස්ථාන අන්තවාදින් ලාංකිකයෙකු ඝාතනය කිරීමත් එක සමානය.

 
සමාජ මධ්‍යයේ සංසරණය වන වීඩියෝවකි.



ගලගොඩඅත්තේ භික්‍ෂු ප්‍රතිරූපකගේ හැසිරිම වර්තමාන භික්‍ෂු සමාජයේ ගෞරවය  ප්‍රශ්න කිරීමකට තල්ලු කරයි. කවර මතවාදයක් වෙනුවෙන් පෙනී සිටියද ස්වකීය අනන්‍යතාවයට අනුකූලව හැසිරිම තුළ මතුවන චරිත ශක්තිය තීරණාත්මකවේ. හෙවත් භික්‍ෂුවක් භික්‍ෂුත්වය ආරක්‍ෂා කළ යුතුවේ. ගිහියෙකු තම වගකීම්වල ගෞරවය රැකිය යුතුවේ.


අනගාරික ධර්මපාල තුමා සමකාලීන සමාජ ප්‍රවේගයන් සමග ගැටුණේ වල්අලියා ගොන් තඩියා වැනි රළු භාෂාවක් හරහාය. ගලගොඩඅත්තේ භික්‍ෂු ප්‍රතිරූපක ආරණ්‍ය වාසි භික්‍ෂුන්ට කුණු හරුප කියා තර්ජනය කරන්නේ තක්කඩි දේශපාලනඥයන්ට කඩේ යාමට ඇති ඉඩ ඇහිරෙතැයි බියෙන් මිස භික්‍ෂු සමාජයේ පැවැත්ම වෙනුවෙන් නොවේ.  



සිවිල් සමාජය, හොඳ මිනිහෙක් අවංක නායකයෙක් විමසමින් සිටින්නාහ. එහිදී යළි යළි උපුටා දැක්වූ පුද්ගල අවංක භාවය හඳුනා ගැනීමේදී  පුද්ගල අනන්‍යතාවය විමසීමද හොඳ නිර්නායකයකි. භික්‍ෂුව භික්‍ෂු ආකල්පයට එරෙහිව හැසිරෙයි නම් ලැබෙන තක්සේරුව කුමක්ද?  රටේ විනය පිරිහී ඇත. නීතිය වල්වැදී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ වංචනිකව සැකසූ ගමන් බලපත්‍රයක් අතැතිව අත් අඩංගුවට පත්ව සිටි වීරවංශ මුදා හැරීමට කළ නියෝගය සාධාරණ පාලකයෙකුගෙන් අපේක්‍ෂා කළ හැකිද? නීතිඥ සහාය ලබා දෙමින් රනිල්, වීරවංශට උදව් කළා නම් එය වෙනම කතාවකි.

ජේඕසී බෝම්බ සිද්ධියට රිමාන්ඩ් කළ කම්කරු නායක පී.චන්ද්‍රසේකරන් බේරා ගැනීමට ගාමිණි දිසානායක බලය පාවිච්චි කළේ නැත. ඔහුට අවශ්‍ය නීතිඥ සහාය ලබා ගැනීමට සිය පුද්ගලික මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කිරිමය. එහෙත් ගාමිණි කිසි විටෙක චන්ද්‍රසේකරන් සිය දේශපාලනයට පාවිච්චි කළේ නැත. වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමර් මේ තත්වය හොඳින් දනී.


මර්වින් සිල්වා රූපවාහිනියට පැන යකා නැටීම සහ රනිල් විරවංශ බේරා ගැනීම අතර කිසිදු වෙනසක් නැත. සෝමාරාම බුද්ධරක්ඛිත සමීකරණය අනුව, රටේ නීතිය යටපත් කොට බුද්ධරක්ඛිත තුළ පැවති අධිපතිවාදි මාන්නය රනිල් වික්‍රමසිංහ තුළ දැකිය හැකිය.

තමන් පැදවූ වාහනය අනතුරකට ලක්වූ විට, පාඨලී චම්පික හැසිරුණ ආකාරය 43 බලකායේ අපේක්‍ෂාවන් සමග ගැලපේද? වැදගත් ඒ වාහනයේ පැදවූ පුද්ගලයා පමණකි. ඒ වාහනයේ ගමන් කළේ කවුදැයි කිසිවෙකු විමසා නැත. රියැදුරු අසුනේ සිට සුක්කානම හැසිරවූවා නම් හෙතෙම රියැදුරෙකි. ගමනාන්තය තෙක් ඔහුගේ හැසිරීම ක්‍රියාකාරකම් පාලනය වන්නේ රථ වාහන නීතියෙනි.

කොස්තාපල් කෙනෙකුගේ සංඥාවට ඔහු යටත්ව වාහනය නතර කළ යුතුවේ. ත්‍රී විලර් කාරයාත් ඊට අවනත නම්..... රටේ නායකත්වය අපේක්‍ෂාවෙන් 43 බලකාය මෙහෙයවන පාඨලී චම්පික එකී නඩුව අවසන් වන තෙක් සමාජයටත් චුදිතයෙකි. රටේ ජනතාවට වැදගත්  ඔහුගේ රියැදුරුකම පිළිබඳ භූමිකාව නොවේ. දේශපාලන භුමිකාවය.

සෝමාරාම බුද්ධරක්ඛිත සමීකරණය අනුව, රටේ නීතිය යටපත් කොට බුද්ධරක්ඛිත තුළ පැවති අධිපතිවාදි මාන්නය (එසේ හැසිරුණා නම්) පාඨලී චම්පික තුළ දැකිය හැකිය.

වර්තමාන එජාප සභාපති වජිර අබේවර්ධන, සිය දුර කතනයෙන් අල්ලස් කොමසාරිස් ජනරාල්  දිල්රුක්‍ෂි වික්‍රමසිංහ තම මිත්‍ර නිශ්ශංක සේනාධිපතිට කොටු කර දීමෙන් ඇයගේ තනතුර අහිමි විය. වර්තමානයේ එජාප මාධ්‍ය ඒකක ප්‍රධානි සමන් රත්නප්‍රිය දින 14කින් කල් ඉකුත් වන  පාර්ලිමේන්තුවට පත් වී කෝටි ගණනක තිරුබදු රහිත වාහනය ලබා ගැනීම මංකොල්ලයකි. ඔහුට ඒ වාහනය ලැබෙන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබිය යුතුවේ.

අද බලය ඉල්ලා සිටින එජාපයෙ සභාපති වජිරය. මාධ්‍ය ප්‍රධානියා සමන් රත්නප්‍රිය වේ. නායකයා රනිල්ය. බජාර් භාෂාවෙන් නම් බඩු බනිස්මය. පුද්ගල අනන්‍යතාව,  සදාචාරය හා හැදිච්චකම පුද්ගලයන්ට ආරෝපනය කළ විට ලැබෙන නිරීක්‍ෂණ එසේය. කවර සමාජ වගකීමකදී වුව භික්‍ෂුව භික්‍ෂු අනන්‍යතාව මෙන්ම ගිහියන් ස්වකීය අනන්‍යතාව ආරක්‍ෂා කළ යුතුවේ.  යහපත් සමාජයක සුරක්‍ෂිත භාවය සහතික වන්නේ එසේය.


Screenshot 2021 12 04 at 8.39.30 AM

2011 නත්තල් සමයේ තංගල්ලේදී සංචාරකයෙකු ඝාතනය කොට වික්ටෝරියා නම් බ්‍රිතාන්‍ය තරුණීය, සමූහ දූෂණය ලක් කළ ප්‍රාදේශීය සභාපති විදානපතිරණට මැදමුලන රාජපක්‍ෂලා දුන් ආරක්‍ෂාව පකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් පකිස්ථාන ඝාතකයන්ට ලබා දුන්නේ නැත.

ඒ රාජපක්‍ෂලා යළිත් රට පාලනය කරති. මා ජීවත්වන තුරු සියල්කොට් වැනි ඝාතන යළි ඇති නොවන බවට ලෝකයට සපත කළ ඉම්රාන් ඛාන් පන්නයේ නායකයෙක් 2024 සඳහා අප සොයා ගත යුතුවේ.

අර ප්‍රකාශය නිසාම සමහර විට 96.47%ක් මුස්ලිම්වරුන් ජීවත්වන පකිස්ථානය ඉම්රාන් සමහර විට නැවත අගමැති නොවනු ඇත. වගවීම යනු බලයට කෑදරවී  මිනිස් සංහතියට වින කිරීම නොවන බවට ඉම්රාන් ඛාන් ජීවමාන සාක්‍ෂියකි.

සෝමාරාම බුද්ධරක්ඛිත සමීකරණය අනුව, රටේ නීතිය යටපත් කොට බුද්ධරක්ඛිත තුළ පැවති අධිපතිවාදි මාන්නයෙන් රාජපක්‍ෂලා හැසිරුණා යන්න මැනවින් පැහැදිලිය.


එදා ජනතාවගේ බලය හිස වටා කරකැවූ රාජපක්‍ෂලා වර්තමානයේ ලාටු කෑ රිලවුන්ව සිටින්නේ යටපත් කළ නොහැකි යහ පාලන සංකල්ප නිසා මිස, රනිල් හෝ සිරිසේනගේ කෙරුවාව නිසා නොවේ. මනුෂ්‍ය ඝාතන සිය ගණනකට වගකිව යුතු රාජපක්‍ෂලා අතට යළි බලය ගියේ රනිල් වික්‍රමසිංහලාගේ කෙරුවාව නිසාය. දින 50ට රාජපක්‍ෂලා වැසූ තෙල් පිරිපහදුව කෙටි දිනකින් විවෘත කිරීමට සිදුවීම පාලකයා සිදුකළ වංචාව වසාගත නොහැකිවීම තහවුරු කිරීමකි.


ජනතාවගේ බලය කේන්ද්‍රගත ආයතන සහ තනතුරු හසුරුවන්නේද තේරී පත්වූ රටේම  මිනිසුන් අතලොස්සකි.  ඩී.එස්.සේනානායක පිරිවෙන් තැනීමට රජයේ මුදල් වෙන් කළ නොහැකි බව කීවේ තේරී පත්වූ පාලකයෙකු සතු අනන්‍යතාව ආරක්‍ෂා කරමිනි.

රනිල් වික්‍රමසිංහ හෝ පාඨලී චම්පික බලය අතැතිව ඒ වගකීමෙන් හැසිරුණේ නැත. පාඨලී චම්පික පසුපස  හඹා ආ චෝදනාව අනතුරක් සිදු කිරීම නොවේ. සත්‍ය සඟවා නීතිය මඟහැර යාමය. චෝදනා ඔප්පු වුණොත්....... පාඨලීගේ අනන්‍යතාව ප්‍රශ්න කෙරෙයි.

අර්ජුන රණතුංග ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කළ සේවය අති විශිෂ්ඨය. දේශපාලන පවුලකින් පැවතීම ඊට බාධාවක් වුණේ නැත. එහෙත් ඔහු වරාය ඇමති ලෙස සිය සොහොයුරා වරාය අධිකාරියේ ප්‍රධානියා ලෙස පත් කිරීම සරල නැත. සෝමාරාම බුද්ධරක්ඛිත සමීකරණය අනුව, රටේ නීතිය යටපත් කොට බුද්ධරක්ඛිත තුළ පැවති අධිපතිවාදි මාන්නයෙන් අර්ජුන රණතුංග ඤාති සංග්‍රහය පිළිබඳ රටේ පවත්නා පිලිකුල යටපත් කොට එසේ හැසිරුණා නොවේද?

අර්ජුන දේශපාලනයට එක්වූ සැනින් ඔහුගේ අනන්‍යතාව බිඳ වැටිණ. ඉම්රාන් ඛාන් පෙන්වා අර්ජුනට රට රැවටිය නොහැකිය. අර්ජුන  මුරලිදන් වෙනුවෙන් විනිසුරුට ඇඟිල්ල දිගු කළේ ධර්මපාලට ආවේස වෙලා වුණාට, ඇමති භූමිකාවේදී නම් බුද්ධරක්ඛිත තුළ පැවති අධිපතිවාදි මාන්නයට වැඩි යමක් නැත. පුද්ගල අනන්‍යතාව යනු බරපතල පරීක්‍ෂණයකි. වර්තමානයේ අර්ජුන ගමන් කරමින් සිටින්නේ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සොත්ති උපාලි නම් පාතාලයා වාඩි කරවූ ආර්. ප්‍රේමදාසගේ පුත්‍ර රත්නය වෙත බවට සමහරු විශ්වාස කරති.


පවත්නා පාර්ලිමේන්තු අර්බුදය අහඹුවක් නොවේ. වර්තමාන කතානායක වරයා හැම පැයකම පාර්ලිමේන්තුව තුළ තම හැසිරිමෙන් කුමන හෝ අර්බුදයකට මැදිවේ. ඔහු ඉතිහාස ගතවන නින්දිතම කතානායක වෙනවා සිකුරුය. ප්‍රශ්නය ඇත්තේ එතැනය. පාර්ලිමේන්තුවේ කතානායක ආසනය 2018 ඔක්තෝබර් 28 දින පෙළොවේ ගසා කඩා දැමීමත් සජබ මන්ත්‍රීන් කතානායක ආසනය වෙත ගමන් කිරීමත් එක සමානය. එහෙත් එය ආචාර ධර්ම අනුව හිලව් කළ හැකි ගනුදෙනුවක් නොවේ.

මේ වෙන්නේ කුමක්ද? මාල කැඩූ එකා කැබිනට් ඇමති වෙලාත් පරණ පුරුද්ද අත්හැර නැත. වඩේ විකුණු එකා තවමත් වඩේ පෙට්ටිය බිම තබා නැත.  එතනොල් කාරයා ගමේ පාට් පාර්ලිමේන්තුවේ පෙන්වීමය. වරක් මන්ත්‍රී මනෝ විජේරත්නගේ යම් අනුචිත හැසිරීමක් නිසා කතානායක කේ.බි.රත්නායක ඔහු තම මැදිරියට කැඳවීය. එහිදී අසුන් ගැනීමටවත් ආරාධනා නොකළ කතානායකවරයා මනෝගෙන් විමසා සිටියේ හැබෑටම ඔබ අර විශිෂ්ඨ පියාගේ පුතාද කියාය. කතානායක වරයා නොකියා ඇසුවේ තොගේ අප්පා අරූමද කියාය.

වර්තමාන පාර්ලිමේන්තුවේ අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ හැසිරීම් දකින්නට, කේ.බි.රත්නායක නම් ඔහුගේ කිරි අත්තා කතානායකවි සිටියා නම්..... කනට ගසා එළවනවාමය.  


අප 2024දී තෝරණ චරිතය, ක්‍රමය අවසන් කර ගෙදර යා යුතු යයි කියන්නේ පවත්නා ක්‍රමය තුළ බලය මිනිසුන් විනාශ කරන නිසාය. රනිල් මහේන්ද්‍රන් ගෙනාවේත්, සිරිසේන මල්ලි පත් කළේත් ලජ්ජාබය නැතිවය. වර්තමාන පාලනයෙන් අඩක් රාජපක්‍ෂලාය.

අමාත්‍ය ඇම්.ඩී. බණ්ඩා අමාත්‍යාංශ වාහනයෙන් පොල්ගහවෙල පනලියේ ගෙදරට සැපැත්වේ. එතැන් සිට සඳදා ආපසු රාජකාරියට යන තෙක් මොහොට්ටාලගේ ඩිංගිරි බණ්ඩා, සිය පවුලේ වාහනය තනිව පදවාගෙන යමින් සිය පුද්ගලික ඕනැඑපාකම් ඉටු කරගත් බව ප්‍රදේශයට රහසක් නොවීය. යූ.බි.වන්නිනායකද ඇමතිට හිමි වාහනයෙන් ගෙදර ගිය වහාම වාහනයේ යතුර සඟවා තබයි. ඒ ඉලංදාරි පුතුන් රජයේ දේපල අවභාවිත කරතී බියෙනි. ඊට සමගාමීව, උතුරු මැද මහඇමති එස්.එම්.රන්ජිත් සහ ඔහුගේ බිරියට පැවරී ඇති නඩු මාලාව, පොදු දේපල අවභාවිතා කිරිමය.

ඈත නියම් ගමක විහාර වත්තේ පැනි වරකා ගසක ගෙඩියක් ඉදී කපුටන් ඉව කරන්නට විය. පන්සලේ හාමුදුරුවන්ට ගස් නගින්නෙකු සොයාගත නොහැකි වූයෙන් සම්ම්‍යක් ප්‍රයෝගයකින් වරකා ගෙඩිය අත්පත් කර ගැනීමේ උවමනාවක් ඇති විය. වරකා ගසට ආසන්නයේ ඒ තරම් ඉහළට උස ගිය පුවක් ගසක් විය. හාමුරුවෝ පුවක් ගස දිගේ ගොස් කොස්ගසට මාරු වී වරකා ගෙඩිය නෙළා බිමට බෑමට සැලසුම් කළහ. වරකා ගෙඩිය ආසන්නයේදී කොස් ගසට මාරු වූ පසුව, පුවක් ගස කොස් ගසේ කඳට තබා බැඳීමට අවශ්‍ය රෙදි පටියක්ද රැගෙන වැඩේ ආරම්භ කළේය. වරකා ගෙඩිය ආසන්නයේදී පුවක් ගස පද්දා කොස් ගසේ අත්තක් අල්ලාගෙන කොස් ගසත් පුවක් ගසත් එකට තබා බැන්දාහ. ඉන්පසුව කොස් ගසට මාරු වී වරකා ගෙඩිය කඩා රැගෙන ගිය තේඩාවෙන් බිමට බෑමට සමත් විය. මේ සියල්ලඅවසන් වෙනවාත් සමග කොස් ගසත් පුවක් ගසත් එක්කොට බැඳී රෙදි පටිය ලිහී පුවක් ගස ඈත්විය. දැන් කොස් ගෙඩිය තේඩාවේ එල්ලෙමින් පවතී. හාමුදුරුවෝ කොස් ගහේය. පන්සලට හදිසියේ පැමිණි කෙනෙකුට හාමුදුරුවන් දැක මේ මොකදැයි විමසීය.

“බුදු හාමුදුරුවෝ රාජගහේ මං කොස් ගහේ කියා සිනාසිණ. තමන්ගේ අනන්‍යතාවයට අනුව නොහැසිරිමේ ප්‍රතිපලය මේ උපමා කතවෙන් පැහැදිලිය. එහෙත් ගලගොඩඅත්තේ කරන විනාසය මෙවැනි අහිංසක එකක් නම් නොවේ. දැන් සිදුවී ඇත්තේ කුමක්ද? ලංකාවේ එල්ලුම් ගස් යා යුතු එවුන් රාජගහ අරක් ගෙන සිටීමය.

අප සොයන මිනිසා යනු පහසු ප්‍රතිඥාවක් නොවේ. එහෙත් ගෙදර යන්නෙකු අවශ්‍ය ඉන් මෙපිට අපට ගැලවීමක් නැති නිසාය. ගෙදර යන මිනිසෙකු අවශ්‍ය වන්නේ ඇමති වූ අරජුන රණතුංග, පාඨලී චම්පික සහ පාසලට දරුවා ඇතුල් කර ගැනීමට පරණ මන්ත්‍රීකම පාවිච්චි කළ කපටියාත් දුන් මාර්ගෝපදේශ නිසාය. පාසල් සිද්ධිය සවිස්තරව නොකියන්නේ අපට තක්කඩින් සමග මිස දරුවන් සමග කෝන්තරයක් නැති නිසාය.


Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(2021-12-12 අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි.)



THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න


 

 

 


 

THE  LEADER  TV
 
 

 

පවුලේ අවුලක්!  

 

 

ඉන්දියාවෙන් එවපු මුදල් බහිරව කටට ? |මොණරවිලගේ ලියමන 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්