මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවැත්විණ.
එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කර සිටියේය.
ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද පොලීසිය අධිකරණට ඉදිරිපත් කළේය..
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණකරුගේ ශරීරයෙන් ලබා ගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම නිසා අදාළ ජංගම දුරකථනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එමෙන්ම අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේය.
එහිදී පොලිසිය කියා සිටියේ එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
එය රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමු කරන බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අමතමින්” සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේම කඩදාසියක හේතු හඳුනා නොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළාද?” යනුවෙන් විමසිය.
ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පැවසුවේ එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවයි.
ඉන් අනතුරුව මෙම ඖෂධ මෝසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බවත් පොලිසිය පැවසිය.
ඒ අනුව පොලිසිය විසින් කළ ඉල්ලීම්වලට අධිකරණය විසින් අවසර ලබා දුන්නේය.
ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ මෙහෙයවීම යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වනදා දක්වා කල් තැබිණ.




