අතුරුගිරියේ කවිවර ප්‍රකාශන ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ‘‘කවිවර කතිකා වැඩසටහනේ තවත් අදියරක් පසුගිය (2023/ඔක්තෝබර්) 23වන දින කොළඹ ජාතික
පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

එහි දී මෙම වසරේ කවිවර ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද: රංජිත් මල්ලියාවඩු විසින් රචිත ‘‘එල්ලංගාව’’ කාව්‍ය සංග්‍රහය සහ සුනන්දා රණසිංහ විසින් රචිත ‘‘ප්‍රේම ඍතුව’’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ද, ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි සහ මංජු නැදගමුව විසින් රචිත ‘‘අන්තස්සර’’ නවකතාව පිළිබඳ අරුණ ප්‍රේමරත්න ද, මහේන් සූරි විසින් රචිත ‘‘ගොවි පලදාව’’ කෘතිය පිළිබඳ මහින්ද කුමාර දලුපොත ද, ජයසිරි අලවත්ත විසින් රචිත ‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතිය පිළිබඳ මොහාන් රාජ් මඩවල යන අය ඔවුන්ගේ අදහස් දැක්වූහ.

මතු දැක්වෙන්නේ ජයසිරි අලවත්තගේ ‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතිය පිළිබඳ මොහාන් රාජ් මඩවල දැක්වූ අදහස ය. ඔහු විසින් පවත්වන ලද එම අදහස් සමුච්චය කථන භාෂාවෙන් නොව, පාඨක ප්‍රජාවගේ පහසුව සඳහා ලිඛිත භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ මොහාන් රාජ් මඩවලගේ ද අවසරය සහිතව ය.

‘‘ගෞර ග්‍රන්ථ’’ සහ ඕෂෝ

ජයසිරි අලවත්තගේ ‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතිය කියවා අවසන් වූ සැණින් මට සිහිපත් වූයේ ඕෂෝ විසින් පවසන ලද කතාවකි. එබැවින් මම පළමුව එම උපමා කතාව ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමි.

ඕෂෝ පවසන ආකාරයට එක්තරා කාන්තාවක් නිරන්තරයෙන් ම මානසික වෛද්‍යවරයකු හමුවට ගොස් ඇගේ ඇඳ යට පුරුෂයෙකු සිටින බව පවසා ඇත. මෙම කාන්තාව මැදිවිය ද ඉක්මවමින් සිටිය ද අවිවාහක ය. එසේ නම් ඇගේ මානසික තත්ත්වය කෙබඳුද යන්න විශේෂයෙන් වටහා දිය යුතු නැත.  

කෙසේ වුව ද දෙමසකටත් වඩා වැඩි කාලයක් වෛද්‍යවරයා මෙම කාන්තාව වෙත විවිධ වර්ගයේ ඖෂධ ලබා දුන්න ද ඇගේ රෝගය සුව වන බවක් දක්නට නොලැබිණ. අනතුරුව වෛද්‍යවරයා ඇයට යෝජනා කර ඇත්තේ මානසික රෝහලකට ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ලෙස ය.

අදාළ කාන්තාව වෛද්‍යවරයාගේ අදහසට එකග වී මානසික රෝහලකට ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත. දෙමසක් පමණ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව මානසික රෝහලේ ඇය බාරව කටයුතු කරන වෛද්‍යවරයා දැන් ඔබගේ අසනිප තත්ත්වය යහපත් අතට හැරී ඇත්දැයි විමසා ඇත. ඇය ඊට පිළිතුරු ලෙස පවසා ඇත්තේ දැන් ඒ අසනීපය සුව වී ඇති බවයි. එවිට වෛද්‍යවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ද බොහේ සෙයින් සතුතට පත්ව ඇත. එහෙත් එම සතුට රැඳා පැවතියේ ඉතා සුළු මොහොතක් පමණි. ඒ මන්ද යත් එම කාන්තාව යළිත් පවසා ඇත්තේ තිබූ අසනීපය සුව වුව ද දැන් තමාගේ ඇඳ යට පුරුෂයන් දෙදෙනෙකු සිටින බවයි.

ප්‍රතිකාර ගැනීමට පෙර ඇගේ ඇඳ යට සිට ඇත්තේ එක් පුරුෂයෙක් පමණි. නමුදු දැන් පුරුෂයන් දෙදෙනෙක් සිටින බව ඇය පවසන්නී ය. අනතුරුව වෛද්‍ය මණ්ඩලය රැස්ව මේ වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද යන්න සාකච්ඡා කර කිසියම් නිගමනයකට එළඹ ඇත. එනම් ඇගේ අවිවාහක තත්ත්වයත්, අවිවාහක නිසා ම ඇගේ ලිංගික ජීවිතයේ අඩුපාඩුවත් සැලකිල්ලට ගෙන එය සපුරාලිය හැකි ක්‍රමයක් ක්‍රියාවේ යෙදවීම ය.

මෙම රෝහලේ සිටින ප්‍රධාන වඩුකාර්මිකයා හැඩි දැඩි සිරුරකට හිමිකම් කියන, ස්ත්‍රීන් ආකෂණය කරගැනීමේ දක්ෂතාවකින් හෙබි පුද්ගලයෙකි. වෛද්‍ය මණ්ඩලයේ තීරණය වී ඇත්තේ රෝගිනිය සුවපත් කිරීමේ කාර්ය මෙම වඩුකාර්මිකයා වෙත පැවරීම ය. වෛද්‍ය මණ්ඩලය ඔහු කැඳවා, ඇය පිළිබඳ සියලු විස්තර ද පවසා ඔහු කැමති ආකාරයකට ඇගේ රෝගය සුව කර දෙන මෙන් පවසා ඇත. මේ වෙනුවෙන් ඔහුට ලබා දී ඇත්තේ පැයක කාලයක් පමණි. එම පැය ඇතුළත රෝගිනියගේ කාමරයට ගොස් තමන් දන්නා ශිල්ප භාවිත කර ඇය සුව කරන්නැයි වෛද්‍ය මණ්ඩලය දන්වා ඇත.

වඩුකාර්මිකයා ද කිසිදු පැකිළීමකින් තොරව එම රාජකාරිය බාරගෙන රෝගිනියගේ කාමරයට ඇතුළු වී ඇත. වෛද්‍ය මණ්ඩලය ද පිටත සිට රෝගිනියගේ කාමරය තුළ සිදුවන දෑ පිළිබඳ දැඩි අවධානයෙන් සිට ඇත. වඩු කාර්මිකයා කාමරයට ඇතුළු වී දොර වසාගත් පසු කාමරය තුළ හුවමාරු වන දෙබස් මෙන් ම විවිධාකාරයේ ශබ්ද ද පිටතට ඇසෙන්නට පටන් ගෙන ඇත.

ඒ මොහොතේ ගැහැනිය ‘‘එපා එපා... ඕක නවත්තනවා... මගේ අම්ම ඔය කතන්දරේ දැනගත්තොත් එහෙම මට ඉන්න දෙන එකක් නෑ.’’ යැයි කෑගසා ඇත.

ඒ සමග ම වඩුකාර්මිකයා ද ‘‘කටවහගෙන හිටපං... මේක මීට කාලෙකට කලින් කරන්න තිබුණ දෙයක්. ඒක නොකරපු නිසා තමයි මේ ප්‍රශ්නෙ...’’ යැයි රළු හඩින් අපවසා ඇත.

එවිට රෝගිනිය ‘‘ආ... උඹ දැං මේක බලෙන් කරන්නද යන්නෙ... ආ... බලෙන් කරන්නද යන්නෙ...?’’ යැයි විමසා ඇත.

wood45වඩුකාර්මිකයා ඊට පිළිතුරු සපයා ඇත්තේ ‘‘ඔවු... මං මේ බලෙන් හරි කරන්න යන්නෙ උඹේ කසාද මිනිහ කරන්න තිබුණ දේ. උඹ කසාද බැඳල නැත්නං කවුරු හරි මිනිහෙක් මේක කරන්න තිබුණ. එහෙම උනා නං මට මෙතන කරන්න දෙයක් නෑ...’’ යනුවෙනි.

රෝගිනිය ද පසුබාන බවක් නොහැඟෙන බව වෛද්‍ය මණ්ඩලයට අවබෝධ වී ඇත. ඒ, ‘‘හා... එහෙනං උඹ බලෙං කරල බලපංකො... කරල බලපංකො...’’ යනුවෙන් රෝගිනිය ද මහ හඬින් ප්‍රකාශ කරන බැවිනි.

ඒ අතර කාමරය තුළින් යම් යම් දැ පෙරළෙන හඬ ද, දෙනො ඒ මේ අත දුවන හඬ ද, දෙදෙනාගේ සුසුම් ලෑම් හඬ ද කාමරයෙන් පිටතට ඇසෙන්නට පටන් ගෙන ඇත.

මේ කලබගෑනියට සවන් දී සිටි වෛද්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ මතය වී ඇත්තේ ඔවුන් ගත් තීරණය බරපතළ බවයි. ඒ,රෝගිනියට කුමක් හෝ ගැටලුවක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලය වගකිව යුතු බැවිනි. නමුදු ප්‍රධාන වෛද්‍යවරයාගේ තීරණය ඊට හාත්පසින් ම වෙනස් ය. ඔහු පවසන්නේ රෝගිනිය විවාහ වී නොමැති බැවින් ඇයට ලිංගික අවශ්‍යතා බරපතළ ලෙස දැනෙන බවත්, එබැවින් රෝගය සුව කිරීමට නම් ඇය වෙත ලිංගික සතුටක් ලබා දිය යුතු බවයි. එබැවින් පැය බාගයක් ඉවසන ලෙස ද එම වෛද්‍යවරයා පවසා ඇත. ඒ අනුව වෛද්‍ය මණ්ඩලය ඉවසීමෙන් බලා සිටින අතර පැය බාගයක් නොව මිනිත්තු විස්සකට පසු කාමරයේ දොර විවෘත කළ වඩුකාර්මිකයා පිටතට පැමිණ ඇත. පිටතට පැමිණි වඩුකාර්මිකයා පවසා ඇත්තේ දැන් ඇගේ රෝගය සුව වී ඇති බවයි. ද්‍යෛ මණ්ඩලය ද විස්මයට පත්ව ඇත.

අනතුරුව කාමරය තුළට ඇතුළු වූ වෛද්‍ය මණ්ඩලය ‘‘දැන් ඔබට කොහොම ද...? ඔබේ රෝගී තත්ත්වය සුව වුණා ද...?’’ යැයි කාන්තාවගෙන් විමසා ඇත. ඇය ද පවසා ඇත්තේ දැන් ඇගේ රෝගය සම්පූර්ණයෙන් ම සුව වී ඇති බවයි.

දැන් මෙතෙක් මෙම සිද්ධිය කියවූ පාඨක ඔබට සිතෙන්නේ කුමක් ද...? අනිවාර්යයෙන් ම ඔබ සිතනු ඇත්තේ වඩුකාර්මිකයා විසින් රෝගිනිය වෙත ලිංගික බලහත්කාරයක් සිදු කරනු ලැබ ඇති බවයි. ඇතැම් විට එසේ ද සිදුවන්නට ඇත. එහෙත් වඩුකාර්මිකයා ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ කුමකට ද...?

ඔහු නිවැරැදිව ම රෝගය හඳුනාගෙන ඇත. අනතුරුව ඒ සඳහා සුදුසු ම ප්‍රතිකාරය ලබා දී ඇත. යළිත් සිතන්න... ඇගේ රෝගය පළමුව ඇඳ යට පුරුෂයකු සිටිනවා යැයි පැවසීම ය. දෙවනුව පුරුෂයන් දෙදෙනෙකු සිටිනවා යැයි පැවසීම ය. එසේ නම් කළ යුත්තේ කුමක් ද...? වඩු කාර්මිකයා කළ යුතු හොඳ ම දේ කර ඇත. එනම් ඔහු ඇඳේ කකුල් හතරම කපා දමා ඇත. ඇඳේ කකුල් කපා දැමූ පසු කිසිවකුට ඇඳ යටට රිංගීමට නොහැකි ය; ඇඳ යට කිසිවකුට සිටීමට ද නොහැකි ය.
 
ඒ අනුව මගේ පුද්ගලික විශ්වාසය නම් මෙලොව පවතින සැම ප්‍රශ්නයක ම, සැම රෝගයක ම අභ්‍යන්තරයේ ලිංගිකත්වය පවතින බවයි. මේ ජීවිතයේ ලිංගික ආසා සන්තර්පණය කර නොගෙන ඖෂධවලින් පමණක් රෝග සුව කළ නොහැකි ය. එමෙන් ම එකී ලිංගික ආසාවේ කොතැනක හෝ කෙළවරක් ඉතිරි වුවහොත් රෝගය සුවපත් නොවේ. වඩුකාර්මිකයා කළේ එම කෙළවර ද වසා දැමීම ය. එවිට යළි රෝගය මතුවන්නේ ම නැත; යළිත් පුරුෂයකු එම කාන්තාවගේ ඇඳ යටට රිංගන්නේ ම නැත.
 
ජනප්‍රියත්වය උදෙසා ලිංගික සතුට ලබා දීම
 
සම්මාන හෙලුව හෙළිකරන 'ගෞර ග්‍රන්ථ'
මෙම කාන්තාවගේ කතන්දරය සහ ජයසිරි අලවත්තගේ ‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතිය අතර සමානත්වයක් පවතින බව මගේ හැඟීම ය. මගේ සුදානම එය පැහැදිලි කිරීම සඳහා ය.

‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතියේ ප්‍රධාන චරිතය අනිත්‍යා නමැති කාන්තාව ය. නමුත් ඇය ඕෂෝගේ කතාවේ ගැහැනියට සමපාත කර නොගන්නැයි මම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි. අනිත්‍යා ආර්ථික පාර්ශවයෙන් පොහොසත් ය. ඇයට වුවමනා ප්‍රසිද්ධිය යි; ජනප්‍රියත්වය යි; වැඩි දෙනෙකුගේ අවධානය දිනාගැනීම යි. ඒ සඳහා ඇය තෝරාගත් මාර්ගය වන්නේ අභිමන් නමැති සම්මානිත ලේඛකයාගේ කෘතියක් තමාගේ නමින් ප්‍රකාශයට පත් කර සමාජ අවධානය දිනාගැනීම ය.

ඇය සාහිත්‍ය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති කාන්තාවකි. නමුදු ඇයට සමාජ අවධානය දිනාගැනීමට අවශ්‍ය ය. ඒ වෙනුවෙන් ඇති තරම් මුදල් වියදම් කිරීමට ද ඇයට හැකියාව පවතී. ඒ සියලු දෑ භාවිත කරමින් ඇය අභිමන් දිසානායක නමැති සම්මානිත ලේඛකයාගේ කෘතියක් තමන් යටතට ගෙන එය ඇය නමින් ප්‍රකාශයට පත් කරන්නී ය.
 
මෙම කාර්ය සඳහා අනිත්‍යා භාවිත කරන්නේ කුමක් ද...? ඒ සඳහා ඇය භාවිත කරන්නේ ලිංගිකාර්ෂණය යි; ලිංගිකත්වය යි; ලිංගික උපක්‍රම යි. තවත් සරලව ම පවසන්නේ නම් ඇගේ සුන්දර සිරුර යි. ඇය, වයස හැට ද ඉක්මවූ අභිමන් නමැති ලේඛකයා ආකර්ෂණය කරගැනීම සඳහා තම සිරුර භාවිත කරන්නී ය; ඒ සඳහා ඇය විවිධ උපක්‍රම භාවිත කරන්නී ය. එකී කාර්ය සඳහා ඇය චේතිය නම් වූ ඇගේ පෙම්වතා ද හවුල් කරගන්නී ය.
 
ලිංගික සැලසුමේ හිදැස්

මෙම දෙපළ ම එකතු වී ඉතා අපූරු ලිංගික සැලසුමක් සකස් කරති. නමුදු එම ලිංගික සැලසුමේ හිදැස් කිහිපයක් ම පවතී. එබඳු එඅවස්ථා තුනක් කෙටියෙන් මෙසේ ය.

01.  අභිමන් ඇයට ආසක්ත වනවා සේ ම ඇය ද එක්තරා අවස්ථාවක දී අභිමන්ට ආසක්ත වන්නී ය. නමුදු එය ඇය සහ ඇගේ පෙම්වතාගේ ලිංගික සැලසුමෙහි නොමැත. සැලසුම පවතින්නේ අභිමන් අනිත්‍යා වෙත ආකර්ෂණය කර ගැනීම පමණි. නමුදු කිසියම් හේතුවක් මත අනිත්‍යා අභිමන්ට ආසක්ත වුවහොත් සූදුව පරාජයට පත්වන්නේ ය. මන්ද ලිංගික සූදුව හෙවත් ගේම සහ හැඟීම (Emotion) පටලවාගත හොත් සූදුව පරදින්නේ ය. එබැවින් හැඟීම සහ සුදුව පටලවා නොගත යුතු ය.

02.  අන්තර් ජාලය හරහා අභිමන් ක්‍රියාත්මක කරන සැලසුම අනිත්‍යාට හසු නොවේ. අභිමන් අසීරුතාවට පත්වූ මොහොතේ සිට ඔහු, තමා සිටින්නේ කුමන ස්ථානයක ද යන්න නිරීක්ෂණය කරයි. නමුදු ලිංගික සූදුව පමණක් ම මනසෙහි රඳවාගෙන කටයුතු කරන අනිත්‍යාට පමණක් නොව චේතියට ද අභිමන්ගේ සැලසුම හසු නොවේ. එය හේතුවෙන් තමන්ගේ ගැලවීම උදෙසා වෙනත් තත්ත්වයක් නිර්මාණය කරගැනීමට අභිමන් සමත් වේ.

03.  අභිමන් සිටින ස්ථානයේ සිදුවන සියලු දෑ ශබ්ද ලෙස පමණක් නොව රූප ලෙස ද ඔහු පටිගත කරන බව අනිත්‍යාට මෙන් ම චේතියට ද මගහැරේ.  ඒ, වයස හැට ද ඉක්මවූ මේ පුද්ගලයා එතරම් සූක්ෂ්ම යැයි ඔවුන් නොසිතන බැවිනි.

සම්මාන හෙලුව හෙළිකරන 'ගෞර ග්‍රන්ථ'
 
මෙම හිදැස් තුන වසා නොදමන තාක් අනිත්‍යා සහ චේතිය විසින් කරන ලද සැලසුම ජය ගත නෙනාහැකි ය. එය නිවැරැදිව ම පවසන්නේ නම් ඕෂෝගේ කතාවේ එන රෝගී කාන්තාව සහ වඩුකාර්මිකයාගේ කතාව හා සමාන ය. එහි දී වඩුකාර්මිකයා ඇඳේ කකුල් හතර කපා නොදැම්මේ නම් තව දුරටත් එම ඇද යටට පුරුෂයන් රිංගනු ඇත.
 
කතා නායිකාව වන අනිත්‍යා අභිමන් ඉදිරියේ ලිංගික ආකර්ෂණය නමැති දැල එළූ බව සැබැවි. නමුත් අවසන අනිත්‍යාම එම දැලෙහි පැටලෙන්නී ය. හැඟීම් සහ සූදුව පටලවා ගතහොත් සියල්ල වරදින බව මා කලින් පැවසුවේ එබැවිනි. අනිත්‍යා වඩු කාර්මිකයා සේ ඇඳේ කකුල් හතර කපා දැමුවේ නම් ඇය පරාජය නොවන්නී ය. ඇය පරාජය වන්නේ ද, අභිමන් නැවත පැමිණ ඇයට පහර දෙන්නේ ද අභිමන්ට රිංගා යා හැකි හිදැස් ඇය සහ ඇගේ පෙම්වතා ඉතිරි කළ බැවිනි. එය වඩාත් අවබෝධ කර ගැනීමට නම් ඔබ නවකතාව කියවිය යුතු ය.
 
ත්‍රිලර් ස්වභාවයේ ගාමක බලවේගය

මෙම කතාව ගලා යන්නේ කුඩා ත්‍රිලර් කතාවක් ලෙසිනි; එය විටෙක රහස් පරික්ෂක හැඩයක් ද දරන්නේ ය. මම පුද්ගලිකව එයට රුචි වෙමි. එම ත්‍රිලර් ස්වභාවයේ ගාමක බලවේගය වන්නේ ලිංගිකත්වය යි. එනම් අභිමන් තමා වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා අනිත්‍යා දරන උත්සාහය යි. අපි ද හසුවන්නේ එයට ය. පාඨකයා නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නේ අභිමන් දැන් දැන් අනිත්‍යාට හසුවේ ය යනුවෙනි. එය ඉතාම කුතුහලකාරි ය. මේ ඒ සඳහා එක් උදාහරණයකි. මෙය අනිත්‍යා විසින් ම පවසන ලද්දකි.

‘‘මාත් ඉක්මනට ම ගිහින් තේ එකක් හදාගෙන ඇවිත් අංකල් ඉඳගෙන හිටපු පුටුවට ඉස්සරහ පුටුවෙ ඉඳගත්තෙ දැන්වත් අංකල් මගේ ඇඟ දිහා බලයි ද කියන බලාපොරොත්තුවෙන්. මම ඒ වෙලාවෙ චේතියගෙ කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇන්දෙත් වුවමනාවෙන් ම යි. ඒ තියා මං බ්‍රා එකක් ඇඳල හිටියෙත් නෑ. හැබැයි අංකල්ට ඒ කිසිම දෙයක් ගැන අවධානයක් තිබුණෙ නෑ. අඩුම ගානෙ හොරෙන්වත් බලයිද කියල මං හොරෙන් බැලුව. ම්ම්හ්...’’

පිටුව 55
 
මෙහි දී අපිට දැනෙන්නේ අනිත්‍යා අභිමන්ව දැලට පටලවා ගැනීම සඳහා, එසේත් නැත්නම් ඔවුන් විසින් මෙහෙයවනු ලබන ලිංගික සැලසුමට අභිමන්ව යටත් කර ගැනීම සඳහා කොපමණ උත්සාහ කරනවා ද යන්න ය. පාඨකයා නිරන්තරයෙන් ම අභිමන් අනිත්‍යාගේ ලිංගික දැලට හසුවේ යැයි බලාපොරොත්තු වන්නේ ද එබැවිනි. එය එක්තරා ආකාරයක කුතුහලය දනවන සිද්ධියකි.
 
කතුවරයාගේ යටි අරමුණ
 
සාහිත්‍ය මංකොල්ලයක අඳුර විනිවිදින 'ගෞර ග්‍රන්ථ'ජයසිරි අලවත්ත
 
යට කී සියලු කාරණා සමග ජයසිරි අපිව කැඳවාගෙන යන තවත් මානයක් පවතී. ඒ ලංකාවේ පවත්වන සාහිත්‍ය සම්මානෝත්සව තුළ පවත්නා: ජාගර, තුච්ච, කටුකත්වය වෙත ය; එවායේ යට පවත්නා ජරාජීර්ණ භාවය මතුකර ලන්නට ද ජයසිරි උත්සාහ කර ඇත.

සත්‍ය වශයෙන් ම ගතහොත් මේ සම්මාන උළෙල යටි තලයේ පවතින්නේ පට්ට පල් බොරුවකි. බහුතර පාඨක පිරිසක් අතර සාකච්ඡාවට බඳුන් වන්නේ සම්මානයට පාත්‍ර වූ සාහිත්‍ය කෘතිය තරම්: පිරිසිදු, අනභිභවනීය වෙනත් කිසිවක් නැති තරමිනි. ඒ මිථ්‍යාව සඳහා පාඨක ජනතාව කෙතරම් හසු වනවා ද...? සම්මානයට පාත්‍ර වන නවකතා මෙතරම් අලෙවි වන්නේ එසේ හසුවන බැවිනි. නමුදු ජයසිරි මෙම කෘතිය තුළින් සාකච්ඡා කරන්නේ යට කී අනභිභවනීය, පිරිසිදු කටයුත්ත යට පවත්නා දුගඳ හමන, අපිරිසිදු තත්ත්වය පිළිබඳව ය; එහි යටි තලයෙහි පවත්නා වෙළඳ අරමුණු පිළිබඳව ය.
 
භාණ්ඩයක් අලෙවි කර ගැනීම සඳහා වෙළඳ අරමුණු පැවතීම වරදක් නොවේ. නමුත් ප්‍රශ්නය වන්නෙ මේ දෙබිඩි භාවය යි. කුමක් ද මේ දෙබිඩි භාවය...? එක් පසෙකින් අදාළ නිර්මාණය: ඉතා හොඳ ය, අනභිභවනීය ය යනුවෙන් පවසා පාඨකයා ග්‍රහණය කරගන්නේ ය. එය වෙළඳ අරමුණකි. නමුත් ඒ සඳහා භාවිත කරන්නේ කුමක් ද...? අදාළ කෘතියේ සුපිරිසිදුභාවය යි; සුපැහැදිලිතාව යි. එම නිසාම පාඨකයා හසුවන්නේ මේ දෙබිඩි භාවයට ය. නමුදු ඒ පිරිසිදු, අනභිභවනීය වස්තුව ඇතුළත තිබෙන්නේ දුඟද හමන කසළ ගොඩකි.
 
දූපත් මානසිකත්වයේ අනිටු විපාක

මෙම සිද්ධිය ම අපේ රටින් එපිටට ගොස් බැලූ විට දක්නට ලැබෙන්නේ කුමක් ද...? එම රටවල පාඨකයිනට මෙය මේ ආකාරයට බලනොපායි. මේ සියලු ප්‍රශ්න පවතින්නේ මෙම දූපතේ පමණි. මෙම දෙබිඩි භාවය පවතින තුරු මෙය වෙනස් නොවන බව ද පැහැදිලි ය.
 
අපේ රට තුළ මෙසේ සිදුවන්නේ ඇයි...? පොතක් යනු වෙළඳ භාණ්ඩයකි යන්න පිළිගැනීමට අපි තවමත් මැළිකමක් දක්වන්නෙමු. නමුත් අපේ දූපතෙන් පිටත පොතක් යනු සපුරා ම වෙළඳ භාණ්ඩයකි. එයට මුදල්මය වටිනාකමක් පවතී. ඒ වෙනුවෙන් ඉල්ලුමක් නිර්මාණය කරයි. නමුත් අපි තවමත් පොතක පවත්නා වෙළඳ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්නට බියෙන් පසුවන්නෙමු. එය යට ගසා පිටතින් සාකච්ඡාවට රැගෙන එන්නේ පිරිසිදු, අනභිභවනීයත්වය යි. මෙයට ප්‍රධාන හේතුව ලෙස මට හැඟෙන්නේ අපි රටක් ලෙස මෙන් ම මිනිස්සු ලෙස ද බොරුවෙන් ජීවත් වීම සඳහා හුරු පුරුදු වී සිටීම ය. අපේ රටේ පාර්ලිමේන්තුව ද මෙබඳු කුණු ගඳ ගසන හොරු රැලක් අරක් ගෙන සිටින්නේ මේ හේතුවෙනි. මෙම දෙබිඩි භාවය අහෝසි වන තෙක් මෙය වැළැක්විය නොහැකි ය. ජයසිරි මෙම කෘතිය තුළ ප්‍රශ්න කරන්නේ ද මෙම දෙබිඩි භාවය යි. එය කෘතියේ මතුපිටින් දක්නට නොමැත. එය දැකගැනීම සඳහා, දැනගැනීම සඳහා කෘතියේ ගැඹුරට කිමිදිය යුතු ය. එය මා ඉතා කැමති තත්ත්වයකි.
 
කතුවරයා මගහැරි හෝ ඔහුට මගහැරුණු අවස්ථා
 
382317252 10229202496423610 4628890700982655073 n
ගෞර ග්‍රන්ථ තුළ ඉහත සඳහන් කළ දෙබිඩි බව මතු කරනවා මෙන් ම තවත් මතු කළ හැකි කරුණු බොහොමයක් පවතී. ජයසිරි එම අවස්ථා හිතාමතා ම මගහැරියා ද යන්න මට සැක සහිත ය. ඇතැම් විට මෙම කටයුත්තේ දී අත පිච්චෙන ප්‍රමාණය වැඩි විය හැකි ය. මන්ද ජයසිරි ලියන්නේ ද නවකතාවකි. එසේ නම් මෙය එළඹෙන සම්මාන උළෙලවල දී නොසලකා හැරිය හැකි ය. මන්ද සම්මාන විනිශ්චය මණ්ඩලවල කටයුතු කරන පුද්ගලයන්ට තමන්ගේ ම රූපය මෙම කෘතිය තුළින් පිළිබිඹු වන බැවිනි. එබැවින්දෝ ජයසිරි එහි දී යම් ප්‍රවේසම්සහගත ක්‍රමයක් භාවිත කරා දැයි සැකයක් පවතී.
 
ඒ සඳහා උදාහරණයක් ලෙස මම, මට නැගුණු පැනයක් ඉදිරිපත් කරන්නෙමි. අභිමන්ගේ කෘති නිරන්තරයෙන් ම සම්මානයට පාත්‍ර වන්නේ කෙසේ ද...? ජයසිරි පවසන පරිදි මෙහි එන සම්මාන කමිටුව එක් ලේඛකයකුට හෝ ලේඛිකාවකට පස් වතාවකට වඩා වැඩි වාර ගණනක් ‘‘ගෞර ග්‍රන්ථ සම්මානය’’ ප්‍රදානය කිරීමෙන් වැළකී සිටීමට තීරණය කරයි. ඒ, අභිමන් දිසානායක ඉදිරිපත් කළ කෘති සිවු වතාවක් ම මෙම සම්මානය ලබාගැනීමෙන් ඉක්බිතිව ය. නමුදු අභිමන්ගේ නවකතා හැම සම්මාන උළෙලක දී ම නිර්දේශ වන්නේ කෙසේ ද යන කලාපය ජයසිරි හිතාමතා ම අත්හැර දමා ඇත. එහි යටිපෙළෙහි පවතින දේශපාලනය ද තවත් සියුම් ආකාරයෙන් මතු කළේ නම් ගෞර ග්‍රන්ථ මීටත් වඩා උසස් කෘතියක් ලෙස සැලකිය හැකි ය.
 
භාෂා ප්‍රයෝගයේ සමත්කම

කෘතියේ අන්තර්ගත ලිංගිකත්ව අවස්ථා සුන්දර ය. නමුදු ඇතැම් අවස්ථාවල දී දැන් දැන් සිදුවන්නේ කුමක් ද යන්න පාඨකයාට දැනෙන අවස්ථා ද පවතී. එසේ නොවුණා නම් වඩාත් සුදුසු ය යන්න මගේ අදහස ය. එනම්, අනිත්‍යා අභිමන් තමන්ගේ ලිංගික දැලට හසු කරගැනීමට දරන උත්සාහයේ දී දැන් මෙහෙම වෙයි... දැන් මෙහෙම වෙයි... යනාදි වශයෙන් සිතෙන අවස්ථාවල දී ත්‍රිලර් භාවය යම් තරමකට බිඳ වැටෙන අවස්ථා ද පවතී. එම අවස්ථා ද නොතිබුණා නම් වඩාත් අගනේ යැයි සිතේ. ඒ කරුණු කෙසේ වුව ද මෙම කෘතිය රචනා කිරීමේ දී භාවිත කරන භාෂා ප්‍රයෝග ඉතා මනරම් ය. කතාව එක දිගට ගලායන අතර එක් විට ම කතුවරයා කතාව ඛණ්ඩනය කරයි; ඛණ්ඩනය කර වෙනත්ම ස්ථානයකින් නැවත ප්‍රවේශ වන්නේ ය. ඒ සමග ම: අනිත්‍යා, අභිමන්, චේතිය යන අයගේ චරිතවල ආත්ම භාෂණ (Monologue) හරහා ඔවුන්ගේ හෘද අභ්‍යන්තරයට පිවිසීම ද මගේ සිත් ගත්තේ ය.
 
කලින් සදහන් කළ පරිදි ජයසිරි ඇතැම් කලාප අත්හැරීමෙන් සිදුවන්නේ ඕෂෝගේ කතාවේ පැවසෙන පරිදි තවත් පුද්ගලයකුට ඇද යටට රිංගීමේ අවස්ථාව උදාවීම ය. ජයසිරි ද ඇඳේ කකුල් හතර ම කපා දැමුවේ නම් වඩාත් අගනේ ය.
 
සටහන - 
බද්ධාංජලී පටිභානී
2023/10/22      

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්