ඊයේ (නොවැම්බර් 17) සිට ප්‍රදර්ශනය වන 'රහස් කියන කඳු' චිත්‍රපටයට න්‍යායික අඩිපාරක්...!
In order to understand today’s world, we need cinema, literally. It’s only in cinema that we get that crucial dimension we are not ready to confront in our reality. If you are looking for what is in reality more real than reality itself look into the cinematic fiction.
—Slavoj Žižek
අපගේ ආශාව සහ කුතුහලය මෙතරම් කුළුගන්වන්නට තරම් ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ 'රහස් කියන කඳු' සිනමා වියමන තුළ සැඟවී ඇති 'අභිරහස' කුමක් විය හැකිද ? ෂර්ලොක් හෝම්ස් වර්ගයේ අභිරුචියකින් මෙම චිත්‍රපටිය පරික්ෂා කරන කියවන්නියකට මෙම අභිරහස අනාවරණය කරගැනීම සඳහා අතුරු ප්‍රශ්න කිහිපයකින් සහය වීමට මම කැමැත්තෙමි.
ඉන් අපව යථාවේ න්‍යායික මරු කතරකට සාදරයෙන් පිළිගනු ලබනු ඇත.
1.) '80 අග භීෂණය' ලෙස ප්‍රසිද්ධ වී ඇති 'ජනතා විමුක්ති' නැගිටීම හා රාජ්‍යයේ ත්‍රස්ත මර්දනය පිළිබඳ සංසිද්ධිය එකී ඓතිහාසික පසුබිමෙන් ගලවා වෙනත් සිනමා දෘෂ්ටාන්තයක් ලෙස මෙහි රූපකවත් කර ඇත්තේ මන්ද ?
2.) මර්දනයට හා පරාජයට පත් සටන්කාමී වින්දිතයාගේ දෘෂ්ටිකෝණය චිත්‍රපටිය තුළ නිහඬකර රාජ්‍ය ඝාතකයන්ගේ දැක්මේ ලෝකයක් තුළින් අදාළ යුග මතකය ප්‍රක්ෂේපණය කරන්නේ මන්ද ?
3.) එහිදී රාජ්‍ය ඝාතකයන්ගේ දෛනික ජීවිතය රාජ්‍ය නියෝගයට අවනත විනයගත ප්‍රතිරූපයන් ලෙස වෙනුවට අසභ්‍ය, විපරීත හා අතාර්කික සාමාන්‍යකරණ මුහුණුවරකින් පිළිබිඹු කර ඇත්තේ මන්ද ?
4.) 80 තරුණ සංහාරයේ සැබෑ වගඋත්තරය ගැන පොදු සමාජයේ දැනුම අප්‍රකාශිත කරමින් වසංගතයක් නිසා සිදු වූ සියදිවි නසා ගැනීමක් ය යන මුලාව මතුපිට සම්මුතියක් ලෙස චිත්‍රපටිය පුරාම මතු කරන්නේ මන්ද ?
පරාජිත 'ජනතා විමුක්ති සටන් කරුවාගේ' යුක්ති ධර්මය පාර්ශවයෙන් 80 රාජ්‍ය භීෂණය වාර්තා කරන සාහිත්‍යය හා කලාවට අද ජනප්‍රිය වටිනාකමක් ලැබී ඇත. 80 ජනතා විමුක්ති නැගිටීම විෂය කරගත් අද දවසේ සිනමා-කලා නිෂ්පාදන එදා එහි මර්දනය දියත් කළ දේශපාලන හා මතවාදී පාර්ශවයන්ගේ පවා විනෝදාස්වාද වස්තූන් වී ඇත.
ඒ අනුව වඩා බිහිසුණු වන්නේ එකී '80 භීෂණ යුග මොහොත' නොව එය අද ප්‍රකාශ මාන වන දෘෂ්ටිවාදී විපරීතකරණයයි. නරුමවාදී ස්වරූපයයි. පසුගිය දා ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී කමල් අද්දරආරච්චි ලෙස වෙස් ගත් රෝහණ විජේවීර ඇතුළු 'ගින්නෙන් උපන් සීතල' 80 රාජ්‍ය මර්දනයේ දේශපාලන අණ දෙන්නෙකු වූ වත්මන් ජනාධිපති අතින්ම සම්මානයට පාත්‍ර වීම එකී නරුමවාදය හකුළුවා දක්වන සරදම්කාරී ඉතිහාස සෝපහාසයකි.
ඒ අනුව 80 භීෂණය වාර්තා කරනු ලබන ඊනියා සෞන්දර්‍ය යථාර්තයක් තුළ එහි වත්මන් සැබෑ යථාව තවදුරටත් ග්‍රහණය වන්නේ නැතුවා පමණක් නොව එය නොවැලැක්විය හැකි විකෘතියකට ලක් කෙරෙයි.
එහෙයින් එකී ඉතිහාස නිමේෂය 'සිනමාධිකරණයට ලක් කිරීම' වෙනුවෙන් ඉහත යථාර්තමය මායාව ප්‍රති-නිෂ්පාදනය කරන දෘෂ්ටිවාදී අභිරහස්කරණය අනාවරණය කෙරෙන සිනමා ආකෘතියක් තෝරාගත යුතු වේ. 'රහස් කියන කඳු' සිනමාපටයේ ඓතිහාසික සුවිශේෂත්වය වන්නේ එයයි.
ඒ අනුව 'රහස් කියන කඳු' විසින් තෝරාගත් සිනමා ආකෘතියට පදනම් වන න්‍යායික කවුළුව මට අනුව මෙසේය.
දෘෂ්ටිවාදය විසින් සිදු කරන්නේ අනෙකාගේ දෘෂ්ටියේ ක්ෂතිමය යථාව (The Real Gaze) සඟවාලීමයි. මන්ද එම යථාව දෘෂ්ටිවාදී වෙස්මුහුණ විසින් ආරක්ෂා කරන පවතින සමාජ පිළිවෙළෙහි ඊනියා ස්ථාවරත්වයට තර්ජනයකි. යථාර්තයේ ස්ථාවරත්වය හා සමස්තකරණය පිළිබඳ මායාව මේ අනුව බලය හා අධිකාරිත්වය තහවුරු කරන්නකි. ඒ අනුව යථාර්තය යනු සංකේතීය ආකෘතියක් ලෙස සත්‍යය පිළිබඳව ගොඩනගන ප්‍රබන්ධයකි. එමගින් ක්ෂතිමය අත්දැකීමෙන් ගැලවුම ලබන ෆැන්ටසියක් ලෙස ද යථාර්තය පෙනී සිටියි. (යථාර්තය = ෆැන්ටසිය).
ඒ අනුව සමාජ යථාර්තයේ ෆැන්ටසි මානය නිසා එහි සංකේත ප්‍රබන්ධ මානයට අතිරේකව එහි යටිපෙළින් අසභ්‍ය අතිරික්තයක් (Obscene Supplement) දරා සිටියි. යටපත් කළ ලුබ්ධිමය හා ව්‍යාධිමය අසහනකාරී අඩංගුවක් ක්‍රියාත්මක වෙයි.
එහෙත් මහා අනෙකා (Big Other) නම් වූ සමාජ සම්මුතික ප්‍රබන්ධය තවදුරටත් විශ්වාස නොකරන (විජේවීරලාගේ 'සමාජවාදී ලෝකය' හා එහි සතුරන් අතර වූ පසමිතුරුතාව තවදුරටත් තීරණාත්මක නොවන) ධනවාදී නරුමකරණය අධිපති වූ යුගයක මෙම යථාමය දෙය ක්ෂතිමය ලෙස සමාජයට මුණගැසේ. එහිදී ඊනියා යථාර්ත සම්මුතිය විසින් යටපත් කළ අසභ්‍ය-ව්‍යාධිමය අඩංගුවට අනුව අද සමාජ යථාර්තය යළි ව්‍යුහගත කෙරෙනු ලබයි. යථාවේ ප්‍රමෝද-වින්දන මානය අද යුගයේ බරපතළ දේශපාලන සාධකයක් ලෙස හඳුනාගැනීමට අවශ්‍ය වන්නේ එබැවිනි. (Enjoyment as a political factor).
'රහස් කියන කඳු' චිත්‍රපටිය තුළ රාජ්‍ය මිලිටරි ඝාතකයන්ගේ අසභ්‍ය-විපරීත ලෝකය පෙරබිමට කැඳවා ඔවුන්ගේ දෘෂ්ටිකෝණය කේන්ද්‍ර කරගත් දෘෂ්ටාන්තයක් නිර්මාණය කිරීමේ හැරවුම මෙයයි. භික්ෂු සංස්ථාව,රාජ්‍යයේ මතවාදී හා මර්දන උපකරණ ඇතුළු සමාජ ආයතනික පර්‍යායන් (ධනවාදී) පරිභෝජන-භාණ්ඩකරණයට ඌනනය වී විපරීතකරණය වී ඇති තතු චිත්‍රපටිය තුළ දිගින් දිගටම මුණ ගැස්වීම මේ අනුව වඩා අර්ථවත් ය.
80 ජනතා විමුක්ති අරගලයේ යුක්ති සහගත බව පිළිබඳ ජනප්‍රිය දැක්ම පවා මෙම යුගයේ බියකරු ක්ෂතියෙන් පලායාමේ දෘෂ්ටිවාදී වහන්තරාවක් වී ඇත. ඒ අනුව 80 අග ලේ වැකි අරගලයේ වත්මන් ශේෂ පත්‍රය වඩා සමීපව ග්‍රහණය කරගැනීම වෙනුවෙන් එහි බියකරු යථාව හා එහි වේදනාත්මක ප්‍රමෝදයේ දැක්මට අනන්‍ය වූ සිනමාවක් ප්‍රබන්ධ කළ යුතු වේ.
මේ අනුව 'රහස් කියන කඳු' චිත්‍රපටිය තුළ 'සිල්වා මහත්තයලාගේ' (සරත් කොතලාවල) ලෝකය හා එහි විපරීත ප්‍රමෝදය මත කේන්ද්‍ර ගත වෙමින් 80 'ජනතා විමුක්ති නැගී සිටීම' වෙත සිනමා දැක්මක් ගොඩනැගීම බරපතළ ලෙසම දේශපාලනික ය.
චිත්‍රපටිය අගදී 'ප්‍රසාද් කුමාර සොයිසා' (මනුවර්ණ) රාජ්‍ය මර්දන උපකරණයෙන් ගැලවී පලා යන කඳුවැටිය ක්‍රමයෙන් චිත්‍රයක් බවට රූපාන්තරණය වී ඔහු එය තුළම අංශුවක් බවට පත් වීමත් මට අනුව මරණීය දේශපාලන ඉතිහාසයක් සෞන්දර්‍යකරණය කිරීමේ වත්මන් යුග තර්කණය සිහිපත් කිරීමකි.
මරණීය හඹායාමක් දරාගත් විමුක්ති දේශපාලනයක් සෞන්දර්‍යකරණය කිරීමට එරෙහිව එහි 'දේශපාලනිකය' (The Political) නැවත සොයා ගැනීම වෙනුවෙන් මිනීමරු සිල්වලාගේ සරල ලෝකය හරහා මූර්තිමත් කෙරෙන යථාව හා එහි ප්‍රමෝදය කරා කඩා වදින අර්ථකථනයක් 'රහස් කියන කඳු' විසින් ඉල්ලා සිටින බව මම යෝජනා කරමි.
ඒ වෙනුවෙන් සම තිරරචනය, සිනමා රාමුකරණය, කලා-අධ්‍යක්ෂණය, සංස්කරණය හා සංගීතය ඇතුළු සෙසු අංශයන්ගේ සාමූහික මිත්‍රත්ව ශ්‍රමයෙන් කළ යුගකාරක දේශපාලන නිමැවුමක් දැන් අප අභිමුව ඇත. 'රහස් කියන කඳු' තුළ අප ප්‍රත්‍යක්ෂ කළ මූලික අභිරහස තවදුරටත් හෙළිදරව් කිරීම වෙනුවෙන් සිනමා වියමන තුළ කිඳී යාමට දැන් දොරටුවක් විවර වී ඇති අතර යටකී ශිල්පීය සංඝටකයන් එම සිනමා අර්ථකථනය වෙනුවෙන් විවෘතව බලා සිටියි.
(විදර්ශන කන්නන්ගර)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
විදර්ශන කන්නන්ගර ගේ ෆේස්බුක් පිටුවෙන්...