“‍මෙය ලිවීමට පහසු කෘතියක් වූයේ නැත. මාගේ තාර්කික මනස විශ්වාස කලේ මෙම නවකතාව ලිවීම මඟින් මගේ වෘත්තීය ජීවිතය විනාශ වෙනු ඇති බවය, එහෙත් මෙම කෘතිය මට ලිවීමට සිදු විය.

එවැනි කාරණාවලදි අපට වෙන තෝරා ගැනීමක් නැත. මම බයිබලේ පරණ තස්තමේන්තුවේ ඇති එක් පාඨයක් මෙසේ උපුටා දක්වමි. “ඔබ තුළ ඇති දේ ඔබ භාවිතයට ගන්නේ නම්, ඔබ තුළ ඇති දේ විසින් ඔබව ආරක්ෂා කරනු ඇත. එහෙත් ඔබ තුළ ඇති දේ ඔබ භාවිතයට නොගන්නේ නම්, ඔබ තුළ ඇති දේ ඔබව විනාශ කර දමනු ඇත.'' මාගේ ලිවීම විසින් මා රැක ගත්තේය.''

Prophet Song කෘතිය සඳහා මෙවර බුකර් සාහිත්‍යය සම්මානය (2023) පිළිගනිමින් මෙසේ පැවසුවේ, අයර්ලන්ත ජාතික ලේඛක පොල් ලින්ච් විසිනි. 

 

 

සැබවින්ම ඔහුට එම සම්මානය දිනා ගැනීමට ඉවහල් වූ කෘතිය නිර්මාණය කරන කාලයේ දීත්, ඉන් පසුවත් ඔහුගේ ජීවිතය එතරම් පහසු වූයේ නැත. පෝල් ලින්ච් ම පවසන පරිදි විශ්ව කවටයා හැකි සෑම නොදැමුණු ආකාරයකින්ම ඔහුගේ ජිවිතය සමඟ ලෙල්ලම් කර තිබුණි. 2018 වසරේ Prophet Song කෘතිය ලියන කාලය අතරතුර ඔහු බරපතල ලෙස කොරෝනා රෝගයට ගොදුරු වූයේය. එම රෝගය විසින් ඔහුව සැලකිය යුතු කාලයකට ලිවීමෙන් ඈත් කොට තැබුවේය. කෘතිය ලියා අවසන් වූ කාල‍යේ, ඔහුට වකුගඩුවේ පිළිකා රෝගී තත්වයක් ඇති බවට වෛද්‍යවරු නිර්දේශ කලෝය. සාර්ථකව සිදුකරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව ඔහු නිවසට පැමිණ සාමාන්‍ය ජීවිතයට පිවිසුණා පමණි, ඔහුගේ බිරිඳ ඔහුගෙන් වෙන් වූවාය.

 

Prophet Song Individual Style 1 MARBLE 2 teaser

එසේම නවකතාව ලිවීම ආරම්භයේදී ලින්ච් මාස ගණනාවක් ගත කොට ඇත්තේ ‘වැරදි පොතක්’ ලිවීමටය. එක් සිකුරාදාවක ඔහු හදිසියේ වටහා ගත්තේ එම නිර්මාණය මිය ගොස් ඇති බවකි. ඊළඟ සතියේ සඳුදා ඔහු ඩබ්ලින් නුවර ඔහුගේ ගෙවත්තේ කෙළවර ඇති කුඩා කුටියට වී, පරිඝණකයේ වර්ඩ් පිටුවක් වීවෘත කරන්නේ, Prophet Song කෘතියේ ඇති ලෙසටම, එහි පළමු පිටුව එකවරම ඔහුගේ මනසට කඩා වදින්නට විය. පෝල් ලින්ච් විස්තර කරන්නේ එය ඔහුගේ ලේඛණ දිවියේ ‘එක් ආශ්චර්යයක්’ ලෙසය. “ඉදිරියේ ලිවීමට නියමිත මුළු කෘතියේම සමස්ත අර්ථය ඒ වැකි කිහිපයේ කේත ගත වෙලා තිබුණා, එතනින් එහාට මම මොනවා ලියාවි ද යන්න මම දැනගෙන සිටියේ නැහැ.”

“ඒ යක්ෂ පොතට එහිම වූ ගම්‍යතා බලයක් තිබුණා. ඒක ඇතුළට මාව ඇද ගත්තා.” ඔහුටත් නොදැනීම එම කෘතිය ඔහු අතින් ලියවීම පිළිබඳ ඔහු එවැනි අදහසක් මාධ්‍යවලට පවසා තිබුණි.

 

එහෙත් ඒ සියළු ව්‍යසයනයන් මැද අවසානයේ ඔහුගේ මාහැඟි කෘතිය, ලෝ ප්‍රකට සාහිත්‍ය සම්මානයකින් පිදුම් ලැබූ අතර ඔහු එක් රැයකින් මුළු සාහිත්‍ය ලෝකයම දන්නා ආදරණීය ලේඛකයකු බවට පත් වූයේය.

එම කෘතියේ මුල් පිටුව ආරම්භ වන්නේ අයර්ලන්තයේ බඩ්ලින් නුවරට ආසන්න වීදියක පිහිටි නිවසක, ඉදිරිපස දොරට කිසියම් නොදන්නා පුද්ගලයන් දෙදෙනෙකු තට්ටු කිරීමේ සිදුවීමකිනි. අලුතින් ස්ථාපිත කරන ලද රහස් පොලීසීයේ සාමාජිකයෝ දෙදෙනෙක්, එරට ගුරු සංගමයේ නායකයකු වන, එලිෂ් ස්ටැක්ගේ ස්වාමි පුරුෂයා ලැරීව සොයති. එම ආරම්භක වැකියේ සිට, ඛේදජනක අවසන් පිටුව තෙක් එම කෘතිය පාඨක අපව රැගෙන යන්නේ, පළමුව ඇයගේ සැමියාත්, ඉන් පසුව ඇයගේ වැඩිමහළු පුත්‍රයාත් ‘අතුරුදහන්’ වන එලීෂ් ගේ ලෝකය වෙතය. සිව් දරු මවක් වන එලීෂ් ජීවතාක්ෂණික ආයතනයක සේවය කරන ජිව විද්‍යාඥවරියකි.

 

prophet 2

Prophet Song කෘතිය තුළ සෙමින් අනතුරුව එසැණින් අයර්ලන්තයේ ලෝකය කඩා වැ‍ටෙයි (අර්නස්ට් හෙමින්වේ ගේ කියමනක් උපුටා ගැනීමක්). බලයට පැමිණ වසර දෙකකට පසු, අයර්ලන්තයේ ආඥාදායක National Alliance Party( NAP) නම් පක්ෂය “ රාජ්‍යය තුළ පැනනැ‍‍ඟෙන අර්බූදකාරි තත්වයට ප්‍රතිචාර වශයෙන්” යැයි පවසමින් එරට රහස් පොලීසියට අසීමාන්තික බලයක් පැවරෙන හදිසි නීතිය බලාත්මක කරයි. ඒ අනුව එතෙක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට පදනම සැපයූ, උද්ඝෝෂණය කිරීම වැනි ක්‍රියා අයර්ලන්ත රහස් පොලීසිය විසින්, රාජද්‍රෝහී අපරාධ ලෙස නිර්වචනය කරයි. නමුත් මෙම කෘතිය තුළ ලින්ච් ගේ අවධානය යොමු වන්නේ NAP පක්ෂය, ආඥාදායක පාලනය තුළ ක්‍රියාත්මක වන ආකාරය නොව, ඒ වෙනුවට ඔහුගේ කෘතියේ ප්‍රධාන කතා වස්තුව බවට පත් වන්නේ, මහා ව්‍යසනයක් ඔවුන්ගේ දොරට තට්ටු කරද්දි එම නිවැසියන්ගේ ජීවන අත්දැකීම් දිග හැරෙන ආකාරයය, ‍ ඛේදවාචකයක් අභියස, ඒ කටුක සත්‍යය පිළිනොගෙන හැකි තරම් සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට උත්සාහ කරන පුරවැසියාගේ ඛේදජනක කතාන්දරයය. 

lynch 87 

තම රට තුළ ආඥාදායකත්වයත්, ඊට එදිරිව සිවිල් යුද්ධයත් ඇරඹී ඇති විටක, සාමාන්‍ය ජන ජීවිතය ඒ තුළ දිය වී යන විටත්, එලිෂ් දිගින් දිගටම උත්සාහ කලේ ඇයගේ දරුවන් තිදෙනාත්, අමතකවීමේ රෝගයෙන් පෙළෙන තම පියාත් ඇතුළු තම පවුල හැකි තරම් එම උවදුරින් ඈත් කොට තබා ගැනීමටය. ඇය වටා වූ ලෝකය ටිකෙන් ටික බිඳ වැටෙමින් තිබියදීත් ඇය එදිනෙදා ජිවිතයේ වැඩ කටයුතු තුළ සාමාන්‍ය පරිදි ගිලෙමින් උන්නාය - අත්තනෝමතික පාලනය ඇඳිරි නීතිය පනවා තිබිදීත්, මැරවරයන් ඇයගේ මෝ‍ටර් රථය පැහැරගෙන ගිය පසුත්, ආසන්න ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල වනවිටදීත්, ඇය නිවසේ ශීතකරණය කිරි බෝතල් වලින් පිරෙව්වාය, වැඩිමහළු දරුවන් පාරුවෙන් පාසලට කැඳවාගෙන ගියාය, කුඩා දරුවාගේ දත් කැක්කුමට පිළියම් සෙව්වාය. ලඟ ලඟ පිපිරෙන බෝම්බ ශබ්දය නොතකා ඇය මුළුතැන් ගෙය පිරිසිදු කිරීමේ ද නිරත වූවාය.

එක් මොහොතක දී කැනඩාවේ ජීවත්වන එලීෂ් ගේ සහෝදරිය ආන්‍යා රටින් පිටවෙන්නැයි එලීෂ්ට ආයාචනා කරන්නීය. “ඉතිහාසය යනු පිටව යන්නේ කිනම් මොහොතේදැයි නොදන්නා ජනතාවගේ නිහඬ කතාන්දරයයි” එහෙත් ලින්ච් යෝජනා කරන්නේ සිවිල් යුද්ධයකින් විනාශවෙමින් පවතින රටක ජනතාවට ඒ තෝරාගැනිම ඉතාමක් දුෂ්කර කාර්යයක් බවයි.

එලීෂ්ට රැක බලාගැනීමට පියෙක් සිටියි, ඇයගේ දියණිය සිටින්නේ හොකී තරඟාවලියක් ජයග්‍රහණය කිරීමට ආසන්නවය. රටින් පිටව ගියහොත් නිදහස් වී එන ඇයගේ සැමියා ඇයව සොයා ගන්නේ කෙසේද? නවකතාව තුළ ඇය අවසන් තීරණය ගැනීම ප්‍රතික්ෂේප කරමින් දිගු කාලයක් ගත කරයි. “ මක්නිසාදයත් ඇය වෙන කුමක් කරන්නද? අප සැමටම උදෑසන නිදි ඇ‍‍ඳෙන් නැඟීටීමට සිදු වෙයි. ශුභවාදය ප්‍රයෝජනවත් දෙයකි. අපේක්ෂාව අපට අවශ්‍ය දෙයකි” ලින්ච් පවසයි.

 

lynch 43

ලින්ච්ට අනුව එලීෂ්ගේ කතාව නිදහස් කැමැත්ත පිළිබඳ ගවේෂණයකි. “ ඔබට අවුරුදු හතළිහේදී,  ඔබව හසුව ඇති ව්‍යුහාත්මක දේවල් සිරව ඇත්තේ අති දැවැන්තභාවයක් තුළය. එලීෂ්ව ඉදිරියට තල්ලු කරන්නේ එම අතිදැවැන්ත බලය විසිනි. ඇය වටා සිදුවන දේවල සැකැස්ම ඇයගේ අනුදැනුමෙන් තොරය. ඇය සිටින්නේ වංකගිරියක් තුළය. මගේ සිත වඩාත් ඇඳ බැඳ ගත්තේ අප සිරවී සිටින දැවැන්තභාවය, අපගේ පූර්ණ භංගුරභාවය සහ අප‍ තුළ ඇති ‘නිෂ්ඵල නොවන’ ස්වභාවය පිළිබඳ කිසියම් දැනීමක් ලබා ගැනීමට අප ගන්නා උත්සාහයයි.”

මෙම හද කම්පා කරවන සුළු නවකතාවේ බිහිසුණු අවසානය නිර්මාණය කිරීමේ දුෂ්කර මානසික ව්‍යායමය අතරතුර, පෝල් ලින්ච්ගේ මනසේත් සිරුරේත් ක්‍රියාකාරීත්වය දුබල වී තිබුණු බව සඳහන් වෙයි. එම නිසා කෘතියේ කටයුතු මාස තුනකට පමණ තාවකාලිකව නවතා දැමීමට ද ඔහුට සිදු වී තිබුණි. 

Prophet Song කෘතියේ අවසානය ලං වන විට, පෝල් ලින්ච් එහි ප්‍රශස්ත සාරය හෙළි කිරීමට ප්‍රථම, මෙවැනි වාක්‍යයක් ලියා තැබෙයි. එම වාක්‍ය විසින් කෘතියේ අවසානය කරා යාමට අවශ්‍ය ගම්‍යතාවය ද නිර්මාණය කර දෙයි.

 

lynch 2

“ලෝකාවසානය වැනි ව්‍යසනයක් නිතරම සිදුවන්නේ ප්‍රාදේශිය සිදුවීමක් ලෙසය, එය ඔබේ රටට සේන්දුවී, ඔබගේ නගරයට පැමිණ, ඔබගේ නිවසේ දොරටුට තට්ටු කරන අතර එය අනෙකුන්ට දුරස්ථ අනතුරු ඇඟවීමකි, ප්‍රවෘත්ති වැඩසටහන්වල කෙටි වාර්තා කිරීමකි, ජනප්‍රවාදයක් බවට පත්වුණු සිදුවීම්වල දෝංකාරයකි.”

''ලෝකාවසානය සිදු වුව ද එයට ද අප කවුරුත් මුහුණ දෙන්නේ තනි තනිවමය, අපගේ පුද්ගලික ලෝකයේ සියලු දුක්ඛ දෝමනස්සයන් සමඟින්ය. එහෙයින් අපට බලනොපාන්නේ යැයි සිතන මහේශාක්‍ය දේ අපේ ජිවිත විනාශය කරා ඇදගෙන යන විට, එතෙක් කල් ඒ දෙස නිහඬව බලා සිටිමේ ආදිනව පිළිබඳ පසුතැවීමටවත් අපට ඉඩක් ලැබෙන්නේ නැත. අවසන් මොහොතේ අප අභියස ඉතිරි වන්නේ විනාශයම පමණි.''

මෙහි කතාව ලියැවී ඇත්තේ පාඨකයාට හුස්මක් ගැනීමටවත් ඉඩ නොතබන ආකාරයෙන්, විරාම ලක්ෂණ හෝ ජේද බෙදීම් දක්නට නැති ගද්‍ය ශෛලියකිනි. එය කියවාගෙන යන පාඨකයාට දැනෙන්නේ, හදිසි බිය, ප්‍රතික්ෂේපය, පසුතැවීම අතර දෝලනය වන එලීෂ්ගේ ජිවිතයේ හැලහැප්පීම් මිස එම කෘතියේ කතාව මෙහෙයවන දැවැන්ත දේශපාන හස්තයේ ශක්තිය නොවෙයි.

පහතින් දැක්වෙන්නේ The Booker Prizes යූටියුබ් නාලිකාව පෝල් ලින්ච් සමඟ කරන ලද කෙටි පිළසදරක සංක්ෂිප්ත පරිවර්තනයකි.

 

 

ඔබ පවසා තිබෙනවා Prophet Song කෘතිය යනු රැඩිකල් සහකම්පනය අවධි කිරීමේ උත්සාහයක් කියලා. සමාජ අර්බූද පිළිබඳ සිද්ධිවාචක වාර්තාවලට වඩා ප්‍රබන්ධයක් එවැනි ගැඹුරු සංවේදනයක් ඇති කරන්නේ කොහොමද?

 

තාක්ෂණිවේදීන් අතත්‍ය යථාර්තය සොයා යාම පිළිබඳ කතා කරද්දී ඇත්තටම මට හිනා යනවාමොකද අතත්‍ය යාථාර්තය සොය ගත්තේ මීට අවුරුදු සිය ගණනකට කළින්. ඒ තමයි නවකතාව. පුවත්පත් කලාවට සහ අනෙකුත් මාධ්‍යවලට නොහැකි ආකාරයෙන් ප්‍රබන්ධයට පුළුවනි ආත්මආරක්ෂාව මඟ ඇරලා යන්න. Prophet Song කෘතියේ කියැවෙන ‍දේවල් ඔබ ප්‍රවෘත්තිවල දකින්නේ නම් ඔබ‍ගේ ආත්මආරක්ෂාව අවධි වෙනවා. ඒත් ප්‍රබන්ධය වැඩකරන්නේ ආත්මආරක්ෂාව වටා. පාඨකයාව මුළුමනින්ම යථාර්තය තුළට කිදා බැස්සවීම සඳහා මම ලියන්නේ වර්තමාන කාලයෙන්, එවිට ඔවුන්ට දැනෙනවා ඔවුන් ඒ තුළ ජිවත් වුනා කියන එක. ඒ නිසාම එය ඔවුන් ගේ ඇඟට කාවැදී කිසි දිනෙක අමතක නොවන දෙයක් බවට පත් වෙනවා.

 

ඔබ ලියන්නේ විරාම ලක්ෂණ හෝ ජේද බෙදීම් නැති, හුස්ම ගන්නට පවා ඉස්පාසුවක් නොදෙන දිර්ඝ වැකි. මෙම කෘතිය ඒ ආකාරයෙන් ලිවීමට ඔබ තීරණය කලේ කුමක් නිසාද?

 

පොතක ඇති අර්ථය හුවා දක්වන ස්වරූපයක් ඕනෑම පොතකට තිබිය යුතුයි, මම කවදාවත් විරාම ලක්ෂණ එක්ක ලියලා නෑ, මොකද මම හිතන්නෙ ඒ මගෙ කම්මැලිකම නිසා වෙන්න ඕනෙ. අනික මම හිතනවා, විරාම ලක්ෂණ නැතිව ලියද්දි ලේඛකයාට බල කෙරෙනවා,  චරිතයක ස්වභාවය හා සැබෑ ලෙස සුසර වෙන්න. මේ කෘතියේත් විරාම ලක්ෂණ හෝ ජේද බෙදිම දක්නට නැහැ, එයට පැහැදිලි හේතුවක් තිබෙනවා. මේ කෘතියේ එලීෂ් එක් මොහොතක, කොහේට යන්නදැයි නොදැනෙන තැනෙක හිරවෙනවා. දැවැන්ත බලයකින් තීරණය වන, කිසියම් නොවැළැක්විය හැකි සිද්ධි දාමයකට ඇය හසුවෙනවා. එකකට පසු තව එකක් ලෙස ඉතා දුෂ්කර තීරණ ගනිමින් ඇයට ජීවිතය තුළ ඉදිරියට ගමන් කරන්න සිදුවෙනවා, ඇයට කිසිම විදියකින් ආපසු හෝ වෙනතකට හෝ හැරී යාමටවත් අඩුම තරමේ හුස්මක් ගැනීමටවත් ඉඩක් ලැබෙන්නේ නෑ, ඒ නිසා කෘතිය තුළත් ජේද බෙදීම් හෝ විරාම දක්වා නෑ.

 lynch 65

 

ඔබ කාලයක් චිත්‍රපට විචාරකරණයේ යෙදුනා. ඔබගේ ලේඛණයට සිනමාව බලපාන්නේ කොහොමද?  ඔබ සිදුවීම් පරිකල්පනය කරන්නෙ සිනමාත්මක දර්ශන දිගහැරෙන ආකාරයෙන්ද?

 

ඒක ටිකක් කිකිළියි බිත්තරෙයි වගේ ප්‍රශ්නයක්. මම සිනමාවට ආකර්ෂණය වුණේ එහි ඇති දෘශ්‍යමය පරිකල්පනය නිසා. මට බරපතල ලෙස සිනමාව බලපෑමක් වුයේ ඒ දෙකේම සම්මිශ්‍රණයක් නිසාත් වෙන්න පුළුවනි. මුල් කාලින සිනමාව වික්ටෝරියානු සාහිත්‍යයෙන් ආභාෂය ලැබුවා වගේම වර්තමාන සිනමාව නවීන ප්‍රබන්ධයෙන් ආභාෂය ලබනවා. මම ලියන එක මම දකින්නෙ, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් චිත්‍රපට කැමරාව තුළින් සිදුවිම් පෙළ දකිනවා වගේමම කැමතියි මම කරන දේ පාඨකයාට දකින්න සලස්වන හැකියාවට, ඉතින් මම චිත්ත රූප හඹා යනවා, මම ලේඛකයකු විදියට කරන්නෙ එයයි.

 

Prophet song කෘතියේ එන සිදුවීම් ලොව පුරා බොහෝ තැන්වල දිනපතා සිදු වෙද්දීඑම කෘතිය ඩිස්තෝපියානු නිර්මාණයක් ලෙස වර්ගීකරණය කිරීම කෙතරම් සාධරණදැයි ඔබ සිතනවාද ?

 

මේ නිර්මාණය සමඟ මට කරන්න අවශ්‍ය වුනේ ඩිස්තෝපියානු නවකතාව පුපුරවා දමන්න. මට නිතරම වාගේ සැකයක් තිබුණා ඩිස්තෝපියානු කතන්දර අවසානේ කඩදාසි පල්පයක් විතර ද කියන එක. ඒ නිසා මට අවශ්‍ය වුනේ ඩිස්තෝපියානු නවකතාව, සැබෑව දක්වා ගැඹුරකට රැගෙන යන්න.

විටෙක පාඨකයා ඔවුන්ගෙන්ම විමසාවි මෙම කෘතියේ කිසිම දෙයක් කල්පිත නොවෙන විට, මේ කෘතියේ ඇති කල්පිතය කුමක් ද කියන එක. අපි දන්නා ඒ දේවල් මේ මොහොතේ කොහේ හෝ සිදු වෙනවා. ඉතින් මේ වාගේ කෘතියක් කල්පිතයක් වෙන්නෙ නෑඑය සැබවින්ම යථාර්තය තමයි.

 pp 8

 

මෙම කෘතිය සිරියාව වැනි රටක නොව ඔබගේ මව්බිම, එනම් අයර්ලන්තය වැනි ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රටක් පසුබිම් කොට ගෙන නිර්මාණය කිරීමට ඔබව පෙළඹවූ හේතුව කුමක්ද? එය එක්තරා ආකාරයක අනතුරු ඇඟවීමක්ද?

 

ජෝර්ජ් සන්තයානා(ස්පාඤ්ඤ- ඇමරිකානු දාර්ශනකියෙක්) වරෙක පවසා තියෙනවා අනාගත වක්තෘවරයෙක් බිහිවෙන්නෙ, සත්‍ය පිළිඹුබු කෙරෙන දැක්මක් සහිත පුද්ගලයෙකුගේ පරිකල්පනය තුළ කියලා. Prophet song කියන්නේ පරිකල්පනය තුළින් බිහිවුනු නිර්මාණයක්. එය අප වටා ඇති ලෝකයේ දර්පණ ප්‍රතිබිම්බයක් දරා සිටින සංකේතයක්. වෙන තැනක සිදුවෙන දෙයක් නිතරම මෙතැනත් සිදුවෙන්න පුළුවන්. එය දේශපාලනික අනතුරු ඇඟවීමක්. මෙය ඒ ආකාරයෙන් ද තේරුම් ගන්න පුළුවන්. මම විසඳාගත හැකි ගැටළුවක් ගැන මේ කෘතියෙන් කතා බහ කලා නම්, එය දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමක් විතරක් වෙනවා. එය කලාවේ විශිෂ්ඨ ලක්ෂණයක් නොවෙයි. එය ගැලපෙන්නෙ දේශපාලනයට. මේ කෘතියෙන් කියැවෙන්නෙ අපිට නිතරම කරදරයක් වන ජීවිතය, මරණය, අහිමිවීම, බලය නොමැති වීම වගේ දේවල් ගැන. අපට අවශ්‍ය නොවන අය අපේ දොරට තට්ටු කරලා ඉරණම අපව දූවිලි වගේ ඈතට විසි කරන්නෙ කොහොමද කියන එක ගැන.

සාහිත්‍ය විචාරකයන්ට අනුව Prophet Song කෘතිය, අපගේ යුගයේ වඩාත් පීඩාකාරි සමාජ ප්‍රශ්න කිහිපයක් තීක්ෂණ විමසුමකට ලක් කරන, තැතිගැන්වෙන සුළු, සත්‍යරූපී දෘෂ්ටාන්තයකි. සමහර විචාරකයන් මෙම කෘතිය දකින්නේ අඥාදායක පාලනයක් බිහිවෙන සමාජ තත්වයන් හමුවේ, ඒ කිසිත් නොතකා සාමාන්‍ය ජිවිත ගත කිරීමට උත්සාහ දරන පුරවැසියන්ට ලබා දෙන හදිසි පණිවිඩයක් ලෙසය, නැතිනම් දේශපාලන ප්‍රචණ්ඩත්වය සමාජය තුළ සාමාන්‍යකරණය වූ විට ඒ සමාජය කෙතරම් ඉක්මනින් කඩා වැටෙනවාද යන්න පැහැදිලිව පෙන්වා දී, එවැනි සාහසික තත්වයන් දැනටත් පවතින, එසේම එවැනි තත්වයන් දැනට නොපවතින නමුත් කොයි මොහොතේදී හෝ ඇති විය හැකි ඕනෑම රාජ්‍යයක පුරවැසියන්ට අවදි වී සිටීමට සංඥා කරන අඬහැරයක් ලෙසය.

 

සටහන - සුභාෂිණී චතුරිකා

2024.02.11 වැනි දින අනිද්දා පුවත්පතේ මුල් වරට පලවිය. 

අවධාරණය කිරීම්, වීඩියෝ, ඡායාරූප අපෙන්

 

ආශ්‍රිත මූලාශ්‍ර- 

thebookerprizes.com/ 

www.theguardian.com/ 

www.washingtonpost.com/ 

www.npr.org/ 

www.newstatesman.com//www.nytimes.com


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්