leader s

* රු. 5,000ට විකුණන ‘සොක්කන් ලොක්කන් වූ වගයි’: දැනුම සිරකිරීමට එරෙහිව ලේඛක විරෝධය

* "කළුකඩ මිලෙන් මිදුණත් සාමාන්‍ය පාඨකයාට අහිමි වූ පොතක්: කුමාරි ජයවර්ධනගේ සම්භාව්‍ය කෘතිය විවෘත මූලාශ්‍රයක් (Open Source) නොකරන්නේ ඇයි?"

* "කවරයේ මිලක් නෑ; දෙවරක් වැට් බදු: ශාස්ත්‍රීය දැනුම පාරිභෝගික භාණ්ඩයක් කර පාඨකයා සූරාකෑම ගැන චන්දන සිරිමල්වත්තගෙන් ප්‍රශ්න කිරීමක්."

 

ආචාර්ය කුමාරි ජයවර්ධන විසින් වෙහෙසකර අධ්‍යයනයකින් පසුව, ඉංග්‍රිසි බසින් රචනා කරන ලද Nobodies to Somebodies: The Rise of the Colonial Bourgeoisie in Sri Lanka කෘතිය පසු කාලයක ප්‍රේමලාල් කුමාරසිරි සහ ආනන්ද වක්කුඹුර යන සහෝදරවරුන් විසින් පරිවර්තනය කර 'සොක්කන් ලොක්කන් වූ වගයි' නමින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 'සමාජ විද්‍යාඥයන්ගේ සංගමය' විසිනි. එය දීර්ඝ කාලයක් වෙළෙඳ පොළේ මිලදී ගන්න නොහැකිව තිබුණා. දැන් එය පස්වන මුද්‍රණය ලෙස පාඨකයින් වෙත ගෙනැවිත් තිබීම අගය කළ යුතුයි.

 

කුමාරි ජයවර්ධන ගේ මේ පොත වගේම, ඇය විසින් විශාල පරිශ්‍රමයක් දරා ඉංග්‍රීසි බසින් ලියූ The Rise of the Labour Movement in Ceylon කෘතිය ද ප්‍රේමලාල් කුමාරසිරි සහෝදරයා විසින් පරිවර්තනය කරන ලදුව, 'ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම' නමින් 1978 ප්‍රකාශයට පත් කෙරුණි. එම කෘතියත් මේ වනවිට වෙළෙඳපොළේ දක්නට ලැබෙන්නෙ නෑ. එයත් මුද්‍රණය කර පාඨකයන් අතට පත් කළ යුතු අගනා කෘතියක්.

 

මා මින් පෙරත් අවධාරණය කළ ආකාරයට 'සොක්කන් ලොක්කන් වූ වගයි' හෝ 'ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම' බඳු පොතක් මුද්‍රිත පිටපතක් ලෙස එද්දි, ආර්ථික හැකියාවෙන් අඩු එහෙත් ශාස්ත්‍රීය අධ්‍යයනයන් කිරීමේ අයිතියක් හිමි සාමාන්‍ය ජනතාව අතර සිටින පාඨකයන්ට එය පරිශීලනය කරන්න තිබෙන අයිතිය වෙනුවෙන් මා පෙනී සිටිනවා. බොහෝ දෙනා තර්ක කරන ආකාරයට මෙය, වෙළඳපොළේ තියෙන අයිතමයක්, නැතිනම් පාරිභෝගික භාණ්ඩයක් බව පිළිගත හැකියි. නමුත්, මෙම පොතේ මිල කවරයේ පැහැදිලි ලෙස සටහන් නොවීම ම පාරිභෝගික නීතියට පටහැනි දෙයක්. පසුගිය කාලයේ එය දුර්ලභ පොතක් වීම නිසා කළුකඩකාරයන් විසින් සමාජ මාධ්‍ය තුළ රුපියල් 20,000 සිට අධික මිල ගණන්වලට අලෙවි කළා. දැන් එය වෙළඳපොළට ඇවිත් තිබෙන්නේ රුපියල් පන්දහසකට වන අතර, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සූරිය ප්‍රකාශන ආයතනයේ ප්‍රදර්ශනාගාරයෙන් රුපියල් 4000.00කට මිලදී ගන්න පුළුවන්. එය වෙළෙඳපොලට ගෙනැවිත් තිබෙන්නේ 'සජීව ප්‍රකාශන' නමැති ආයතනයක් විසින්.

 

දැනුම විවෘත කළ යුතුයි: ඩිජිටල් අවකාශයට (Open Source) නොදෙන්නේ ඇයි?’

 

මේ සම්බන්ධයෙන් Amali Wedagedara සහෝදරිය පළ කළ මේ අදහසත් මෙහි උපුටා දක්වන්න කැමතියි.

 

"කුමාරි ජයවර්ධනගේ මේ පොත වගේම කම්කරු පන්තියේ නැඟීම විවෘත ලෙස සැමට පරිශීලනය කල හැකි අයුරින් open source කරන්න පුළුවන් නේද?

රුපියල් 5000/ 4000 ගෙවීමට හැකි අයට පමණක් තමන් ගේ බුද්ධිමය ශ්‍රමයෙන් පල ප්‍රයෝජන ගැනීමට හැකිවීම ගැන කුමාරි අනුමත නොකරාවි.

ඇය අද කාලයේ බුද්ධිමතුන්ට වඩා දැනුමට ප්‍රවේශ වීමට ඇති බාධා බිඳ දැමීමට වෙහෙස වූවෙක්.

කුමාරි ජයවර්ධන ඩිජිටල් ලේඛනාගාරය (https://feministarc.org) මේ සඳහා ඉවහල් කරගන්න පුළුවන්. දැනට මේ පොතේ දෙමල සහ ඉංග්‍රීසි ප්‍රකාශනවල පෙරවදන පමණක් එහි තිබෙනවා. Social Scientists' Associationට පුළුවන් සම්පුර්ණ පොත ඩිජිටල් අවකාශයට එක් කරන්න."

 

පොතට වැටුණු දෙබිඩි වැට් බද්ද සහ ප්‍රකාශන මාෆියාව

 

නමුත් මේ පොත අධ්‍යයන කටයුතුවලට ප්‍රයෝජන ගැනීමේ පහසුව පැත්තෙන් ගත්තම මුද්‍රණය කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. නමුත් මුද්‍රණ පිරිවැය පැත්තෙන් ඊට මිලක් නියම කළ යුතු යි. ඒ මිල රුපියල් පන්දහසක් වැනි අසාධාරණ මට්ටමකින් නියම කිරීම සම්බන්ධ මගේ විරෝධය නැවත මෙහි සටහන් කරනවා. (මේ අදහස සටහන් කිරීමේදී පැන නැගෙන, අවඥා සහගත කෙඳිරිලි සහ ද්වේශ සහගත අවලාද යනු ප්‍රතිචාර සමාජ මාධ්‍ය පැවැත්මේ කොටසක් ලෙස සලකනවා)

 

'සොක්කන් ලොක්කන් වූ වගයි' කෘතිය පිටු 492ක් නිසා එහි මිල රුපියල් පන්දහසක් වශයෙන් සඳහන් කිරීම පිළිගත නොහැකියි. මගේ අදහස මෙවැනි පොතක් අවම වශයෙන්, ප්‍රකාශන කර්මාන්තය තුළ ඇති සම්මත ප්‍රමිතින් අනුව මිල කරන්න නොහැකි නම් එය අපේ සමාජයේ බුද්ධිමය පාර්ශ්වයේ මහා පරාජයක්. පොත් ප්‍රකාශන ක්‍රියාවලියේ දී පළමුවෙන්ම, කඩදාසි ආනයනයට ආණ්ඩුවේ බදු සහන නොමැති අතර දෙවනුව, පොතක් මුද්‍රණය කිරීමේදීත් තුන්වනුව, පොත් අලෙවියේත් වශයෙන් දෙවරක් වැට් බදු අය කිරීමෙන් එහි මිලට බලපාන අගයන් එකතු කිරීම් සිදු වෙනවා. මෙසේ අයුක්ති සහගත ලෙස පාඨකයන් වෙත බර පටවන පොත් කර්මාන්තයක් පවත්වා ගෙන යන්නෙ ජනතාව ගේ ඡන්දයෙන් පත් වූ ආණ්ඩුවක්. මේ ගැන පොත් කර්මාන්තයට සම්බන්ධ තීරණ ගන්නා දේශපාලන නායකයින් සහ වගකිව යුතු නිලධාරින් පමණක් නොවේ, පොත් පරිහරණය කරන පාඨක සමාජය පවා ලැජ්ජා විය යුතුයි. මා නියෝජනය කරන ලේඛන වෘත්තියේ අයිතියක් ලෙසත් මේ ගැන විරෝධය පෑමෙන් ලැජ්ජාව වසා ගන්න සිදුව තිබෙනවා. නමුත් ඒ ගැන ක්‍රියාත්මක වෙන්න මට තනිවම නොහැකියි. මේ ගැන සිතා බලන ලෙසත්, වෙනසක් කරන්න මැදිහත්වන ලෙසත් ලේඛක පාඨක සමාජයෙන් ඉල්ලා සිටිනවා.

 


 (සටහන - චන්දන සිරිමල්වත්ත)
 මාධ්‍යවේදී
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

වැඩිදුර කියවීම සඳහා අදාළ සබැඳි:

* කුමාරි ජයවර්ධන ඩිජිටල් ලේඛනාගාරය (Kumari Jayawardena Digital Archive): https://feministarc.org

(ලිපියේ සඳහන් කර ඇති පරිදි, කුමාරි ජයවර්ධන මහත්මියගේ ශාස්ත්‍රීය ලේඛන පරිශීලනයට ඇති නිල ඩිජිටල් අවකාශය)

* සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (Social Scientists' Association - SSA): https://ssalanka.org

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්