පසුගිය ඉරිදා දින තේවත්ත බැසිලිකා පල්ලියේ රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය පැවැති අවස්ථාවේදී

අගරදගුරු කාදිනල් මැල්කම් හිමිපාණන් විසින් කළ ප‍්‍රකාශයක් හේතුවෙන් 2019 වසරේ වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් නැවත වරක් සමාජ කතාබහක් මතුව ඇත.

xfgdrgtre

 

”... අද මා විශේෂයෙන් මෙතන සඳහන් කරන්නේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ තත්වය, අද විසඳුනාද? නෑ. තාමත් කිසිම පරීක්ෂණයක් ඒ පාස්කු ප‍්‍රහාරය ගැන මේ අය සංවිධානය කළේ නෑ. කිසිම පරීක්ෂණයක්. ඒ හැම පරීක්ෂණයක්ම යටගහල, ඒගොල්ලන්ට  ඕනෙ විදිහේ මත ඉදිරිපත් කරල, පාස්කු ප‍්‍රහාරයේ සැබෑ මහමොලකරුවන් සඟවන්නට මේ දේශපාලන නායකයො කටයුතු කරමින් ඉන්නවා.

...අපේ සහෝදර ජනතාව දෙසිය හැත්තෑ තුන්දෙනෙකුගේ ජීවිත විනාශ කරල, තවත් පන්සියයක් පමණ දෙනෙකුගේ ජීවිත අසරණ තත්වයට පත් කරපු ඒ විනාශය පිටිපස්සෙ ඉන්නෙ කවුද කියන එක වැඩිකල් නොගොස් අපිට එළිදරව් කරන්න කියලා අපි ස්වාමීන් වහන්සේට යාඥා කරන්න  ඕනේ...”

 

කොහොම වුණත් කාදිනල් උන්නාන්සේ මේ කියන විදියට පසුගිය හා වත්මන් රජයයන් විසින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසි`දු පියවරක් අරගෙන නැහැ. කිසිම පරීක්ෂණයක් කරලත් නැහැ. හැබැයි, මේ තත්වයන් පිළිබඳ වගකිවයුතු පාර්ශ්වය වෙච්ච රජය වෙනුවෙන් මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ටිරාන් අලස් පහුගිය දවසක කිවුවේ වෙනමම කතාවක්.

”පාස්කු ප‍්‍රහාරයේ රහස් පොලිසියේ විමර්ශන මේ වෙන කොට 99%ක් අවසන් කියන තැන තමයි රහස් පෙලිසිය ඉන්නේ. නමුත් කතෝලික ප‍්‍රජාව පැත්තෙන් සමහරු කියනව මේක හරියට කරල නෑ කියල. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සේ රිපෝට් එකක්වත් දුන්නෙ නෑ කියපු නිසා තමයි මම ජනාධිපතිතුමාගේ එකඟත්වය උඩ මුළු රිපෝට් එකම කතෝලික සභාවට භාර දුන්නේ.

භාර දෙනකොට මම කිවුවා, ඊට ඉස්සෙල්ලත් කිවුවා අපිට අවස්ථාවක් දෙන්න දැනට කරල තියෙන දේවල් ගැන කියන්න අවස්ථාවක් දෙන්න කියලා. ප‍්‍රහාරයට කළින් ඉඳන් මේ වෙනකං කරල තියෙන ඒව ප‍්‍රසන්ට් කරන්න අවස්ථාවක් දෙන්න. එතකොට පුළුවන් කතෝලික සභාවට හරි බිෂොප්තුමන්ට හරි කාට හරි මේ සියලූ‍ දේ බලල ඒ අයට හිතෙනව නං මොනව හරි තැනකදි අතපසුවීමක් වෙලා තියෙනව කියලා ඒවත් පෙන්නල දීලා, අපි ඔක්කොටම එකට එකතුවෙලා මේක දිහා හරියට බලල මේක ඉවරයක් කරමු කියලා.

අවාසනාවට වගේ අද වෙනකං අපිට ඒ අවස්ථාව ලැබිල නෑ. වෙන වෙන න්‍යායපත‍්‍රවල ඉන්න උදවිය මේක ගැන කතා කර කර මේක දිගටම ඇදගෙන යනවා. නමුත් මම හැමතිස්සෙම කියන්නේ කතෝලික සභාවටද, නැත්තං කතෝලික ප‍්‍රජාවටද ඇත්තටම උවමනාවක් තියෙනව නං මේක කෙරුවෙ කවුද? කොහොමද වුණේ කියන එක දැනගන්න, මේ අය අපි එක්ක එකතුවෙලා, පොලිසිය එක්ක එකතුවෙලා මේ මුළු ඉන්වෙස්ටිගේෂන් එක දිහාම බලන්න  ඕනේ. ඇත්තම උවමනාව ඒක නං එහෙමයි කරන්න  ඕනේ.” 

 

 දැන් බැලූ‍වහම කාදිනල් උන්නාන්සේගෙයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙයි ප‍්‍රකාශ දෙක අතිශයින්ම පරස්පරයි. රජය ඇතුළු වගකිවයුතු ආයතන මේ වෙනකං පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුකර නැති බවත්, කර ඇති පරීක්ෂණ යට ගහන බවත් කාදිනල් උන්නාන්සේ චෝදනා කරද්දි, මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියන්නේ මේ වන විට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ රහස් පොලිස් පරීක්ෂණ 99%ක් අවසන් බවත්, ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව කතෝලික සභාවට ඉදිරිපත් කර ඇති බවත්ය.

 

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වාර්තාවක් කතෝලික සභාවට ඉදිරිපත් කර තිබියදී එය ගැන වචනයක් හෝ නොකියා සිටියේ එම වාර්තාව ඔහුගේ ඇස නොගැටීම නිසා නම් එයත් අතිශය බරපතල තත්වයකි. මීට පෙරත් අවස්ථා ගණනාවකදී කාදිනල් උන්නානසේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන අංශ කිසි`දු පරීක්ෂණයක් කර නොමැති බව ප‍්‍රකාශ කර තිබිණි.

අමාත්‍යවරයාගේ ඉහත ප‍්‍රකාශය අනුව, කතෝලික ප‍්‍රජාවේ ප‍්‍රධානියකු ලෙස ගරු කටයුතු කාදිනල් තනතුරේ කටයුතු කරනු ලබන මැල්කම් රංජිත් හිමි පාස්කු ප‍්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ව්‍යාකූලතාවයක් ගොඩනැගිම වෙනුවෙන් සිතාමතා ජනතාව නොමඟ යැවීමක යෙදෙනවා කියන සැකය ඇති වීම වැලැක්විය නොහැක. එසේම මෙම ප‍්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව දැනට අධිකරණය හමුවේ ගොනු කර තිබෙන චෝදනා සම්බන්ධයෙනුත් විභාග කිරීමත් මේ වන විටත් සිදුවෙමින් තිබෙන අතර කාදිනල් උන්නාන්සේ කතා කරන්නේ ඒ කිසිවක් නොදන්නා ගානට වීමත් මේ සැකය තිව‍්‍ර කරයි. එමෙන්ම එවක ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී ලෙස කටයුතු කළ නියොජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව ජාතික පොලිස් කොමිසම විසින් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මේ වන විටත් එම පරීක්ෂණය සිදුවෙමින් පවතී. එයත් කාදිනල් උන්නාන්සේ නොදන්නවා විය නොහැක.

dappulaමේ අතර තවත් වැදගත් සිදුවීමක් වන්නේ හිටපු නීතිපතිවරයාගේ ප‍්‍රකාශය හා බැඳුණු තත්වයයි. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සිය ධූරයෙන් විශ‍්‍රාම යෑමට ආසන්න මොහොතකදී පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කරනු ලැබිණි. රාජ්‍ය බුද්ධි සේවයට පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු කරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත‍්‍රණයක් මෙම ප‍්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන්නේ යැයිද, මෙම දැවැන්ත කුමන්ත‍්‍රණයට සම්බන්ධ සියලූ‍ දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බවද එහිදී හිටපු නීතිපතිවරයා විසින් ප‍්‍රකාශ කර තිබිණි. මෙහි ආන්දෝලතාත්මකම ප‍්‍රකාශය වූයේ ”කුමන්ත‍්‍රණය සිදු කළ පුද්ගලයින් වෙනම තලයක සිටින බවත්, සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළද, ඔහුත් මෙම කුමන්ත‍්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙක් පමණයි.” යනුවෙන් සිදු කළ ප‍්‍රකාශයයි.

 

මේ සම්බන්ධයෙන් විර්ශනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් 19 වන දින හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවූ නමුත් එදින ඔහු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිම මඟ හැර ඒ වෙනුවට නීතිඥයෙක් ඉදිරිපත් කර තිබිණි. මෙම නීතිඥවරයා පවසා සිටියේ හිටපු නීතිපතිවරයා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීම සම්බන්ධයෙන් පිටු 7ක නෛතික විරෝධතාවයක් ගොනු කළ බවයි. කෙසේ වෙතත් පසුව ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් දන්වා සිටියේ අපේ‍්‍රල් 24වන දින ප‍්‍රකාශයක් නොකළහොත් ඒ සම්බන්ධයෙන් දප්පුල ද ලිවේරා මහතාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

 

අනතුරුව දප්පුල ද ලිවේරා මහතා විසින් සිදු කළේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත යෑම වෙනුවට අභියාචනාධිකරණය හමුවට යාමයි. අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් හිටපු නීතිපතිවරයා විසින් තමන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීමට එරෙහිව රිට් පෙත්සමක් ගොනු කළ අතර, අදාල පෙත්සම විභාගයට ගත් විනිසුරු මඩුල්ල විසින් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් ප‍්‍රශ්න කිරීම, ප‍්‍රකාශ සටහන් කර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

හිටපු නීතිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය උපුටා ගනිමින් කාදිනල් හිමිපාණන්ද අවස්ථා ගණනාවකදී මාධ්‍ය වෙත විවිධ ප‍්‍රකාශ කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගිය දා පැහැදිළි කිරීමක් කර තිබිණි.

 

”... කාදිනල්තුමානේ ඉස්සෙල්ලාම මහමොලකරු ගැන කිවුවේ. ඒ හා සමාන දෙයක් කිවුවා අන්තිමේට විශ‍්‍රාම යන්න ඉස්සෙලා දවසේද කොහෙද හිටපු නීතිපතිතුමා. දැන් ඒක ගැන අහන්න එයාට එන්න කිවුවහම එයත් හැංගුණා. ඊළඟට එයා උසාවි ගියා. ගිහිල්ලා ස්ටේ  ඕඩර් එකක් ගත්තා.

එහෙම තියෙනව නං එයාට ඇවිල්ල කියන්න පුළුවන්නේ නීතිපති හැටියට මං මේ ඔක්කොම ස්ටඩි කරන කොට මට තේරුනා මෙහෙම එකක් කියලා. එහෙම මුකුත් නෑ. නීතිපතිතුමා හැංගුණ දවසෙ ඉඳන් කදිනල්තුමාගෙ මහමොලකරු කතාවත් නැවතිලා.

 

ඉතින් මම කියන්නෙ එහෙම එක එක්කෙනා කියන ඒව නෙමෙයි. හරි විමර්ශනයක් කරන්න  ඕනේ. ඒක හින්ද තමයි මම විවෘතව ආරාධනා කරල තියෙන්නෙ කතෝලික සභාවට මේ පොලිසිය කරපු දේ බලන්න. මුල ඉඳන් අග වෙනකං කරල තියෙන දේ බලන්න. එතකොට උන්වහන්සේලා ළඟ මොනව හරි තියෙනව නං අපි දන්නෙ නැති දෙයක්, අපිට කියන්න. එතකොට ඒකත් අපි ඉන්වෙස්ටිගේට් කරන්නම්.”

මේ අවස්ථාවේදීද මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියේ කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව විසින් පාස්කු ප‍්‍රහාරයට අදාල විමර්ශන නිවැරදි කිරීම වෙනුවෙන් ඔවුන්ගෙන් ආයාචනා කළ සහය ලබා නොදුන් බව නොවේද?

 

තත්වය එසේ නම් කාදිනල් හිමිපාණන්ගේ මෙම දෙබිඩි පිළිවෙත මහත් කුතුහලයක් දනවන සුළු තත්වයක් බව කීම වැරදි නොවේ. මහජන සභාවලදී හා කතෝලික ප‍්‍රජාවන් ඒකරාශී වන අවස්ථාවන්හිදී කාදිනල් හිමිපාණන් විසින් දිගින් දිගටම සිදු කරමින් සිටින්නේ රජය හා අදාල වගකිවයුතු ආයතන විසින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු සාධාරණ පරීක්ෂණයක් කර නොමැති බවට රට නොමඟ යවන ප‍්‍රකාශ සිදු කිරීමය. එසේ නමුත් කතෝලික සභාව හා කාදිනල් උන්නාන්සේ විසින් මේ විමර්ශන සාර්ථක කරගැනීම වෙනුවෙන් කිසිදු සහයක් නොදක්වන බවත් මේ අනුව පැහැදිලි වන කරුණකි. රජය විසින් ලබා දී ඇති අවස්ථාවන් ද දිගින් දිගටම පැහැර හරිමින් ඇත.

 zdfst

එපමණක් නොව කාදිනල් හිමිපාණන් විසින් දිගින් දිගටම ප‍්‍රකාශ කළ ”පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු” පිළිබඳ කතාවට අටුවා ටීකා සැපයූ හිටපු නීතිපතිවරයා සැඟවී ගිය මොහොතේ සිට එම ප‍්‍රකාශ නොකිරීම පරිස්සම් වීම සහ හිටපු නීතිපතිවරයා සිය වගකීම පැහැර හරමින් නීතියේ සිදුරු අතරින් රිංගා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟහැර යාම සම්බන්ධයෙන් කාදිනල් උන්නාන්සේ කිසිදු ප‍්‍රකාශයක් නොකිරීම ද අතිශය කුහුළ දනවන කරුණකි.

තත්වය මෙසේ නම් කාදිනල් හිමිපාණන්ගේ මෙම දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් කතෝලික ප‍්‍රජාව, පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින් පමණක් නොව මෙරට නීතිය, සාමය හා සංහිදියාව අගය කරන සියල්ලන්ගේ සැකයට තුඩුදෙන තත්වයක් වීම මඟහැරිය නොහැකි සත්‍යයක් වී ඇත.

කාදිනල් හිමිපාණන්ට මෙන්ම කතෝලික සභාවට පාස්කු ප‍්‍රහාරයේ සැබෑ වරදකරුවන් හෙළිකිරීමට අවංක අදහසක් ඇත්නම් කළ යුතුව ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ යෝජනාව ඉටු කර දීමය. තමන් වෙත ලබා දී ඇති පරීක්ෂණ වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කොට වගකිවයුතු අදාල ආයතන වෙත එහි ඇති අඩුපාඩු පෙන්වා දීමය. පරීක්ෂණ වාර්තාවේ නැති, නමුත් තමන් සතුව ඇති තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටීමය. මඟහැර ඇති හෝ මඟහැරී ඇති කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටීමය.

එසේ නොකොට හන්දියක් හන්දියක් ගානේ මයික් පළමින් බෑගිරි ගසන විට කාදිනල් උන්නාන්සේට ලැබෙන යමක් තිබෙනවා විය හැකි නමුත් පාස්කු වින්දිතයින්ට ලැබෙන සාධාරණයක් නැත. කතෝලික සභාවට හෝ කිතුනු ජනතාවට ලැබෙන බක්කක් නැත. නීතිය, සාමය හා සංහිදියාව අපේක්ෂා කරන ජනතාවට ලැබෙන පිළිතුරක් නැත. කාදිනල් උන්නාන්සේගේ මෙතෙක් හැසිරීම අනුව මෙම පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු කාදිනල් උන්නාන්සේම විය හැකි බවට කිසිවකුට හෝ කල්පනා වුවොත් එයත් වැරදි නැත. මන්ද ඇත්ත තත්වයන් වසං කරමින් බොරු බේගල් ඇද දමමින් කාදිනල් උන්නාන්සේගේ නටන නාඩගම ඒ තරමටට සැක සහිතය.

 

කෙසේ වෙතත් කාදිනල් උන්නාන්සේට හෝ කතෝලික සභාවට මෙලෙස එල්ල විය හැකිව තිබෙන චෝදනාවෙන් ගැලවිය හැකි වන්නේ ඔවුන් ද කාගේ හෝ ඉත්තෙකු අතකොළුවකු නොවී, අනුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කිරීමෙන් වැළකී, අවංකව සද් චේතනාවෙන්, දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ සම්බන්ධයෙන් උන්නදුවක් මැදිහත්වීමක් වුවහොත් පමණක් වනු ඇති බව අවසානයේ සටහන් කර තබමු.

 

- රිද්ම අනුරාධ ගමගේ
Chatham Street Journal - 2023.09.03

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්