"වසන්ත සහෝදරයා වෙනුවෙන්, එයාගේ පරමාදර්ශී ජීවිතයයි, එයාගේ චරිතයයි, නොනැසෙන ධෛර්යයයි වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ..."
මේ වචන මහාචාර්ය අර්ජුන පරාක්‍රමගේ ය. ජනතා අරගලය වෙනුවෙන් අත්අඩංගුවට පත්ව ජනතා අරගලය මගින්ම නිදහස ලැබූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් මෙරට ප්‍රගතිශීලීන් පෙනී සිටිය යුත්තේ මන්දැයි මීටත් වඩා තියුණු හා ගැඹුරු ලෙස සංක්ෂිප්ත කළ හැකි යැයි මම විශ්වාස නොකරමි. අප පෙනී සිටිය යුත්තේ වසන්ත නමැති තරුණ දේශපාලන ක්‍රියාකාරිකයා වෙනුවෙන් පමණක් නොවේ. ඔහුගේ පරමාදර්ශී ජීවිතය, චරිතය හා නොනැසෙන ධෛර්යයද වෙනුවෙනි. වසන්තගෙන් සංකේතවත් වන්නා වූ සමාජ පරමාදර්ශය වන්නේ පවතින ක්‍රමය (නොහොත් ජනප්‍රිය වචනයෙන් කිව හොත් සිස්ටම් එක) වෙනුවට වඩා සාධාරණ හා යුක්ති ගරුක ක්‍රමයක් ගොඩ නැංවීමයි. එය සමකාලීන අරගලය තුළද ප්‍රකාශයට පත් වූ නව අනාගතයක් පිළිබඳ සාමූහික පරිකල්පනය හා සැසඳේ.
එම අනාගතය වනාහී හුදෙක් වර්තමාන තත්ත්වයේම අඛණ්ඩ ගලා යාමක් මගින් නිර්මාණය වන අනාගතයක් නොව වර්තමානයෙන් රැඩිකල් ලෙස ඛණ්ඩනය වීමේ අනාගතයකි. වසන්ත (සහ අප අතර ජීවත් වන වසන්තලාගේ පරම්පරාව) එම නව අනාගතයක් පිළිබඳ නිෂ්ටාව තම ජීවිතයේ හා චරිතයේම කොටසක් බවට පත් කරගෙන සිටී. එසේම එම අනාගත නිෂ්ටාව ජය ගැනීම උදෙසා වූ නොනැසෙන ධෛර්යයක්ද ඔවුන් ප්‍රකට කරති. දේශපාලනය හුදෙක් තාක්ෂණික හෝ කළමණාකරණ යාන්ත්‍රණයක් බවට පරිවර්තනය වෙමින් පවතින යුගයක එයට යළිත් ආවේගාත්මක ජවයක් එන්නත් කළ හැක්කේ වසන්ත වැනි ක්‍රියාකාරීන්ටය. වමේ පැත්තෙන් එසේ කරන්නට අසමත් වුව හොත්, අන්තවාදී ජාතිකවාදීන් විසින් සමාජයේ දේශපාලනික ජීවාත්මය ග්‍රහණයට ගනු ඇත. සමකාලීන යුරෝපීය මෙන්ම ගෝලීය සංධර්භයට අදාළව ශන්තාල් මූෆ් සහ ස්ලේවෝයී ශිෂෙක් වැනි වාමාංශික චින්තකයින් කලක පටන් අපට කරමින් සිටින අනතුරු හැඟවීම වන්නේ එයයි.
අරගලයෙන් පසු ලංකාවේ දේශපාලනය තුළ දැනට දක්නට ලැබෙන වැදගත් සුබවාදී ලක්ෂණයක් වන්නේ හැඟීම්මය දේශපාලනයේ කලාපය ජනවාර්ගික සහ ආගමික ස්වෝත්තමවාදීන්ගේ ග්‍රහණයෙන් යම් තරමකට ගිලිහී ගොස් තිබීමයි. දැන් වාමාංශික සහ ප්‍රජාතාන්ත්‍රික නායකත්වයන්ටද ජනතාවගේ හැඟීම් සංවිධානය කිරීමෙහිලා සැලකිය යුතු බලයක් හිමිව තිබේ. අරගලය ඒ පිළිබඳව පැහැදිලි සාක්ෂි දැරීය. වසන්ත පිළිබඳව ඇතැම්විට ළබැඳි වදනින් කෙරෙන ප්‍රකාශ හා ලියැවෙන කව් ගී තවත් එවන් නිදසුන්ය.
අපගේ ඇතැම් මිතුරන් පවසන පරිදි මෙවන් හැඟීම්බර හා ආවේගාත්මක ප්‍රකාශන හුදෙක් දේශපාලන අරගලය රොමාන්තිකකරණය කිරීමක් හෝ සෞන්දර්යකරණයට ලක් කිරීමක් ලෙස සලකා බැහැර කළ යුතුද? නැත. පසුගිය කාලයේ විශේෂයෙන්ම ක්‍රම-විරෝධී දේශපාලනයේ පැවති ප්‍රධාන අඩුවක් වූයේම ඒ තුළ සෞන්දර්යය නොහොත් රොමෑන්ස් නොමැති වීමයි. ඒ වෙනුවට දේශපාලනය එක්කෝ සබුද්ධික නැතහොත් කළමණාකරණ භාවිතයක් බවට පරිවර්තනය වීමයි. වාමාංශික සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග අතින් ගිලිහුණු එම දේශපාලනයේ හැඟීම්මය කලාපය අත්පත් කරගත්තේ අන්ත-දක්ෂිණාංශික ජනවර්ගවාදීන් සහ ආගම්වාදීන් විසිනි. එය නැවත වමට හැරවිය හැකි වීම අරගලයේ ජයග්‍රහණයකි. එසේම එය අරගලයේ අත් නොහළ යුතු උරුමයක්ද වේය යන්න මගේ අදහසයි.
සිස්ටම් එකේ වේෂ නිරූපණ

කෙසේ වුවත්, හැඟීම්මය දේශපාලනයේ කලාපය දේශපාලනික වන බැවින් එය කිසිසේත්ම නිශ්චලව නොපවතී. තරඟකාරීත්වයකින් තොරව නොපවතී. නිදසුනක් ලෙස, විමල් වීරවංශගේ දේශපාලන සහ දෘෂ්ටිවාදී නායකත්වය සහිතව ක්‍රියාත්මක වන උත්තර ලංකා සභාගය වැනි කණ්ඩායම් යළිත් වරක් ජනවර්ගවාදී මනෝභාවයන් වටා ජනයා සංවිධානය කිරීමට දැන් කිසියම් ප්‍රයත්නයක් දරමින් සිටී. එය තවමත් එතරම් සාර්ථක වී නොමැති බව සැබෑය. නමුත්, ඔවුන් සතුව දේශපාලන කතා ආඛ්‍යානයක් ඇත.
සිංහල බෞද්ධ ජනවාර්ගික ජාතිකවාදීන්ගේ සුපුරුදු උපක්‍රමයක් වන්නේ අධිරාජ්‍ය විරෝධී අලංකාරෝක්තිය සමග බහුතර ස්වෝත්තමවාදය සුසම්බන්ධ කිරීමයි. ඇතැම්විට ජනවාර්ගික සුළුතරයේ ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක අංගයක් ලෙස හුවා දක්වන තරම් දුරට එය ගමන් කරයි. රෝහණ විජේවීරගේ 'දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද' නමැති කෘතිය මගින්ද කියැවුණේ එවැන්නකි. එහි වත්මන් උරුමකරු සහ ප්‍රකාශකයා වන්නේ විමල් වීරවංශයි. සිත්ගන්නා සුළු කාරණයක් නම් ඔහුගේ අනුගාමිකයින් අතර වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර වැනි ඇතැම් ගතානුගතික මාක්ස්වාදී නායකයින්ද දක්නට ලැබීමයි!
ජාජබ ජන රැල්ල
අප ජන සමාජයේ දේශපාලන චලනයන් පිළිබඳ සමීප නිරීක්ෂණයක යෙදෙන්නේ නම් ජාජබ දෙසට හැරුණු පැහැදිලි ජන රැල්ලක් පවතින බව කිසිසේත්ම ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඇතැම් විට, එය මතුපිටින් පෙනෙනවාට වඩා පුළුල් වූවක්ද විය හැකිය. මහා ආර්ථික ව්‍යසනයකින්ද මෙරට නූතන ඉතිහාසයේ දක්නා ලද ප්‍රබලතම ජනතා නැගී සිටීමෙන්ද පසුව මැතිවරණ දේශපාලනය කිසිසේත්ම නොවෙනස්ව පැවතීමට ඉඩක් නොමැත.
ලංකාවේ මැතිවරණ දේශපාලනය තුළ ඉදිරි කාලයේදී සිදු විය හැකි වෙනස්කම් ඉහත නිදසුන් සියල්ලට වඩා සංකීර්ණ විය හැකි අතර බොහෝ විට කිසිදු ප්‍රධාන ධාරාවේ නායකත්වයකට පැහැදිලි බහුතර බලයක් දිනා ගන්නට අසීරු තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. නමුත්, ජාජබ නියෝජනයෙහි වර්ධනයක් නිසැකවම බලාපොරොත්තු විය හැකිය.
මෙම නව වර්ධනය පෙරටුගාමී වාමාංශය ඇතුළු අරගලයේ රැඩිකල් බලවේග විසින් සුබවාදීව බාර ගත යුතුය යන්න මගේ අදහසයි. මන්දයත්, ජවිපෙ/ජාජබ දේශපාලන ගමන දිශානතව ඇත්තේ පවතින සිස්ටම් එක සමග ක්‍රමානුකුලව අනුගත වීම දෙසට වුවත්, එය මෙරට සංස්ථාපිත දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට පිටතින් ගොඩ නැගෙන බල ව්‍යාපෘතියක් වන බැවිනි. විශේෂයෙන්ම ප්‍රාදේශීය තලයේ අනුග්‍රාහක සබඳතා ජාලයන් ඔස්සේ ක්‍රියාත්මක වන නව ප්‍රභූ තන්ත්‍රයේ ආධිපත්‍ය දුර්වල වී යාම, ක්‍රම වෙනසක් සඳහා වූ සියලු දේශපාලන ප්‍රවණතා සඳහා නිර්මාණය කරනු ඇත්තේ වාසිදායක පරිසරයකි.
පවතින ක්‍රමය පහත සිට අභියෝගයට ලක් කෙරෙන ආකාරයෙන් ගොඩ නගනු ලබන විකල්ප නියෝජන ආයතනවල (මහජන කවුන්සිල වැනි) නියෝජිතයින් ප්‍රාදේශීය සභා වැනි නිල නියෝජිත ආයතන තුළටද ඇතුල් විය යුතු යැයි අප කලක සිට යෝජනා කරන්නේ මේ නිසාය. නිකෝස් පොලන්සාස් වැනි මාක්ස්වාදී න්‍යායවේදීන් පෙන්වා දුන් පරිදි රාජ්‍යය යනුද අරගලයේ අවකාශයකි. එබැවින්, එම අවකාශය තුළද ප්‍රති-හෙජමොනික දේශපාලනයේ නිරත විය යුතුව තිබේ.
සිස්ටම් චේන්ජ් දේශපාලනය

ජවිපෙ/ජාජබ තම ප්‍රකාශිත ආර්ථික වැඩ පිළිවෙල තුළ වත්මන් පාරිභෝජනවාදී ජීවන පිළිවෙත් වෙනස් කිරීමක් ගැන පවා කතා කළද, එය විසින් සංවිධානය කරමින් සිටින මධ්‍යම පන්තික උගත් වැදගතුන්ගේ සමාජ තීරුව එවන් පරිවර්තනයක් සඳහා කොතරම් දායක කරගත හැකිද යන්න ගැටළුවකි. තමන් විසින් සංවිධානය කරනු ලබන සමාජ කොටස් තුළ දෘෂ්ටිවාදීමය පරිවර්තනයක් ඇති කිරීමෙන් තොරව ජන සමාජය තුළ මුල් බැසගෙන තිබෙන පාරිභෝජනවාදී දෘෂ්ටිය (නොහොත් සමකාලීන යුගයේ භාණ්ඩ ඇදහීමේ ආගම) වෙනසකට ලක් කළ නොහැකිය.

මෑතකදී ඉහළ වැටුප් ලබන වෘත්තිකයින් කෙරෙහි පණවන ලද බදු මුල් කොටගෙන පැන නැගුණු විරෝධතාව (ඊනියා කළු සතිය) තුළ ජාජබ ක්‍රියාකාරීන්ගේ දායකත්වය දෙස බලන විට පැහැදිලි වන්නේ වත්මන් පාරිභෝජනවාදී ශිෂ්ටාචාරය පුනර්-නිෂ්පාදනය කිරීමේ දෘෂ්ටිවාදයන් සමග ඔවුන් කොතරම් බද්ධ වී සිටින්නේද යන්නයි. වැටුප් මත බදු පැණවීමට එරෙහිව ඉදිරිපත් කරන ලද ඇතැම් ලැජ්ජා සහගත හේතු දැක්වීම් වූයේ මෝටර් රථයක් ලබා ගැනීමේ, දරුවන් ජාත්‍යන්තර පාසැල්වලට යැවීමේ හෝ නිවාස තනා ගැනීමේ 'අයිතිවාසිකම්' අහිමි වේය යන්නයි. මෙවන් සමාජ තීරුවක් මත පදනම් වන ව්‍යාපාරයක වේදිකාව මතින් නව-ලිබරල් සම්මුතිවාදයේ හඬ ඇසෙන්නට ලැබීම පුදුමයට කරුණක් නොවේ.
ඒ වෙනුවට, වත්මන් පාරිභෝජනවාදී, නව-ලිබරල්වාදී, පීතෘ-මූලිකවාදී සහ මානව-කේන්ද්‍රවාදී අධිපති දැක්ම අභියෝගයට ලක් කරන්නා වූද, එනයින් අලුත් අනාගතයක් පිළිබඳ සමාජ පරිකල්පනයක් පහත සිට නිර්මාණය කරමින් සිටින්නා වූද දේශපාලන බලවේගය පවතින්නේ පෙරටුගාමී වම ඇසුරෙහිය. ධනවාදී අර්බුදය පමණක් නොව වත්මන් ශිෂ්ටාචාරමය ව්‍යසනයම විමසා බලන පුරෝගාමී සංස්කෘතික සහ බුද්ධිමය ව්‍යාපාරයක පදනම් ගොඩ නැගෙමින් තිබෙන්නේ එහිය. එලෙස ගොඩ නැගෙමින් පවතින නව ව්‍යාපාරයක් ජනතාවාදී බලවේගයක් බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන අභියෝගය තවමත් ඉතිරිව පවතී. නමුත්, වත්මන් අර්බුදයේ දිගුකාලීන විකාශනය තුළ එවැනි වියහැකියාවක් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැකිය.
සිස්ටම් චේන්ජ් දේශපාලනයේ නිරත වන්නන් විසින් කළ යුතුව ඇත්තේ තම රැඩිකල් දේශපාලන නිෂ්ටාවන් තාවකාලිකව අත් හැර දමා සිස්ටම් එක තුළම විසඳුම් යෝජනා කරන සම්මුතිකාමී නව බලවේගයක ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කිරීම යැයි මම නොකියමි. ඒ වෙනුවට කළ යුතුව ඇත්තේ සිදුවෙමින් පවතින දේශපාලන පරිවර්තනයේ 'නිර්-ප්‍රචණ්ඩ ජැකොබින්' භූමිකාවට පන දීමය. (ග්‍රාම්ස්චි පැවසූ පරිදි, ප්‍රංශ විප්ලවයේදී පස්ස ගැසූ ධනපති නායකයින්ගේ පස්ස පැත්තට පා පහරවල් දෙමින් ඔවුන් ඉදිරියට දක්කාගෙන ගියේ ජැකොබින්වරුන්ය).
එනම්, මැතිවරණ දේශපාලනය තුළ මධ්‍ය-වමෙහි නැගීම සුබවාදීව බාර ගන්නා අතර ක්‍රමයෙහි වඩා ගැඹුරු හා රැඩිකල් පරිවර්තනයක් සඳහා වන දේශපාලනයක දිගටම නිරත වීමය. ඒ සමගම විකල්ප සේම නිල නියෝජන ආයතන තුළ තම නියෝජනය වර්ධනය කරගන්නටද ප්‍රයත්න දැරීමය. වාමාංශිකයින් හට සුපුරුදු භාෂාවෙන් කිව හොත්, 'ඔක්තෝබර් විප්ලවයක්' අපේක්ෂා කරන්නන් 'පෙබරවාරි විප්ලවයකින්' සෑහීමට පත් නොවූවද, එය බාර ගත යුත්තේ සුබවාදීවය.