- පළමු කොටස



බ්‍රිතාන්‍යයේ තරුණ තරුණියන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුම කල්පනා කරන්නේ නිවාස අර්බුදයට හේතුව ධනවාදය කියාය. තරුණ ප්‍රජාවගෙන් තුනෙන් දෙකක්ම සමාජවාදී ආර්ථික ක්‍රමයක් යටතේ ජීවත් වන්නට කැමැත්ත පළ කොට තිබේ. මෑතකාලීන සමීක්ෂණ ඇසුරු කරමින් 'ද ගාඩියන්' සඟරාවේ 2021 සැප්තැම්බර් 21 දින පළ වූ ලිපියකින් මෙසේ පවසන්නේ ඕවන් ජෝන්ස් නමැති ලේඛකයා ය.

british

දක්ෂිණාංශික චින්තන කවයක් වන 'ආර්ථික සබඳතා ආයතනයේ' මෑතකාලීන වාර්තාවක් ඇසුරු කරමින් ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ තරුණ බ්‍රිතාන්‍ය වැසියන් තුළ කැපී පෙනෙන වාමාංශික නැඹුරුවක් දක්නට ලැබෙන බවයි. තවමත් 1990 දශකයේ අධිපති සමාජ කතිකාව තුළ සිරවී සිටින ලාංකීය දේශපාලන මත දක්වන්නන් වාමාංශික යන යෙදුම අභාවයට ගොස් ඇතැයි කල්පනා කළද, සමකාලීන යුරෝපීය දේශපාලන සංවාද තුළ වාමාංශය යන යෙදුමට නව වැදගත්කමක් හිමි වෙමින් පවතී.

සමාජයීය අර්බුදයේ දේශපාලන ගම්‍යතා - (සුමිත් චාමින්ද)

බුද්ධිමය සංවාදය තුළ තත්ත්වයද එයින් වෙනස් නොවේ. ජීවමාන පශ්චාත්-මාක්ස්වාදී න්‍යායවේදිනියක වන ශන්තාල් මූෆ් ඇයගේ නවතම කෘතිය වන 'Towards a Green Democratic Revolution' (2022) කෘතියේ පෙන්වා දෙන කාරණයක් නම්, වම-දකුණ යන බෙදීම සොම්බි සංඝටකයක් බවට පත්වී තිබේය යන අදහස වනාහී නව-ලිබරල්වාදයට කාලය ලබා ගැනීම සඳහා උපකාරී වූ අදහසක් බවයි (එම කෘතිය, පි. 17-18). එයට එරෙහිව ඇය තම ලිවීම්වලදී වාමාංශික-ජනතාවාදය යන යෙදුම සාධනීය අරුතකින් දිගටම භාවිත කරයි.      

bernie

වාමාංශික දේශපාලන ධාරාවේ නැගීම හුදෙක් සංකල්පීය කාරණයක් පමණක් නොවේ. පසුගිය එක්සත් ජනපද ජනපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා වූ තරඟයේදී බර්නි සැන්ඩර්ස් සහ අලෙක්සන්ද්‍රියා ඔකෙශියෝ-කෝටෙස් විවෘතවම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි අතර සහශ්‍රක පරම්පරාවේ (එනම් විසිවන සියවසේ අග වසරවලදී උපන් පරපුර) වැඩිම සහයෝගයක් හිමි වූයේ ඔවුන් හටය. දක්ෂිණාංශික ෆොක්ස් නිව්ස් පවා වාර්තා කළ පරිදි සහශ්‍රක පරම්පරාවේ ජනයාගෙන් සියයට හැත්තෑවක්  සහ 'ශී පරම්පරාවේ' (ඉංග්‍රීසි 'ශී' නොහොත් ඉසෙඩ් අක්ෂරයෙන් හැඳින්වෙන 'ශී පරම්පරාව' යනු විසි එක් වන සියවසේ මුල් වසරවල උපන් තරුණ ජනයාය) සියයට හැට හතරක් 2020 වසරේදී කැමැත්ත දක්වා ඇත්තේ සමාජවාදී යැයි පෙනී සිටි අපේක්ෂකයින් වෙතය.

gr w2ග්‍රීසියේ සිරිසා, ස්පාඤ්ඤයේ පොදෙමොස් සහ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ වාමාංශික ධාරාවේ නැගීම 2017-18 වසරවලින් පසුව කිසියම් දුරකට අඩපණ වී ගොස් තිබුණද, මූෆ්ගේ තර්කය වන්නේ එයට ප්‍රධාන හේතුවක් වූයේ එම පක්ෂ වාමාංශික-ජනතාවාදී උපායමාර්ගයෙන් බැහැර වීම බවය. 2014-17 කාල පරිච්ජේදයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ වාමාංශික ධාරාව 'The Great Recoil' (2021) කෘතියේ කතුවර පාවුලෝ ජර්බඩෝ හඳුන්වන්නේ 'සමාජවාදී වාමාංශය' යන යෙදුමෙනි.

එම දේශපාලන ධාරාව විශේෂයෙන්ම 1990 දශකයේ සිට යුරෝපීය මධ්‍ය-වාමාංශික පක්ෂ විසින් අනුගමනය කරන ලද නව-ලිබරල්වාදය සමග සම්මුතිගත වීමේ ප්‍රවණතාවට එරෙහිව මතු වූවකි. එය කේන්සියානු සුභසාධක රාජ්‍යය හකුළුවා දැමීමේ ව්‍යාපෘතියට එරෙහිව මතු වූවකි. තවද එය නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සේවය සහ සමාජ සුරක්ෂාව පිළිබඳ පොදු ජන ඉල්ලීම් ඉහළට ඔසවමින් මතු වූ දේශපාලන ප්‍රවණතාවකි. එය ධනය ප්‍රති-ව්‍යාප්ත කිරීම උදෙසා වූ සමාජවාදී සටන් පාඨ නැවත ඉහළට ඔසවයි.

ජර්බඩෝ පෙන්වා දෙන පරිදි, සහශ්‍රක සමාජවාදය වනාහී සමාජය ප්‍රමුඛත්වයෙහි ලා සැලකීමේ පැරණි සමාජවාදී ස්ථාවරය අන්ත අසමානතාවෙන්ද, සමාජ පරමාණුකරණයෙන්ද, අඩු දේශපාලන සහභාගීත්වයකින්ද යුක්ත සමකාලීන සමාජයට ගලපා ගැනීමේ ප්‍රයත්නයකි (එම කෘතිය, පි.31).

මහා ප්‍රති-වර්තනය

lion
මූෆ්ද උපුටා දක්වන ජර්බඩෝගේ කෘතිය තුළ සමකාලීන ගෝලීය දේශපාලනයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් සංකල්පගත කෙරේ. ඔහු පෙන්වා දෙන්නේ නව-ලිබරල්වාදයේ යුගය ආර්ථිකය සේම සමාජයද වඩ වඩාත් බැහැරට විවෘත වීමේ ක්‍රියාවලියකින් සංලක්ෂිත වූ බවයි. එය කාල් පොපර්ගේ 'විවෘත සමාජය' පිළිබඳ ඉගැන්වීම් යථාර්ථයට හැරීමක් ලෙස පෙනී ගියේ එබැවිනි. නිෂ්පාදනය හා බෙදා හැරීම බැහැරට යොමු වීමත්, කොන්ත්‍රාත් සහ උප-කොන්ත්‍රාත් ආර්ථිකය ඉස්මත්තට ඒමත්, අසංවිධිත සහ අසංවිධානාත්මක ශ්‍රම මාදිලීන් ව්‍යාප්ත වීමත් මේ යුගයේ ලක්ෂණ අතර විය. ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය කෙරෙහි එතෙක් සීමා පැන වූ කේන්සියානු බැමි ලිහා දැමිණ. ඉන්පසුව, ජාතික ආර්ථිකයන්ට පැවතිය හැක්කේ ගෝලීය වටිනාකම් දාමවල පුරුක් ලෙස පමණි. මේ නව තත්ත්වය තුළ ආර්ථික ක්‍රියාවලිය හැසිරවීමෙහිලා එතෙක් රාජ්‍යය සතුව තිබූ ශක්‍යතාව ගිලිහී ගියා පමණක් නොවේ. සමස්තයක් ලෙස ආර්ථික ක්‍රියාවලිය අන් කවරදාකවත් නොවූ විරූ තරමට සමාජයෙන් විගලීත වී යයි.

ජර්බාඩෝගේ ප්‍රවාදය වන්නේ විශේෂයෙන්ම 2008 මූල්‍ය අර්බුදයෙන් සහ ඉනික්බිති එළැඹි වසංගතයෙන් පසුව අප දැන් එම නව-ලිබරල් විවෘතකරණයත් බහීෂ්කරණයත් ආපස්සට කැරකෙන යුගයකට අවතීර්ණ වී සිටීය යන්නයි. හරියට දඟර ගැසූ කම්බියක් අනෙක් අතට හැරවෙන්නාක් මෙනි. නව-ලිබරල් ගෝලීයකරණය පළමු වරට සමස්ත ලෝක ගෝලයම පුද්ගලික ලාභ ඉපැයීමේ ක්‍රියාවලියකට යටත් කරන්නට සමත් විය. එමගින් ලොව ජනිත කොට ඇති අසමානත්වය කවරේද යත්, ස්ලේවෝයි ශිෂෙක්ගේ වචනයෙන් කිව හොත්, පැරණි අධිරාජ්‍යයන් වූ මහා ඇලෙක්සැන්ඩර් හෝ රෝමයේ සීසර්වරුන් සතුව පවා නොපැවති ආර්ථික බලයක් සමකාලීන බිලියනපතියන් සතුය.

 85906500 gettyimages 478284878

ලොව පළමු ට්‍රිලියනපතියා බොහෝ විට 2030 වසර වන විට බිහි වනු ඇතැයි අපේක්ෂිතය. එම ක්‍රියාවලියේම අනෙක් පැත්ත වී ඇත්තේ පෙර නොවූ විරූ තරමින් මිලියන ගණනක් ජනයා දරිද්‍රතාවට, අසරණභාවයට සහ අනාරක්ෂිතතාවට ගොදුරු වීමය. ඔවුනට රාජ්‍ය හෝ සමාජ රැකවරණයක් ලැබිය යුතුය යන පැරණි සුභසාධකවාදී පිලිගැනීම නව-ලිබරල් ගතානුගතිකත්වය තුළ සලකනු ලබන්නේ යල් පිනූ අදහසක් ලෙසිනි. ඩේවිඩ් හාවීගේ වචනයෙන් කිවහොත්, නව-ලිබරල් ධර්මය වන්නේ 'ඔබ අසාර්ථක හා දිළිඳු වන්නේ නම්, එය ඔබගේ අදක්ෂතාවේ ප්‍රතිපලයක් මිස කිසියම් සමාජ-ආර්ථික ව්‍යුහයන් තුළින් පැන නැගුණු තත්ත්වයක් නොවේය' යන්නයි. ජර්බාඩෝ අනෙක් පැත්ත හැරෙමින් පවතී යැයි පවසන්නේ මෙම දඟරයයි.

පොලන්යී නිමේෂය

karlඑය තේරුම් කිරීම පිණිස ඔහු කාල් පොලන්යී නමැති සමාජ හා ආර්ථික ඉතිහාසඥයාගේ 'The Great Transformation' (1944) කෘතියේ එන ප්‍රවාදයක් අදාළ කර ගනී. එනම්, ධනවාදී ව්‍යාප්තියේ පසුබෑමක් හමුවේ යළිත් සමාජය දෙසට වූ ප්‍රති-රැල්ලක් නිර්මාණය වේය යන අදහසයි. එතෙක් පුද්ගලික ලාභ ඉපැයීමේ යාන්ත්‍රණය ඔස්සේ ආර්ථිකය බැහැරට ව්‍යාප්ත වීම සමාජයේ ප්‍රධාන මෙහෙයුම් කාරකය විණි නම්, දැන් එය අනෙක් අතට ගමන් කරන්නට පටන් ගනී. එනම්, සමාජ රැකවරණය, ආරක්ෂාව, ජනතා ස්වාධිපත්‍යය, සාමූහිකත්වය යනාදී සමාජයීය තේමාවන් යළිත් කේන්ද්‍රයට පැමිණේ. යළිත් ආර්ථිකය සමාජය තුළට අවශෝෂණය කර ගැනීමේ උත්සුකයක් ඇති වේ.

පොලන්යී පෙන්වා දුන් පරිදි 1929 මහා ආර්ථික අවපාතය හමුවේ සිදු වූයේ එබන්දකි. එකී ව්‍යසනයෙන් සනාථ වූයේ සමෘද්ධිය උදා කරලීමෙහි ලා ධනවාදය විසින් ලබා දුන් පොරොන්දුව මිත්‍යාවක්ය යන්නයි. ඒ වෙනුවට අර්බුදය හමුවේ ධනවාදය ලාභ ඉපැයීමේ වඩාත් මෘග හා ආක්‍රමණික ප්‍රවේශයක් කරා හැරිණ. ඊට එරෙහිව හැමූ ප්‍රති-රැල්ල සමාජ සාමූහිකත්වය නැවත ගොඩ නැංවීමේ නිෂ්ටාව මුල් කර ගත්තක් විය. නමුත්, එම ප්‍රති-රැල්ල අනිවාර්යය ලෙසම ප්‍රගතිශීලී දිශාවකට ගමන් කරාවිය කියා නියමයක් නැත. එක්සත් ජනපදයේ රූස්වෙල්ට් පාලනයත්, ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ජනතාවාදී ආණ්ඩුත් මෙම ප්‍රති-රැල්ලට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර සම්මුතියක් මගිනි. එය රාජ්‍ය සුධසාධනවාදී ප්‍රතිචාරයක් විය. ස්වීඩන් සහ නොර්වේ වැනි ස්කැන්ඩිනේවියන් රටවල සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ නැගීමට එකී නිමේෂය ඉවහල් විය. නමුත්, ඉතාලියානු විසඳුම ෆැසිස්ට්වාදය වූ අතර ජර්මානු විසඳුම නට්සිවාදය විය.

ජර්බාඩෝට අනුව 2008 මූල්‍ය අර්බුදය වනාහී 'පොලන්යී නිමේෂයකි' (පි.65). ඉන්පසුව එළැඹි වසංගතය වනාහී හුදෙක් පැරණි දේ මිය යමින් තිබෙන්නා වූත්, නව දෙය උපත ලබා නොමැති වූත් ග්‍රාම්ස්චියානු සංක්‍රමණීය නිමේෂය පසු කර යාමට ලැබුණු අවස්ථාවක් විය. සැබවින්ම දැන් නව දෙයක් බිහි වන්නට පටන් ගෙන තිබෙන බවය, ඔහු පෙන්වා දෙන්නේ. එනම්, ජනතා ස්වාධිපත්‍යය, සමාජ රැකවරණය හා පාලනය යළිත් ඉල්ලා සිටින නව-රාජ්‍යවාදයක් කරා අප දැන් ගමන් කරමින් සිටින්නේය යන්නයි.

2022 04 23T143700Z 1355511370 RC20TT9TJG0O RTRMADP 3 SRI LANKA CRISIS scaled

ජර්බාඩෝ මෙන්ම මූෆ්ද පෙන්වා දෙන්නේ මෙම නිමේෂය තුළ දක්ෂිණාංශික-වාමාංශික යන බෙදීම නව අරුතක් හිමි කර ගන්නා බවය. දක්ෂිණාංශය මෙම නව තත්ත්වයට ප්‍රතිචාර දක්වනු ලබන්නේ වාර්ගික හා ආගමික ජාතිකවාදය මුල් කොටගත් අධිපතිවාදී ප්‍රවේශයකිනි. වාමාංශය ඒ වෙනුවට ජනතා ස්වාධිපත්‍යය, ප්‍රජාතාන්ත්‍රික අයිතීන්, සමාජ ආරක්ෂණය හා සුභසාධනය මුල් කොට ගනී. බිඳ වැටෙන සමාජය නව පදනමක් මත යළි ගොඩ නැංවීමේ සටන් පාඨය වාමාංශය විසින් අත්පත් කර ගත යුතු යැයි ඔවුන් යෝජනා කරන්නේ මේ පසුබිම තුළය.

පශ්චාත්-මාක්ස්වාදී ස්ථාවරය

රටේ රාළ කොලම : රනිල්ගේ සැබෑවුන IMF සිහිනය

ඉහත විශ්ලේෂණයෙන් පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ-අයි.එම්.එෆ් හවුල විසින් දැන් අපව රැගෙන යමින් සිටින්නේ ලෝකය ගමන් කරමින් සිටින දිශානතියට සපුරාම විරුද්ධ දිශානතියකට බවයි. 1977 සිට ජේ.ආර්. ජයවර්ධන ලාංකීය ආර්ථිකය මෙහෙයවූයේ ලෝකය ඒ වනවිටත් ගමන් අරඹා තිබූ දිශානතියකට බැවින් එය එකල දිස් වූයේ නවීකාරක ගමනක් ලෙසය. නමුත්, වික්‍රමසිංහ දැන් ඒ මගම පිය තබන විට ඔහු සැබවින්ම ගමන් කරමින් සිටින්නේ පසුපසටය. ඒ මදිවාට අද දිනයේ දේශපාලන ලිබරල්වාදයේත් ප්‍රජාතන්ත්‍රවාදයේත් මූලික වටිනාකම් අමු අමුවේ උල්ලංඝනය කරනු ලබමින් පවතින්නේ කෙසේදැයි අමුතුවෙන් කිව යුතු නැත.

ඒ තතු යටතේ අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් ඉදිරිපත් කළ පශ්චාත්-මාක්ස්වාදී දේශපාලන උපාය මාර්ගය වූ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථානගත වන්නේ වික්‍රමසිංහගේ නව-ලිබරල් ගතානුගතිකවාදයට එරෙහිව බව වටහා ගැනීම අපහසු නොවේ. ඉදිරි ලිපියෙන් එය සාකච්ජාවට ලක් කරන්නට බලාපොරොත්තු වෙමි.


නව දේශපාලන ප්‍රහසන නාටක - (සුමිත් චාමින්ද)(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



Anida


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්