The Leader News
BREAKING
Top Ad
Opinion

ඇඟට දැනෙන මුස්ලිම් විරෝධයකට අනගි යෝජනාවක් !

T

The Leader Desk

May 19, 2019 • 3:20 AM

ඇඟට දැනෙන මුස්ලිම් විරෝධයකට අනගි යෝජනාවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා විනාශයෙන් පසු සිංහල බෞද්ධ දේශප්‍රේමීන් වහා කල එළි බැස්සේ මුස්ලිම් විරෝධයක් කරපින්නා ගෙනය. එළෙසින් ලේ රත් කරගත් අය මේ දිනවල වමාරන්නේ “මුස්ලිම් විරෝධය” සංවිධානාත්මකව සමාජගත කිරීමේ ද්වේශය, වෛරය රැගත් වට්ටෝරු ය.
  • මුස්ලිම්වරුන්ට කිසිවක් අලෙවි නොකරන ලෙසය.
  • මුස්ලිම්වරුන්ට නිවෙස් හා ගොඩනැගිලි කුලියට නොදෙන ලෙසය.
  • ඔවුන්ට ඉඩම් නොවිකුණන ලෙස ය.  තවත් එවැනි ඉල්ලීම් කිහිපයක් සමග අවසානයට ඔවුන් සිංහල දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් සිව් දෙනෙකුවත් අවම වශයෙන් හදා ගන්නා ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):



 ඔවුන් සිංහල සමාජයට කියන්නේ මුස්ලිම් කඩ වලින් කිසිවක් මිලට නොගන්නා ලෙසය. මුස්ලිම්වරුන්ට කිසිවක් අලෙවි නොකරන ලෙසය. මුස්ලිම්වරුන්ට නිවෙස් හා ගොඩනැගිලි කුලියට නොදෙන ලෙසය. ඔවුන්ට ඉඩම් නොවිකුණන ලෙස ය. 

තවත් එවැනි ඉල්ලීම් කිහිපයක් සමග අවසානයට ඔවුන් සිංහල දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් සිව් දෙනෙකුවත් අවම වශයෙන් හදා ගන්නා ලෙසය.

විශේෂයෙන් ළදරු ජනගහනයක් සීඝ්‍රයෙන් වැඩිවන විට අනෙකුත් සියලු සේවා මත පැටවෙන බර සහ වියදම සමාජයක් ලෙස දැරීම ගැන හාංකවිසියක් නොදන්නා ජාත්‍යාල වීරයින් කරන ඒ මෝඩ ඉල්ලීම හැර අන් සියල්ලම, හන්දි වලට, කඩමණ්ඩි වලට, පදිකයට සීමා වන සිල්ලර විරෝධතාවන්ය. 

මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි එක යෝධ ව්‍යාපාරයක් වන්නේ අපනයන ඇඟළුම් කර්මාන්තය ය. එහි ඉහළින්ම ඉන්නා යෝධයින් 09 දෙනාම මුස්ලිම් ව්‍යාපාරිකයින්ය. ඔවුන්ගේ කම්හල්වල දහස් ගණන් සේවය කරන්නේ සිංහළ තරුණ තරුණියන්ය. 

අනෙක් ක්ෂේත්‍රය යෝධ පාරිභෝගික අලෙවි සංකීර්ණ ය. ඒවා මගින් මුදල් සංසරණය විශාල වශයෙන් ඔවුන් අත තියා ගන්නා විට හන්දිවල කඩමණ්ඩිවලට ඉතිරි වන්නේ සිල්ලර වෙළඳාමකි. ඒවායේ මුදල් සංසරණය ඉතා සීමා සහිතය. 

එනිසා මේ සිංහල බෞද්ධ ජාත්‍යාලයෙහි කතා කරන මුස්ලිම් විරෝධයද සිල්ලර විරෝධයකි. කඩමණ්ඩියේ හන්දියේ පදිකයේ මුස්ලිම් වෙළඳාම වර්ජනය කරන්නට සමාජයේ සල්ලිකාර පැලැන්තිය හවුල් වන්නේ නැත. එය ඉතිරි වන්නේ සමාජයේ පහළ ස්ථරයේ එවුන් හවුල්වී පුංචි මුස්ලිම් වෙළෙන්දන් තලන්නට කතා කරන විරෝධයක් ලෙසය.

එබැවින් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්නට අර අඳින සිංහල බෞද්ධ දේශප්‍රේමින්ට බඩ කට පිරෙන්නට කෑ හැකි යෝධ විරෝධයක් මම අභියෝගයක් ලෙස ඉදිරිපත් කරමි. මුස්ලිම් රාජ්‍ය සමග අප කරන යෝධ ආර්ථික ගනු දෙනු දෙකක් ඇත. එකක් නම්, විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කර රටට අවශ්‍ය ඉන්ධන මැද පෙරදිග මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ආනයනය කිරීමය. අනෙක අහිංසක තරුණියන් මැද පෙරදිග මුස්ලිම් පවුල් සඳහා ගෘහ සේවිකාවන් ලෙස සපයා විදේශ විනිමය උපයා ගැනීමය.   

අපි වසරකට ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර මිලියන 5,000 ක් පමණ වැය කරන්නෙමු. මෙය රුපියල් වලින් ගණන් හැදීමට දළ වශයෙන් රුපියල් 175 කින් වැඩි කළ යුතුය. එය ලෙහෙසි පහසු මුදලක් නොවේ. ඉන් වැඩි ප්‍රමාණයක් අප ගෙවන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට සහ ඕමානයට ය. 

අපි ඉරාණයෙන් ආනයනය කළ ඉන්ධන ප්‍රමාණය ඉරාණයට එරෙහිව ඇමෙරිකාව පැනවූ සම්බාධක සමග සිංගප්පූරු සමාගම් හරහා ආනයනය කරන්නෙමු. එයද අවසානයේ මැද පෙරදිග මුස්ලිම් රාජ්‍ය වෙත යන මුදලකි. මේ මුස්ලිම් රාජ්‍යයන්ගෙන් විශේෂයෙන් සවුදි අරාබිය හා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මුස්ලිම් අන්තවාදී සංවිධාන වලට ආධාර කරන්නේ යැයි මූණත්තහඩු නොමැති මුහුණු පොතේ විශේෂඥයින් ඔවුන්ගේ ගිණුම්වල කියන්නාහ.

දෙවැන්න, මේ රටේ අහිංසක තරුණියන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් නිල වශයෙන් වාර්ෂිකව මැද පෙරදිග ගෘහ සේවයට යති. ඔවුන් මැද පෙරදිග යන්නේ මුස්ලිම් පවුල් වලට බැල මෙහෙවර කිරීමට ය. එසේ විදේශ රටවල රැකියා සඳහා යන පිරිස් වසරකට ඇමෙරිකානු ඩොලර මිලියන 700 ක් පමණ උපයා දෙති. 2018 වසරේ එය ඇමෙරිකානු ඩොලර මිලියන 729 ක් විය. ඒ වන විට ගෘහ සේවිකාවන් ලක්ෂ 03 ට වැඩි සංඛ්‍යාවක් මැද පෙරදිග සේවයේ සිටියේ යැයි වාර්තා විය. 

තෙවැන්න වන්නේ, මෙරට ඇගළුම් කර්මාන්තයේ යෝධ මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ අපනයන නිෂ්පාදනය වෙනුවෙන් සේවයේ යෙදෙන සිංහල බෞද්ධ ග්‍රාමීය සේවක සේවිකාවන්ය. ඔවුන්ගේ වැටුප් අවමකර, අයිතිවාසිකම් කප්පාදුකර නිවාඩුද නොමැතිව ටාගට් මත ලබා ගන්නා සේවාවන්ගෙන් වාර්ෂිකව ඩොලර බිලියන 500 ට ආසන්න විදේශ විනිමයක් අපි උපයා ගනිමු.   

එනිසා මම සිංහල බෞද්ධ දේශප්‍රේමින්ට මෙසේ අභියෝග කරමි. මුස්ලිම් රාජ්‍යයන්ට අපේ විදේශ විනිමය වසරකට ඩොලර මිලියන 5,000 ක් පමණ වැය කර ගෙන්වා ගන්නා ඉන්ධන වහා වර්ජනය කරමු. අරාබිකරයේ මුස්ලිම් රාජ්‍යයන්ගෙන් අපි අමාරුවෙන් උපයා ගන්නා විදේශ විනිමය වැයකර කිසිවක් මිලට නොගත යුතු යැයි මම කියමි. 

ඊළඟට අපේ තරුණියන් වසරකට ලක්ෂයක් පමණ මැද පෙරදිග මුස්ලිම් පවුල් සඳහා බැල මෙහෙවර කරන්නට යැවීම කෙතරම් නින්දා සහගත කාර්යක්දැයි මම අසමි. අප එයට ලජ්ජා විය යුතුය. අපේ ගැහැණු මුස්ලිම් රටවල මුස්ලිම්වරුන්ට බැල මෙහෙකරන්නට යවා ගෙන්වා ගන්නා මුදලින් ජීවත්වීම සිංහල බෞද්ධයින්ට කෙතරම් අපහාසාත්මක පැවැත්මක්දැයි සිතා බලනු මැනවි. 

එනිසා මැද පෙරදිග ගෘහසේවය අත්හිටුවන ලෙසට සහ දැනට එහි සේවයේ ඉන්නා ගෘහසේවිකාවන් සියලු දෙන ගෙන්වා ගන්නට ආණ්ඩුවට බල කළ යුතු යැයි කියමි. 

ඊළගට ඇඟළුම් කර්මාන්තයේ ප්‍රධාන යෝධ ව්‍යාපාරයන්හි තුට්ටු දෙකේ පඩියට කරන සේවය වර්ජනය කළ යුතු යැයි මම කියමි. 

ඒ අනුව හන්දිවල කඩමණ්ඩිවල සිල්ලර විරෝධතා පැත්තකින් තබා, අරාබිකරයේ පෙට්‍රල් ඩීසල් අපේ වාහන වලට නොගසන, අපේ කාන්තාවන් ඔවුන්ට බැල මෙහෙ කරන්නට නොයවන හා ඇගළුම් කර්මාන්තයේ යෝධයින් ළග සේවය අත හරින රටටම දැනෙන විරෝධතාවක් සංවිධානය කරන්න යැයි මම සිංහල බෞද්ධ දේශප්‍රේමින්ට අභියෝග කරමි.             

කුසල් පෙරේරා - දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

Kusal

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...