The Leader News
BREAKING
Top Ad
Opinion

මෙය “සිංහල බෞද්ධ රාජ්‍යයක්” ලෙස පිළිගැනීමට නම්....: බැසිල්ගේ උපදේශකගේ කතාවට කුසල්ගෙන් ප්‍රතිචාරයක්

T

The Leader Desk

May 20, 2019 • 5:28 AM

මෙය “සිංහල බෞද්ධ රාජ්‍යයක්” ලෙස පිළිගැනීමට නම්....: බැසිල්ගේ උපදේශකගේ කතාවට කුසල්ගෙන් ප්‍රතිචාරයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ “ලක්බිම” අනාදිමත් කාලයක සිට පවතින්නේ “සිංහල බෞද්ධ රාජ්‍යයක්” යැයි පිළිගැනීමට නොහැක්කේ මන්දැයි අසා ඇත්තේ සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගිය පන්සලේ ගේට්ටුව ළඟ කපුරු බෝල අලෙවි කරන අහිංසක කාන්තාවක් නොවේ. එසේ අසන්නේ ලංකාදීප පුවත් පතට පසුගිය (මැයි 17) “කිවිදා විග්‍රහය” ලියූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය චරිත හේරත් ය.
  • මේ කතාව ඔහු විශ්ව විද්‍යාල ඇදුරෙකු ලෙස “කපුරු බෝල කතා” කීම සම්බන්ධයෙනි.
  • එංගලන්තය හා ඉතාලිය ගැන ඔහුගේ තර්කයම “ජාතික රාජ්‍ය” යනු කවරක් දැයි ඔහු නොදන්නා බව ප්‍රදර්ශනය කිරීමකි.
  • ඉතාලිය රෝමානු කතෝලික රටක් වන්නේ 1870 දක්වා යුද්ධ මගින් එකතු කරගත් භූමි ප්‍රදේශයන්හි තහවුරු කෙරෙන රාජ්‍ය සමගින්ය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔහු රාජපක්ෂවාදියෙකුවීම ගැන කතාව වෙනම කතාවකි. මේ කතාව ඔහු විශ්ව විද්‍යාල ඇදුරෙකු ලෙස “කපුරු බෝල කතා” කීම සම්බන්ධයෙනි.

එංගලන්තය හා ඉතාලිය ගැන ඔහුගේ තර්කයම “ජාතික රාජ්‍ය” යනු කවරක් දැයි ඔහු නොදන්නා බව ප්‍රදර්ශනය කිරීමකි. ඔහුගේ දැනීමේ තරමට ඉතාලිය රෝමානු කතෝලික රටකි. එංගලන්තය ක්‍රිස්තියානි රටකි. ඔහු කියන අයුරු එය ලොවම දන්නා කාරණාවකි. ඒ රටවල රාජ්‍ය පාලනයේ අවසාන දිවුරුම දෙන්නේ බයිබලයේ අත තබා ය. ඔවුන්ගේ ජාතික රාජ්‍ය කතාව චරිත හේරත් හිතා ඉන්නේ එතැනින් අවසන් වන ඉතා සරළ කතාවක් කියා ය.

ඉතාලිය රෝමානු කතෝලික රටක් වන්නේ 1870 දක්වා යුද්ධ මගින් එකතු කරගත් භූමි ප්‍රදේශයන්හි තහවුරු කෙරෙන රාජ්‍ය සමගින්ය. ඒ ඉතාලියෙහි වෙනත් කිසිදු ආගමක් නැත. එහි මුස්ලිම්, හින්දු, බෞද්ධ ආගම් නැත. යටපත්කර ගෙන ඉතාලි රාජ්‍ය පිහිටවූ සමස්ථ භූමියෙහි රෝමානු කතෝලික ආගම පමණක් තිබීමේ වාසිය සමග එහි කතෝලික ආගම සියල්ලන්ගේ ආගම විය. 

ඉන්පසු 1922 සිට 1943 දක්වා වූ බෙනිටො මුසොලීනිගේ ෆැසිස්ට් පාලනය විසින් “ඉතාලි ජාතිකත්වය” තහවුරු කරණු ලැබූයේ හිට්ලර්ගේ ආර්යානු සුපිරි ජර්මානු ජාතියක් ගැන කතාවේ තර්කය අනුවය. රෝමානු කතෝලික ආගම විසින් ජාතික රාජ්‍ය සඳහා එවැනි තනි පදනමක් ඉතාලියට ලබාදුන් අතර මහ බ්‍රිතාන්‍යයෙහි එය ඉංග්‍රීසි භාෂාව විය.

ඉංග්‍රීසි බස හැදෙන්නේ එංගලන්තයේ පැවති රෝමානු පාලනය 04 වන සියවස අවසාන වනවිට ක්‍රමානුකූලව අහෝසි වීමත් සමගය. එයට හේතු ගණනාවක් විය. ප්‍රධානම හා බලවත්ම සාධකය වූයේ වර්තමාන ජර්මනියේ වයඹ ප්‍රදේශයන්ගෙන්ද නෙදර්ලන්තයේ හා වර්තමාන ඕලන්දයේ බටහිර ප්‍රදේශයන්ගෙන්ද එංගලන්ත දූපත් වලට 05 වන සියවසේ සිට 07 වන සියවස දක්වා සංක්‍රමණය වූ ජනයා ය. ඔවුන්ගේ සම්මිශ්‍රණයෙන් ගොඩ නැගුණු ඇංග්ලෝ-සැක්සානු සංස්කෘතියෙහි “ඉංග්‍රීසි බස” එක ලක්ෂණයකි. 

මහ බ්‍රිතාන්‍ය හඳුනා ගැනෙන්නේද මේ ඇංග්ලෝ-සැක්සානු සංස්කෘතියෙහි “ඉංග්‍රීසි බස”සමගින්ය. එය ඉතාලියේ රෝමානු කතෝලික ආගම තරම් පොදු නොවුනි. බ්‍රිතාන්‍යයෙහි රෝමානු කතෝලික, ප්‍රොතෙස්තන්ත සහ පසුව එංගලන්ත සභාව යැයි තරගකාරි පල්ලි පද්ධති බිහි විය. ඒ අනුව අයර්ලන්තයේ පළමු බෙදීම ඇතිවන්නේ එංගලන්ත පාලනයට හවුල් වන්නාවූ ප්‍රොතෙස්තන්තවාදීන් හා ඊට විරුද්ධ ස්වයං පාලනයක් ඉල්ලූ කතෝලිකයින් ලෙසිනි. 

උතුරු අයර්ලන්තය වෙනම රාජ්‍යයක් ලෙස බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමේ සන්නද්ධ අරගලය ආරම්භ වන්නේ 1919 දී මීට අවුරුදු 100 ට ඉහතින් ය. මීට අවුරුදු 05 ට කලින් ස්කොට්ලන්ත ජාතිකයින් බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමට 2014 දී ජනමතයක් පැවැත් වූ අතර සියයට 45 ක් වෙන් විය යුතුයැයි ඡන්දය දුන්හ. ආචාර්ය චරිත හේරත් නොදන්නා මහ බ්‍රිතාන්‍යයේ ක්‍රිස්තියානි ඉතිහාසයේ බෙදීම් එවැනිය.

දැනටත් ඔවුන්ට ස්වාධීන ජාතික රාජ්‍යයක් ලෙස පැවතීමේ ආරවුලක් ඇත. යුරෝපිය සංගමයෙන් වෙන්වීමට මහ බ්‍රිතාන්‍යයට තවමත් පැහැදිලි තීන්දුවක් ගත නොහැක්කේ තව දුරටත් ඔවුන් වෙනම ජාතික රාජ්‍යක් ලෙස පැවතීම පිළිබඳව ඔවුන්ගේ පුරවැසියන් අතර බරපතල ප්‍රශ්නයක් ඇති බැවිනි. යුරෝපීය සංගමය ලෙස පොදු ආර්ථික හවුලක් හැදීමත් සමග පැරණි බලසම්පන්න “ජාතික රාජ්‍ය” සංකල්පය බිඳ වැටින.    


අපේ කතාව වෙනස් :


ආචාර්ය චරිත හේරත් කියන අයුරු බයිබලයේ අත තබා අවසන් දිවුරුම දෙන ඒ රටවල දැනටත් ඇති අර්බූද වලට වඩා අපේ කතාව වෙනස් ය. අපට භාෂාව, ආගම, හෝ වෙනත් පොදු අනන්‍යතාවක් මේ දූපතෙහි ඉතිහාසයේ තිබුණේත් නැත. දැනටත් නැත. මේ රටේ ඓතිහාසිකව තහවුරු වූ පැහැදිලි සංස්කෘතීන් තුනක් සහ මව් භාෂා දෙකක් ඇත. 

එබැවින් ඔහු කියන ආකාරයට ඉතාලියේ කතෝලික හෝ එංගලන්තයේ ඉංග්‍රීසි භාෂාවට මෙන් පැහැදිලි තනි සංස්කෘතික ඉතිහාසයක ආධිපත්‍යයක් මේ රටේ සිංහල බෞද්ධ ඉතිහාසයට නැත. මේ රටේ ඔහු කියන සිංහල බෞද්ධ ඉතිහාසය බොඳ වූ ඉතිහාසයක් පමණක් නොව, වර්තමාන ලංකාව සැළකුවහොත් ඔහුගේ සිංහල බෞද්ධ ඉතිහාසය අදාල වන්නේ පළාත් 09 න් 06 ට පමණ ය.

එයද 1739 දී වීර නරේන්ද්‍රසිංහ රජුගේ දකුණු ඉන්දීය හින්දු නායක්කර් බිසවගේ සහෝදරයා ශ්‍රී විජය රාජසිංහ ලෙස සිංහාසනාරූඩ වූ පසු ලංකාව 1815 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වන තුරු අවුරුදු 100 ට ආසන්න කාලයක් මේ රටේ බෞද්ධාගම ලෙස තහවුරු වූයේ හින්දු ඇදහිලි හා විශ්වාස සමගය. එය ඊට පෙර අනුරාධපුර හා පොළොන්නරු යුගවල රජවරුන්ද දකුණු ඉන්දීය බිසෝවරුන් සරණ පාවා ගැනීම හේතුවෙන් සිදුවූවකි. පන්සල් භුමියෙහි කෝවිල් හින්දු දෙව් මැදුරු ඇත්තේ එබැවිනි.

බුදුන් වදාළ සියලු දාර්ශනික අර්ථගැන්වීම් වලට පටහැනිව කුල අනුව සංඝයා බෙදුණු, අවබෝධයකින් තොරව බෞද්ධාගම යැයි කියන, හින්දු වත් පිළිවෙත් වැළඳගත් බොදු-හින්දු සංස්කෘතිය අද “සිංහල බෞද්ධ” වී ඇත. 

ආචාර්ය චරිත හේරත් සිංහල බෞද්ධ යැයි කියන්නේ ඒ බොදු-හින්දු සිංහල පැවැත්මට ය. ඔවුන් බහුතරය හින්දු දෙවිවරුන් අදහන්නේත් පුද පූජා පවත්වන්නේත් පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි සඳහා ඉගෙන ගත් විශ්ව විද්‍යාල ඇදුරන් ඇතුලු උගත් වෘත්තිකයින් අලුත් වාහනයක් ගත් වහාම දෙහි ගෙඩි වැලක් එල්ලා ගෙන කතරගම යන්නේත් බෞද්ධ සංස්කෘතිය නිසා නොව, ඔවුන්ගේ සිංහල බෞද්ධකමෙහි ඇති හින්දු සංස්කෘතික ලක්ෂණ නිසාවෙනි. 

එබැවින් ප්‍රශ්නය වන්නේ ආචාර්ය චරිත හේරත් බෞද්ධ යැයි කියන්නේ කවර ආගමකටද යන්නයි. එය පැහැදිලි කර ගැනීමකින් තොරව උතුරු නැගෙනහිර හැර අනෙක් පළාත්වල හෝ සිංහල බෞද්ධ ඉතිහාසයක් ගැන උදම් ඇණිය නොහැක.

එබැවින් සියල්ලට පෙර ඔහු බෞද්ධාගම කියන්නේ කවර ආගමකටද යන්න පැහැදිලිව කිව යුතුය. එය පන්සල් ගේට්ටුවේ කපුරු බෝල විකුණන තරුණියක් බෞද්ධාගම යැයි පිළිගන්නා ආගම නම්, එයට රටෙන් කොටසක හෝ ඔහු කියන ඉතිහාසයක් නැත. සිංහල බෞද්ධ ඉතිහාසයක් කෙදිනකවත් සමස්ථ රටේ නොතිබුණු හෙයින් ආචාර්ය චරිත හේරත් කතා කරන්නේ “කපුරු බෝල” ඉතිහාසයක් පමණි. 

(කුසල් පෙරේරා - දේශපාලන විශ්ලේෂක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී) 

සබැඳි පුවත :

ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගන්න බැරි ඇයි ? බැසිල්ගේ උපදේශක විමසයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...