The Leader News
BREAKING
Top Ad
Opinion

විශ්වාසභංගය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්

T

The Leader Desk

May 27, 2019 • 10:20 AM

විශ්වාසභංගය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් මස 21 වෙනි පාස්කු ඉරු දින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද්දේ ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් වූ අයිඑස්අයිඑස් සංවිධානයේ
  • ඔවුහු කාලයක් තිස්සේ මේ රටේ තැන් තැන්හි සිය සංවිධාන කටයුතු සිදුකරමින් සිට ඇති බව දැන් දැන් අනාවරණය කෙරෙන කරුණු හරහා පසක් වෙමින් පවතී.
  • ඔවුනට විවිධාකාරයේ උදව් උපකාර කළ දේශපාලකයන් පිළිබඳව ද මේ විමසුම් හරහාම හෙළිදරව් වෙමින් ඇත.
  • ඒ සඳහා සැහැසිකම් ද දයාර්දයන් ලෙස ආරෝපනය කොට මිනිස් සිත් අවරෝධනයට ලක්කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජිතයන් හෝ සාමාජිකයන් වූ ශ්‍රී ලාංකීය මුස්ලිම්වරු කිහිපදෙනෙක් ය. ඔවුහු කාලයක් තිස්සේ මේ රටේ තැන් තැන්හි සිය සංවිධාන කටයුතු සිදුකරමින් සිට ඇති බව දැන් දැන් අනාවරණය කෙරෙන කරුණු හරහා පසක් වෙමින් පවතී. ඔවුනට විවිධාකාරයේ උදව් උපකාර කළ දේශපාලකයන් පිළිබඳව ද මේ විමසුම් හරහාම හෙළිදරව් වෙමින් ඇත.

දේශපාලනය යනු රාජ්‍ය බලය පිළිබඳ සුන්දර සිහිනයක් වගේම වරෙක අතිශය බියකරු ක්‍රිඩාවක් ද වෙයි. එහිදී දේශපාලකයාට අනෙකා පිළිබඳ මායිමක් නැත. ප්‍රහාරයක් යනු එහි එක් කඩුල්ලක් පමණකි. බිලි නොවී රැක සිටීම එහි මුඛ්‍ය අරමුණ වෙයි. ඒ සඳහා සැහැසිකම් ද දයාර්දයන් ලෙස ආරෝපනය කොට මිනිස් සිත් අවරෝධනයට ලක්කරනු ඇත.

ඉස්ලාම් භක්තිකයා වඩාත් සමීප තවත් ඉස්ලාම් භක්තිකයකුට මිස වෙනත් ආගමක් අදහන අයකුට නොවන බව මේ සමාජයේ මුල්බැස ගෙන ඇති අදහසකි. එය අනෙකාගේ පරතරය පිණිස නිර්මාණය කරන ලද්දක් ද විය හැක. ඉතිහාසය පුරා මෙය වඩ වඩාත් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ දේශපාලකයා මිස අන් කවරකුවත් නොවේය. අද ද එය එසේමය.

 

ඉලක්කය විතැන් වීම

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ රටේ සිංහල බෞද්ධයා යැයි කියාගන්නා අයවලුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත් වූයේ මුස්ලිම් ජාතිකයාය. ආරම්භයේ දී එය සමස්ත මුස්ලිම් ජාතිකයා කෙරෙහිම එල්ල විය. කුලියාපිටිය, මිනුවන්ගොඩ පුපුරා ගිනි තැබුවේ ඒ නොනිමි වෛරයයි.

ඉන් නොනැවතී ඉලlක්කය ක්‍රම ක්‍රමයෙන් මුස්ලිම් ජාතික දේශපාලනයන් දෙසට විතැන් වූයේය. එය තවදුරටත් සිය දේශපාලන විරුද්ධ පාක්ෂික මුස්ලිම් දේශපාලකයා දෙසට පමණක් ඉලක්කය ලගු කිරීම දක්වා ඉදිරියට ගෙන ගියේය.

 

බදුර්දීන්ට විශ්වාසභංගයක්

රිෂාඩ් බදුර්දීන් යනු මුස්ලිම් ජාතික පක්ෂ නියෝජනයක් සහිත ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකි. එසේම තවමත් නීතිය ඉදිරියේ ඔප්පු නොකළ චෝදනා රැසක හිමිකරුවෙකි. කෙසේ නමුත් පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා කොල්ලකාරී නිමැවූ මහින්ද මෛත්‍රී ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ ආයාචනාවට පිටු පෑ මහත්මයෙකි. දැන් ඉලක්කය ඔහුය.

මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් බදුර්දීන්ට එරෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ මූලික කරුණු 10කි. අමාත්‍යවරයකුගේ විශ්වාසය භංග වීමට තරම් එකී කරුණු කෙතරම් සමත් දැයි වෙන වෙනම විමසා බැලිය යුතුව ඇත.

කෙසේ නමුත් පොදුවේ එහි සඳහන් බොහෝ කරුණු පදනම් විරහිත හිතළු මත ගොඩනැගූ තර්කවලින් සහ සාවද්‍ය කරුණු ඇතුළත් කර ගෙනෙන ලද්දක් බව බැලූ බැල්මට පෙනීයයි. මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළේ ද ඒ නිසාවෙන් විය හැකිය.

 

ගැලවිජ්ජාවට ඉඩක් නැත

කිසියම් අයකු පාස්කු ත්‍රස්තවාදයට හෝ එකී ත්‍රස්තයන්ට ආධාර අනුබල දීමක් සිදු කළේ නම් ඔහු විශ්වාසභංගයකට කොටු කිරීම කිසිසේත් ප්‍රමාණවත් නැත. මන්ද එකී ත්‍රස්තවාදයට ගොදුරු වූයේ මේ රටේ සක්‍රීය වූ මිනිස් ජීවිත වන බැවිනි. එබැවින් ඔහුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය. වරදක් සිදුකර ඇත්නම් උපරිම දඬුවම් පැමිණ විය යුතුය. එය එසේ නොවනතාක් ත්‍රස්තවාදය ජීවමාන වනු ඇත.

මේ කරුණ වටහාගත් රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය මහින්දලා ගෙන ආ විශ්වාසභංගය පසෙකින් තබා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහ උදව් උපකාර කළ පුද්ගලයන් පිළිබඳ සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරිමට පියවර ගත්තේය.

කෙසේ නමුත් ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පොහොට්ටු කණ්ඩායමේ කිසිවකු සහභාගි නොවීමට තීරණය කර ඇත.

 

නීතිය මගහැරීම ජාතිවාදයට තටු දීමක්

විශ්වාසභංගයකින් කළ හැකි උපරිම දේ අදාළ පුුද්ගලයාගේ විශ්වාසය භංග වූ බවට සමාජය තුළ මතයක් ගොඩනැගීම පමණි. නමුත් තේරීම් කාරක සභාවකදී චෝදනා ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාගේ තනතුරු පමණක් නොව අවශ්‍ය නම් පුරවැසිභාවය පවා අහෝසි කිරීම දක්වා වූ බලයක් ඇත.

එය ජේ.ආර්.ගේ කාලේ සිරිමාවෝට එරෙහිව යොදාගත්තා සේම මහින්දලාගේ කාලේ ශිරාණි බණ්ඩාරනායකට එරෙහිවද අත්හදා බලා ඇත.

කරුණු එසේ හෙයින් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම හිතාමතාම සමාජය නොමග යැවීමේ අරමුණින් සිය දේශපාලන ක්‍රියාන්විතය දියත් කරමින් සිටිති. සිංහල බෞද්ධ යැයි කියාගන්නා මිනිස් හිස් තුළ පිරවූ මුස්ලිම් විරෝධය නඩත්තු කිරීම විනා සමාජයේ ආරක්ෂාවට අදාළ යුක්තිය ඉටුකිරීමක් ඔවුනට අවශ්‍ය නොවන බව පැහැදිලිය.

මතවාදයක් මඩවලින් නඩත්තු කිරීම යනු යුක්තිය ඉටුකිරීමක් නොවන බවත් හුලං පුරවපු කඳක තටු සැලුවට හිතන තරම් උඩ යාමට නොහැකි බවත් අවසානයේ සටහන් කර තබමු.

- විභීෂණ බණ්ඩාර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...