The Leader News
BREAKING
Top Ad
Opinion

දණ්ඩ මුක්තිය දෙන්න වළිකන රතන හිමි හා ඒකාබද්ධය

T

The Leader Desk

June 8, 2019 • 3:49 AM

දණ්ඩ මුක්තිය දෙන්න වළිකන රතන හිමි හා ඒකාබද්ධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැය 24 ක කාලය ලබාදීම් කිහිපයකට පසු මැයි 31 වැනිදා ඇරඹි අතුරලියේ රතන හිමි නාටකය දින 04 කට පසු ජූනි 03 වැනිදා අවසන් විය.
  • රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිධූර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් එදින අස්වීමත් සමග ලියා තිබූ පිටපත් රඟදක්වන්නට තිබූ ඉතිරි අවස්ථා මගහැරී ගියේය.
  • එහෙත් ආණ්ඩුකාරවරයා පත් කිරීම මෙන්ම ඔවුන්ව ඉවත් කිරීමේ බලයද ජනාධිපතිවරයා සතුවන බව අමුතුවෙන් මතක්කර දිය යුතු නැත.
  • අස්වීමේ ලිපි පිළිගැනීමෙන්ම ජනාධිපතිවරයා නොකියා කියා ඇත්තේ එම ආණ්ඩුකාරවරුන් අස් කිරීම ඔහුගේ වුවමනාව වූ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාරදීමෙන් පසුය.

රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිධූර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් එදින අස්වීමත් සමග ලියා තිබූ පිටපත් රඟදක්වන්නට තිබූ ඉතිරි අවස්ථා මගහැරී ගියේය.

මෙහිදී ජනාධිපතිවරයා ඔහුගේ සුපුරුදු රංගනයම ගෙනහැර දැක්වූයේය. අසාද් සාලි හා හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ ලිපි දෙන තෙක් ඔහු විවිධ අය හරහා බලපෑම් කරමින් සිටියේය. එහෙත් ආණ්ඩුකාරවරයා පත් කිරීම මෙන්ම ඔවුන්ව ඉවත් කිරීමේ බලයද ජනාධිපතිවරයා සතුවන බව අමුතුවෙන් මතක්කර දිය යුතු නැත.

මීට පෙර ඕනෑ තරම් ඔහු ආණ්ඩුකාරවරු අස්කිරීමද පත්කිරීමද සිදුකර තිබේ. යම් අයෙකු තම ධූරයෙන් අස්වෙනවාදැයි දැනුම් දුන්නද පිළිගන්නේ නැත්නම් ජනාධිපතිවරයාට එය ප්‍රතික්ෂේප කළ හැකිය. ධූරයෙන් අස්වීමේ ලිපි ගන්නවා නම් ඉහත ආණ්ඩුකාරවරුන් පිළිබඳ ප්‍රශ්නයේදී අස්වීමේ ලිපි දෙනතෙක් සිටිය යුතු නැත. ඔවුන්ව අස් කළ හැක.

අස්වීමේ ලිපි පිළිගැනීමෙන්ම ජනාධිපතිවරයා නොකියා කියා ඇත්තේ එම ආණ්ඩුකාරවරුන් අස් කිරීම ඔහුගේ වුවමනාව වූ බවය.

 

කොන්දක් නැති හා දෙබිඩි භූමිකාව !

මීට පෙරත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුව තනතුරෙන් අස් කිරීම සඳහාද ජනාධිපතිවරයා රඟදැක්වූයේ මෙවැනි රංගනයකි. ලේකම්වරයාව අස්කිරීමේ හැකියාව ඔහුට තිබුණි. එහෙත් අස්වීමේ ලිපියක් ලැබෙන තෙක් ඔහු බලා සිටියේය. ලැබුණු අස්වීමේ ලිපිය පිළිගත්තේය.

එමගින් ඔහු කියා පෑවේද හේමසිරි ප්‍රනාන්දුව තනතුරෙන් ඉවත් කිරීම සඳහා ඔහුගේ ඇති කැමැත්තය.

පොලිස්පති පූජිත් ජයසුන්දරට තනතුරෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා කීවද ඔහු එය සිදු නොකළේ ඔහුව තනතුරෙන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට නැති නිසාය. අවසන ජනාධිපතිවරයා අතුරු පාරක් සොයා ගොස් පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවුවේය. දැන් පොලිස්පතිවරයා ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

මේ කරුණුවලින් පෙන්වන්නේද කොන්දක් නැති හා දෙබිඩි ජනාධිපතිවරයෙකුගේ භූමිකාවය.

 

''මින්පසු මේ රට පාලනය කරන්නේ මහා පාරේ ඉඳගෙන..''.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාද් බදියුදීන් ආණ්ඩුකාර අසාද් සාලි නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව කටයුතු කළ යුතු බවත් එසේ කිරීමට පැය 24ක කාලයක් ලබාදෙන බවත් නොඑසේනම් දැඩි තීන්දුවක් ගන්නා බවත් රතන හිමි කීවේ මැයි 28 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්ය.

ඊට පෙර දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ගොස් වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි දැමීමට පැමිණි මව්වරුන් හමුවීමෙන් පසු රතන හිමි කීවේ මින්පසු මේ රට පාලනය කරන්නේ මහා පාරේ ඉඳගෙන ඔවුන් බවය. කුරුණෑගල ඩීඅයිජී ව මාරු කළහොත් හෝ අයින් කළ හොත් රටක් ඉතිරි කරන්නේ නැති බවය.

කොහොම කොහොමින් මැයි 27 පටන් ගත් මුස්ලිම් ආණ්ඩුකාරවරුන් හා මුස්ලිම් අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමේ කාලය ලබාදීම හෙවත් පැය 24ක් සීමාව මැයි 29 දිනටත් කල් ගියේය. එදිනද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අද නොවේ හෙට ලෙස පැය 24ක කාලය දීර්ඝ කළේය. මැයි 30 වැනිදා රට කළඹන ඒ ප්‍රවෘත්තිය අසන්නට රාජගිරිය සදහම් සෙවනට පැමිණෙන්නැයි මාධ්‍යයට ඔහු ආරාධනා කළේය.

එදිනද සවස 03නේ සිට වේලාව පැය ගණනින් ඉදිරියට ගියේය. අවසන් පැය 24 කල්දීමේ නාටකය ආරම්භ වූයේ මැයි 31 වැනිදා මහනුවර දළදා මාලිගය අසලින්ය.

එම නාටකය අවසන් කළ අවස්ථාවේදී දින 04ක කාලයක් නොකා නොබී වැතිර සිට රතන හිමි මාරාන්තික යැයි කියූ උපවාසය අවසන් කර ඉතා ශක්ති සම්පන්නව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කර, පසුව ශක්ති හීනවූවකු සේ යලි ගිලන්ව වැතිර රෝහල කරා යෑම සිදුවූයේ කෙසේදැයි අපි ප්‍රශ්න නොකරමු.

 

ප්‍රශ්නය විසඳුනා ද ?

එහෙත් අප ප්‍රශ්න කරන කාරණය වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ට ආධාර අනුබල දුන්නා යන්න නම් ඉහත ආණ්ඩුකාරවරුන්ට හා අමාත්‍යවරයාට ඇති චෝදනාව ඔවුන් එම තනතුරුවලින් අස් කිරීම මගින් එම ප්‍රශ්නය විසඳෙනවාද යන්නය.

පැහැදිළිවම පාස්කු ඉරිදා ප්‍රහාරය අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයකි. එවන් ප්‍රහාරයකට අධාර අනුබල දීම සුළුපටු චෝදනාවක් නොවේ. එය අපරාධ චෝදනාවකි. එවැනි චෝදනාවකට දඩුවම් තනතුරුවලින් ඉල්ලා අස්වීම හෝ අස්කිරීම නම් චෝදනාලාභීන්ට ලැබෙන්නේ දණ්ඩ මුක්තියකි.

මේ ආණ්ඩුකාරවරුන්ට හා අමාත්‍යවරයාට ඇති චෝදනා තවම ඔප්පු නොවූ චෝදනාය. එවන් ශක්තිමත් චෝදනාවක් තිබේ නම් කළ යුතු පළමු කාර්ය වන්නේ පොලීසියේ විමර්ශන අංශයට කරුණු හා සාක්ෂි සහිත ශක්තිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමය. ඒ මගින් අධිකරණ ක්‍රියාමාර්ගයකින් ඔවුන්ට දඩුවම් ලබාදිය හැකි මාර්ගයකට අවතීර්ණ වීමය.

එම මුස්ලිම් දේශපාලඥයන්ට එරෙහිව සාක්ෂි සහිත පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කරන ලෙස පොලිසිය කියන්නේ ඔවුන් තනතුරුවලින් ඉවත්වූ පසුය. එහෙත් පොලිසියේ උවමනාව පරිදිය. දැන් රතන හිමි ඇතුළු මේ දෙශපාලඥයන්ට එරෙහිව කෑමොරදුන් සංඝයාට සාක්ෂි සහිත පැමිණිලි පොලිසියට ඉදිරිපත් කළ හැකිය. දණ්ඩ මුක්තිය නොදී ඔවුන්ව මේ මහා අපරාධයට වරදකරුවන් කළ හැකිය.

රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වූ කලී අතුරලියේ රතන පිටපතේම කාබන් කොපියක්ය. ඒ මගින් උත්සාහ කෙරුනේද ඔහුව තනතුරෙන් ඉවත් කිරීම පමණය. ඔවුන් එල්ලකරන අපරාධ චෝදනාව නීතිය හමුවේ ඔප්පු කර ඔහුට දඩුවම් ලබාදීම නොවේ. අමාත්‍යවරයාට දණ්ඩ මුක්තිය ලබාදීමය.

රතන හිමිත් ඒකාබද්ධ විපක්ෂයෙත් එම බරපතල චෝදනාවලට දණ්ඩ මුක්තිය ලබා දීම නොදැන කරනවා විය හැකිද?

(අනිද්දා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...