The Leader News
BREAKING
Top Ad
Opinion

'නරක මුසල්මානුවකු'ගේ ස්වයං චරිතාපදානය කෙටියෙන් ලිවීම

T

The Leader Desk

June 8, 2019 • 4:28 AM

'නරක මුසල්මානුවකු'ගේ ස්වයං චරිතාපදානය කෙටියෙන් ලිවීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැදී වැඩෙන කාලයේ ඉම්ටියාස් බාකීර් මාකර් මෙන් මම අම්මා සමග සිංහලෙන් කතා නොකළෙමි.
  • පිය ගැට 60ක් නැග ළඟා විය යුතු කඳු පෙදෙසක පිහිටා තිබූ පල්ලියට යාම් ඊම් කරන්නට වෛද්‍ය හේතූන් නිසා සීයාට හැකියාවක් නොතිබිණ.
  • ඒ නිසා සෑම සිකුරාදාවකම, ලියා ඇති ලිපිනයට එම ලිපි ගෙනගොස් භාරදීම සිදුකරන ලද්දේ මා විසිනි.
  • ඔවුන්ගේ ප්‍රති තර්ක ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සීයා බලා සිටියද, කිසි දිනක එවැනි පිළිතුරු ඔහුට නොලැබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉස්ලාමික විද්‍යාර්ථියකු වූ මගේ සීයා පූර්ණ කාලීන සිසුන් 300ක් දෙනකුට ඉස්ලාමීය නීති මීමාංසාවත්, කුරාන අර්ථකථනයනුත් උගැන්වීය. අර්ධ සුෆී පසුබිමක් සහිත මගේ පවුල, හොඳ මුස්ලිමුන් පිළිබඳ පිළිගත් ප්‍රමිතීන්ගේ මට්ටමට නැතැයි මට පෞද්ගලිකව දැනී තිබේ. වහාබි මැදිහත්වීම්වලට එරෙහි සටන් කරනු වස් මගේ සීයා ඔහුගේ ජීවිත කාලයෙන් සෑහෙන පංගුවක් වැය කළේය.

පිය ගැට 60ක් නැග ළඟා විය යුතු කඳු පෙදෙසක පිහිටා තිබූ පල්ලියට යාම් ඊම් කරන්නට වෛද්‍ය හේතූන් නිසා සීයාට හැකියාවක් නොතිබිණ. ඒ නිසා, සෑම සිකුරාදාවකම වහාබි හිතවාදී ඉමාම්වරුවන් විසින් පවත්වන ලද ජූම්මා යාඥා මෙහෙයන්ට පසු ඔහු සිය ප්‍රතිවාදී අදහස් ලිවීමට හුරුව සිටියේය. අප සියල්ලන් එකම ගම්මානයක ජීවත් වූ බැවින්, ඉමාම්වරයාට ලියූ සීයාගේ ලිපි තැපැල් කිරීමේ තේරුමක් නොතිබිණ. ඒ නිසා සෑම සිකුරාදාවකම, ලියා ඇති ලිපිනයට එම ලිපි ගෙනගොස් භාරදීම සිදුකරන ලද්දේ මා විසිනි.

ඒ බොහෝ අවස්ථාවලදී ඒ තක්කඩි ඉමාම්වරුන් මා අතින් එම ලියුම් භාරගත්තේ 'නාකියාට පිස්සු' යැයි මුමුණමිනි. ඔවුන්ගේ ප්‍රති තර්ක ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සීයා බලා සිටියද, කිසි දිනක එවැනි පිළිතුරු ඔහුට නොලැබිණ. නමුත් ඔවුන්ගේ තර්කයන්ට එරෙහිව නනිරන්තරයෙන් ලිවීම ඔහු නොනවත්වාම කළේය. ඒ දවස්වල දේශපාලන ප්‍රචණ්ඩත්වය ගැන කතා කිරීම පවා වහාබිවාදීන් විසින් සිදු නොකළ අතර, පලස්තීන අරගලයට එරෙහි ඔවුහු කතා කළේ පාරිශුද්ධ ඉස්ලාම් දහමක් ගැන පමණි.

නිදහස් මතධාරී අර්ධ සුඛ-පරමවාදියකු වූ මගේ තාත්තා ජීවිතයෙන් වැඩි කාලයක් මාලදිවයිනේ ගෙවූ අතර, අම්මා සමග මා ජීවත්වූයේ සීයාගේ නිවසේ ය. මගේ ළමා කාලය සහමුලින්ම වටව තිබුණේ සීයාගේ නිවසේ රජැයන ලද ආගමික තර්කයන් හා සංස්කෘතික කතාබහෙනි. රාජ්‍ය මූලික රැඩිකල්වාදීන් හෝ උතෝපියාවක් නිර්මාණය කිරීමට සිහින දකින්නන් නොවූ සිය සමකාලීනයන් සමග සීයා කළ අනන්ත විවාදයන් හා සාකච්ඡාවන් මම අසා ඇත්තෙමි.

ඒ වෙනුවට ඔවුන් කල්පනා කළේ සුෆී අර්ථකථනයන්ට අනුකූලව සමාජය ප්‍රතිසංස්කරණය කිරීම ය. (අපේ සමකාලීන සුෆීවාදය අධිපති සංස්ථාවන්ට වින්නඹුකම් කිරීම වෙනම කතාවකි.)

ආචාර ධර්ම හා සදාචාර පිළිවෙත් මට කියාදුන් ඔවුහු ජීවිතයේ කවර හෝ කලක පර පණ නැසීම සැහැල්ලු කටයුත්තකැයි මට කිසි විටක කියා නොදුන්හ.

අප ජීවත්වූයේ මුළුමණින්ම මුස්ලිම් ගම්මානයක නිසා සිංහල හෝ දෙමළ කිසිවකු සමග අපට එතරම් සබඳතා නොතිබිණ. ඒ නිසා බාකීර් මාකර්ට මෙන්, සිංහල සමාජයට ඇති සම්බන්ධය ගැන කියන්නට රස කතා කිසිවක් මට නැත. හොඳ මුසල්මානුවකු පිළිබඳ ඔවුන්ගේ ප්‍රමිතියට ඔබින කිසිවක් නොමැති මා, පුරවැසියකු වශයෙන් මගේ සත්තාවේ යුක්ති යුක්තභාවය තහවුරු කරන්නේ කෙසේද?

හොඳ මුසල්මානුවකු වීමේ නිර්ණායකය ඒ වැනි රස කතා නම්, නරක මුසල්මානුවකු වීමට මම වඩා කැමැත්තෙමි.☐

Mohommed Farhan(මොහොමඩ් ෆර්හාන්)

(උපුටා ගැනීම - jdslanka.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'නරක මුසල්මානුවකු'ගේ ස්වයං චරිතාපදානය කෙටියෙන් ලිවීම | The Leader