The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභයට එන්න බැරිවුනොත් මොකද කරන්නේ ? - නලින් ද සිල්වාගේ විග්‍රහයක්

T

The Leader Desk

June 9, 2019 • 3:08 AM

ගෝඨාභයට එන්න බැරිවුනොත් මොකද කරන්නේ ? - නලින් ද සිල්වාගේ විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය නාවොත් ගෝඨාභයට යම් හේතුවක් නිසා එන්න බැරි වුණොත් ඉදිරිපත් කරන්නේ කවු ද?
  • ඒ පක්‍ෂ අද ඇත්තේ මළවුන් අතර.
  • ඒ විතරක් නොවෙයි ජනතාවටත් ඒ බව දැනුම් දෙන්නත් ඕන.
  • මා මේ බව කියන්නේ කිසිවකු අධෛර්යමත් කිරීමටවත් දුර්මුඛ කිරීමටවත් නො වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශිරන්ති ද, දිනේෂ් ද, ජී එල් ද, චමල් ද වෙනත් අයකු ද? දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, බැසිල් ආදීන් ඒ සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක් ද? කියා මහාචාර්ය නලින් ද සිල්වා විමසීමක් කර සිටියි. ඒ, එම කාරණය සම්බන්ධයෙන් දේශපාලන විග්‍රහයක් ඉදිරිපත් කරමිනි.

ඔහුගේ සමස්ත විග්‍රහය පහත පළවේ.

 

''ජාතික හා වාම කේන්ද්‍ර කඳවුර ජනාධිපතිවරණයට සූදානම් ද? මා මේ ප්‍රශ්නය අසන්නේ ශ්‍රී ල නි ප, පොහොට්ටුව, ම එ පෙ, ජා නි පෙ, පි හෙ උරුමය ආදී පක්‍ෂ කිසිවක් ඒ ගැන පැහැදිලි පිළිතුරක් නොදෙන නිසයි. ල ස ස ප, කො පක්‍ෂය කතා කළත් වැඩක් නැහැ. ඒ පක්‍ෂ අද ඇත්තේ මළවුන් අතර.

ජාතික හා වාම කේන්ද්‍ර කඳවුරේ බොහෝ දෙනා, අඩුම තරමෙන් පහළ මාධ්‍යමික හා ඉන් ඉහළ පංතිවල අය, බලා ඉන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන තෙක්. එසේ වනවා නම් හොඳයි. එහෙත් යම් හේතුවක් නිසා එසේ නොවුවහොත් කරන්නේ කුමක් ද යන්න පිළිබඳ ව යම් අදහසක් ජාතික හා වාම කේන්ද්‍ර කඳවුරට තියෙන්න ඕන. ඒ විතරක් නොවෙයි ජනතාවටත් ඒ බව දැනුම් දෙන්නත් ඕන.

මා මේ බව කියන්නේ කිසිවකු අධෛර්යමත් කිරීමටවත් දුර්මුඛ කිරීමටවත් නො වෙයි. ජනාධිපතිවරණය පැවැත්වීමට තව ඇත්තේ මාස හයක පමණ කාලයක්. ජනාධිපතිවරණය නොපැවැත්වීමටත් ඇතැමුන් කටයුතු කරන්න පුළුවන්. රටේ කලබල ඇති කර අස්ථායි කිරීම් ආදියෙන්.

ඒත් මැතිවරණ කොමිසමට මෙහි දී බලපෑම් කරන්න කිසිවකුටවත් බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම නියම කෙරුණු විධි විධාන හදිසි නීතිය යටතේවත් නැති කරන්න බැහැ. ඒ නැති කරන්න නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන. මැතිවරණ කොමිසම නියමිත කාලයේ ජනාධිපතිවරණය පවත්වන්න ඕන.

ඒ කුමක් වුවත් අද වන විට මෛත්‍රිපාල මහින්දට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කරලා. මහින්දට කිසිම ආධාරයක් නොකරන බව ඔහු කියා තිබෙනවා. ඒ කියන්නේ මහින්දගේ අනුග්‍රහය ලබන කිසිම අපේක්‍ෂකයකුටවත් මෛත්‍රිපාල ආධාර නොකරන බවයි. ඔහු සමග සිටින කිහිප දෙනකුත් ඒ ස්ථාවරය ගනීවි.

එහෙත් එය විශාල බලවේගයක් නම් නො වෙයි. ඒ වුණත් මේ සියල්ල ඔක්තෝම්බර් විසිහය පොරොන්දු ඉටු නොවීමත් ඒ ආණ්ඩුව රැක ගැනීමට අවශ්‍ය දේ නොකිරීමත් නිසා සිදු වූ දේ. මෛත්‍රිපාල බලා සිටියේ ඔහු ජනාධිපති අපේක්‍ෂක කරන තුරු. එය ඉටු නොවන බව ඔහු දන්නවා. ඔහුට මහින්දගේ ආධාරයක් නැතිව ජනාධිපතිවරණයක් දිනන්නත් බැහැ. එසේ ම ඔහු රනිල්ටත් විරුද්ධයි. ඒ පසුබිමේ ඔහු සජිත් ප්‍රේමදාසට කිට්ටු වෙනවා.

එහෙත් සජිත්ට එ ජා පක්‍ෂයේ වැඩි කැමැත්තක් ලැබේවි ද යන්න ප්‍රශ්නයක්. ඔහු රාජකීය විදුහලේ ටික කලක් ඉගෙන පසුව එංගලන්තයේ පබ්ලික් ස්කුල් නමින් හැඳින්වෙන ප්‍රභූ පාසලක ඉගෙන ගත්තත් එවැනි පසුබිමක් ඇති මහා බැංකු අධිපති කුමාරස්වාමි සමග සැසඳීමේ දී ඔහු එ ජා ප නායකත්වයට නුසුදුසු බව පෙනී යනවා.

ඔහුගේ පියා එ ජා ප නායකත්වයට පත් වූයේ ප්‍රේමදාස පෞරුෂය හේතුකොටගෙන. ඒ පෞරුෂය පුතාටවත් පිහිටවන්නේ නැහැ. බොහෝ විට එ ජා ප අපේක්‍ෂකයා රනිල් වෙන්න පුළුවන්. එසේ නොවන්නේ නම් ඒ රනිල්ගේ අභිමතාර්ථය නිසා සිදුවන්නක්. මෛත්‍රිපාල සජිත්ට ආධාර කිරීමෙන් කරන්නේ දේශපාලනයෙන් සමු ගැනීමක්.

අප රටේ දේශපාලනය සාමාන්‍යයෙන් ප්‍රතිපත්තිවලට වඩා පෞද්ගලික සම්බන්ධකම් මත පදනම් වන්නක්. ගමේත් නගරයේත් ඒ එසේමයි. එහෙත් අද ජනතාව මේ දේශපාලනයෙන් හෙම්බත් වෙලා. ඔවුන් වෙනත් මගක් බලනවා. එහෙත් පක්‍ෂ නායකයන් තවමත් අර පෞද්ගලික සම්බන්ධතා මත ක්‍රියාත්මක වන දේශපාලනයක නිරත වෙනවා.

ගෝඨාභය නාවොත් ගෝඨාභයට යම් හේතුවක් නිසා එන්න බැරි වුණොත් ඉදිරිපත් කරන්නේ කවු ද? ශිරන්ති ද, දිනේෂ් ද, ජී එල් ද, චමල් ද වෙනත් අයකු ද? දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, බැසිල් ආදීන් ඒ සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක් ද?

 

සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට :

රනිල්ගේ අපේක්‍ෂකත්වයට විරුද්ධව ගෝඨාභය ඉදිරිපත් වුවත් වෙනත් අයකු ඉදිරිපත් වුවත් ඔහු හෝ ඇය හෝ සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම යන තේමාව යටතේ තම ජනාධිපතිවරණ ව්‍යාපාරය ගෙන ගිය යුතුයි. අද දෙවැනි පනස්හයක ලක්‍ෂණ මතු වී තිබෙනවා. එදා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ප්‍රධාන සටන් පාඨය වුණා.

ඇතැමුන් කියන්න පුළුවන් සියළු ප්‍රශ්න ඇති වුණේ ඒ සටන් පාඨය නිසා කියා. ඔවුන් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය නොදන්නා අය. අඩු තරමෙන් තිස් ගණන්වල ඊළාම් සංකල්පය ගෙනා සුන්දරලිංගම් ගැනවත් දෙමළ කතා කරන ජනයා සිංහලයන්ගෙන් නිදහස ලබා ගත යුතු යැයි 1947 දී කී නාගනාදන් ගැනවත් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවන ලද බවවත් නොදන්නා අය.

ඒ ටිකත් 1956ට පෙර සිදු වූ දේ. තවත් බොහෝ දේ ඊට පෙර සිදු වුණා. ඒ දැන ගැනීමට අවශ්‍ය නම් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත් පිංච කියවන්න. එහෙත් ලිපියක් නොකියවන සිංහලයන් කුඩා පොතක් කියවාවි කියා සිතන්න බැහැ.

අද සිංහල බෞද්ධයන් බහුතරය මෙන් ම සිංහල කතෝලික බහුතරය ද බොහෝ හින්දුන් ද ඇතැම් මුස්ලිමුන් ද මෙරට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නවා. මංගල වැනි සිංහල බෞද්ධත්වයේ මිනියට ඇන්දවීමට බලාපොරොත්තුවන ඇඳුමේ ඇඳුම් කටර්ලා කියන දේ පා දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ. මට පේන විධියට ඔහු පත්තනික්කුංජනය ඉල්ලනවා.

සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම කියන එක අහසේ ඇති සටන් පාඨයක් නො වෙයි. එය අද පොළොවේ ක්‍රියාත්මක වන්නක්. ගෝඨාභය තරග කළත් වෙනත් අයකු තරග කළත් කඳවුරේ තේමා පාඨය විය යුත්තේ එයයි. අවාසනාවකට මේ අදහස්වලට ජඩමාධ්‍යයෙහි ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ.

(මහාචාර්ය නලින් ද සිල්වා - lankaleadnews.com)

 

සබැඳි පුවත් :

ජනාධිපතිවරණය : පොහොට්ටුවෙන් ගෝඨා නොවේ, බැසිල් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...