The Leader News
BREAKING
Top Ad
Opinion

නූතනත්වය හා ගෝලීය මුස්ලිම් දේශපාලනය - නිර්මාල් රන්ජිත්

T

The Leader Desk

June 9, 2019 • 3:09 AM

නූතනත්වය හා ගෝලීය මුස්ලිම් දේශපාලනය - නිර්මාල් රන්ජිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවමත් නූතනත්වයේ සීමාව ලකුණු කරනු ලබන්නේ ගෝලීය මුස්ලිම් සංස්ථාපිතය විසිනි.
  • ඇත්තවශයෙන්ම මෙම ඒකීයත්වය නිර්මාණය කර තිබෙන්නේ නූතනත්වය සමග ඇති සියුම් ආතතිය හරහාමය.
  • මුස්ලිම් ලෝකය හා නූතනත්වය අතර ඇති ආතතියේ මූලික අංගයක් වන්නේ නූතනත්වය විසින් දියත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය හා මුස්ලිම් ලෝකයේ අධිපති දේශපාලන ප්‍රවණතා අතර ඇති දුරස්ථතාවයයි.
  • ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා වූ ප්‍රවණතා මුස්ලිම් ලෝකය තුළ දක්නට ලැබෙන්නේ වූ නමුදු, සාම්ප්‍රදායික මුස්ලිම් දේශපාලනය හා නවීනත්වය අතර ඇති ආතතිය මුළුමනින්ම සමනය කර ගැනීමට මේ ප්‍රවණතාවට තවම හැකි වී නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

මුස්ලිම් ලෝකය එකක් ලෙස සැලකීමට විරුද්ධව විරෝධ එල්ලවීමට ඉඩ තිබුණත් සෙසු ආගමික සංස්ථාපිතයන් අතර නොමැති ආගමික ඒකත්වයක් ඉස්ලාමය තුල ඇති බව පෙනී යයි. ඇත්තවශයෙන්ම මෙම ඒකීයත්වය නිර්මාණය කර තිබෙන්නේ නූතනත්වය සමග ඇති සියුම් ආතතිය හරහාමය.

මීට පෙරද සාකච්ඡා කළ ආකරයට ‌‌ඓතිහාසික වශයෙන් බටහිර ලෝකය හා මුස්ලිම් ලෝකය එකිනෙකා හා අභිමුඛ වූ ආකාරය ඒ සමග කිට්ටුවෙන් බැඳී පවතී.

මුස්ලිම් ලෝකය හා නූතනත්වය අතර ඇති ආතතියේ මූලික අංගයක් වන්නේ නූතනත්වය විසින් දියත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය හා මුස්ලිම් ලෝකයේ අධිපති දේශපාලන ප්‍රවණතා අතර ඇති දුරස්ථතාවයයි.

ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා වූ ප්‍රවණතා මුස්ලිම් ලෝකය තුළ දක්නට ලැබෙන්නේ වූ නමුදු, සාම්ප්‍රදායික මුස්ලිම් දේශපාලනය හා නවීනත්වය අතර ඇති ආතතිය මුළුමනින්ම සමනය කර ගැනීමට මේ ප්‍රවණතාවට තවම හැකි වී නැත.

අප දේශපාලන ක්‍රම පිළිබඳ ලෝක සිතියම දෙස බලමු. වර්තමාන ගෝලීය භූ දේශපාලන සිතියම සකස් වී ඇත්තේ, සාමාන්‍ය වශයෙන් ලෝක මට්ටමෙන් සම්මත වී ඇති, ස්ථීර භූමි ප්‍රදේශය මත පදනම් වූ ස්වෛරී යැයි සම්මත සම්මත දේශපාලන ඒකක රැසකිනි.

මේ ලෝක දේශපාලන පද්ධතිය විකාශය වීම විවිධ ‌ෙඑතිහාසික සංසිද්ධීන් සමග සම්බන්ධ කොට තේරුම් ගැනීමට පුළුවන් වුවද එහි ලා ඉතාම වැදගත් වන ‌ෙඑතිහාසික සංසිද්ධියක් වන්නේ 1648 දී යුරෝපයේ තිස් අවුරුදු යුද්ධයෙන් පසුව ඇති කර ගැණුනු වෙස්ටිෆෙලියා ගිවිසුමෙන් එකිනෙක භූ දේශලපාලන ඒකකවල භූ සීමාවන්ට ගරු කිරීමට එකඟත්වයක් ඇති විම හා එය ප්‍රමුඛ දේශපාලන ප්‍රතිමානයක් බවට පත් විමයි.

ඉන් පසුව ප්‍රංශ විප්ලවය මගින් මතු පිටට ගෙන එනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ( එනම් ජනතාව රාජ්‍යයේ පදනමය යන අදහස - 'ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යන ජනතාවගේ ආණ්ඩුව' යන ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රකට සඳහන මතක්කර ගන්න) මගින් මේ භූ දේශපාලනය ඒකකයේ අභ්‍යන්තරය ප්‍රතිව්‍යූහගත කරන ලදී.

අප වර්ථමානයේ දන්නා ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය මත පදනම් වූ නවින ජාතික රාජ්‍ය බිහිවන්නේ ඒ අනුවයි. මේ රාජ්‍ය සැකසීම බිහිවී, විවිධ ආකාරවලින්, විශේෂයෙන්ම බටහිර යටත් විජිතවාදය හරහා, ලෝකය පුරා ව්‍යාප්ත වී පැවති අධිපති දේශපාලන සංවිධාන මාදිලිය වූ රජාණ්ඩු ක්‍රමය ( Monarchical system ) ක්‍රමානුකූල ලෙස දියවී යාමයි.

බොහෝ යුරෝපීය හා ආසියානු රටවල ආයතනයක් ලෙස රජ්‍යත්වය තවමත් ශේෂ වී පවතින්නේ වුවද ඒතරම් බල රහිත, හා ජනතා පරමාදිපත්‍ය ව්‍යූහයට බලපෑම් කිරීමට නොහැකි ආකාරයකිනි.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යාප්තවී සරල රේඛීය ක්‍රියාදාමයක් වූයේ නැත. මේ ක්‍රියාදාමයට සමාන්තරව විවිධ වර්ගයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම ඇති වීම දක්නට ලැබේ. ෆැසිස්ට් තන්ත්‍ර ඇතුළු විවිධ ආකාරයේ කතිපයාධිකාරයන්, හමුදා ජුන්ටාවන් මෙන්ම කොමියුනිස්ට් මාදිලියේ පක්ෂ යන්ත්‍ර මේ වර්ගයට අයත් වේ.

කෙසේ වෙතත් මේ සියලු වර්ගයේ දේශපාලන ක්‍රමවලට අදාළ සමාජවල දීර්ඝකාලීන පැවැත්මක් සාක්ශාත් කර ගැනීමට නොහැකි වී ඇත. යම් තරමකට සාර්ථක වූයේ කොමියුනිස්ට පක්ෂ තන්ත්‍ර මාදිලිය පමණි. චීනය තුළ මේ ක්‍රමය තරමක් සාර්ථකව තවමත් පැවැතියද එය පවතින්නේද ප්‍රමාණාත්මක වශයෙන් අති විශාල වූ කොමියුනිස්ට් පක්ෂය හරහා කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරයක් පවත්වාගෙන යමිනි.

මැදපෙරදිග මුස්ලිම් ලෝකයේ දක්නට ලැබෙන ප්‍රජාත්නත්‍රවාදී නොවන පාලන තන්ත්‍ර ‌ෙඑතිහාසික වශයෙන් ස්ථානගත කළ යුත්තේ මේ සංදර්භය තුළයි. මේ මුස්ලිම් පාලන තන්ත්‍ර ඉහත සඳහන් කළ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලන තන්ත්‍ර සමග සන්සන්දනය කළහොත් අපට පෙනී යන්නේ මුස්ලිම් පාලන තන්ත්‍රයන්හී ‌ෙඑතිහාසික හා දේශපාලන යුක්තියුක්තභාවය මෙන්ම ඒවායේ දිශානතිය ද සෙසු ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලන තන්ත්‍රවලින් සපුරාම වෙනස් බවයි.

මුස්ලිම් ලෝකයේ දක්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලන තන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ ඉස්ලාම් ආගමික දෘෂ්ටිවාදී ආවරණයක් යටතේ වන අතර ඒ පූර්ව නූතන රාජාණ්ඩු දේශපාලන ක්‍රමවල දිගුවක් ලෙස සැලකිය හැක. මෑතකාලීන දේශපාලන අත්දැකීම් පවා කියා පාන්නේ ඒවායේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනය ෆැසිස්ට් හෝ කොමියුනිස් පාලනතන්ත්‍ර පැවති සමාජවල ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයන්ට වඩා දුෂ්කර බවයි.

ඇත්තවශයෙන්ම මේ වන විට මැදපෙරදිග මුස්ලිම් ලෝකයේ දේශපාලන පරිවර්තනය පිළිබඳ ගැටළුව සමස්ථ ලෝකයටම බලපාන ගැටළුවක් බවට පත්වී තිබේ. එයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ ඉස්ලාම් ආගම සහ මේ සමාජවල දේශපාලන තලය අතර පවතින්නා වූ සුවිශේෂී කිට්ටු සම්බන්ධතාවයකි.

සාමාන්‍යයෙන් සෙසු ප්‍රධාන ලෝක ආගම් දේශපාලනය හා ආගම අතර පැවතිය යුතු දුර පිළිබඳ ප්‍රශ්නය යම් ආකාරයකට නිරාකරණය කරගනිමින් තිබේ. බොහෝ සමාජවල ආගමික අන්තවාදයන් යැයි හඳුන්වන ව්‍යාපාරවල නැගීම නිසා ඇතැම් සමාජවල මේ සම්බන්ධයෙන් ඇති වී තිබූ ප්‍රායෝගික සමතුලනයන් තරමක් පළුදුවී තිබෙන්නේ වී නමුදු, මැදපෙරදිග කලාපයේ පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඉස්ලාම් පාලන ක්‍රම තරම්ම එම ගැටළු සංකීර්ණ නොවේ.

 (නිර්මාල් රංජිත් දේවසිරි - 'අනිද්දා' පුවත්පතින් උපුටා ගැනිණ )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...