අවුකන පිළිමයට සිවුරු පෙරවීමේ සිට බුදු දහම කණපිට ගැසීම තෙක් විහිදුණු අන්ධ විශ්වාස ජාලයේ ගමනාන්තය බිහිසුණු ය


අඩි තිස් අටකුත් අඟල් දහයක උසින් යුතු ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවේ බඳ කොටස කහ පැහැති රෙදි කඩකින් වසා දැනීමේ නරුම ක්‍රියාවක් සම්බන්ධ සමාජමය ආන්දෝලනයක් හට ගෙන තිබේ. මෙම ක්‍රියාව කවුරුන් විසින් කුමන අරමුණක් පෙරදැරි කර ගනිමින් සිදු කරන ලද්දක් දැයි මෙතෙක් අප හමුවේ අනාවරණය වි නොමැත. නමුදු මෙය දාගබ් වටා සිවුරු හා බෞද්ධ කොඩි එතීමේ ක්‍රියාවේම දිගුවක් බව පැහැදිලි ය.

360 F 420316554 cHP4jd9Spkz3XVrjUXMKjhBf1zBVKKjmපුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ භාරකාරත්වය යටතේ පවතින අවුකන බුද්ධ ප්‍රතිමාව පෙරදිග ආධ්‍යාත්මික ලක්ෂණ වල කදිම සංකේත නිරූපණයක් බව බටහිර විද්වතුන් ගේ පවා පොදු වැටහීම ය. එමෙන්ම ගල් කුලක් පදනම් කර ගනිමින් නිමවා ඇති එම උත්තුංග කලා නිර්මාණයේ සෑම අංගයක් කෙරෙහිම දෙස් විදෙස් ජනයාගේ සුවිශේෂ අවධානය යොමුව ඇති බව පැහැදිලි සත්‍යයකි. එහි දී එම ප්‍රතිමාවේ චීවරය කෙරෙන් දක්නට ලැබෙන විශේෂිත ස්නිග්ධ ලක්ෂණ කෙරෙහි ලෝ ප්‍රකට විචාරකයන් කිහිප දෙනකු පවා අදහස් දක්වා තිබේ. 

එවන් තත්වයක් යටතේ එය කහ පැහැති රෙදි කඩකින් වසා දැමීම වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජය ආකල්ප අතින් කෙතරම් ජරා ජීර්ණව ඇත් ද යන්නට කදිම නිදසුනකි.

405774792 673996181533317 3499710470696602148 n

මේ සංචාරක සමයයි. අප රටට පැමිණෙන විදෙස් සංචාරකයන් ගෙන් වැඩි දෙනකු මෙම විස්මයාර්හ කලා නිර්මාණය දැක ගැනීමට ද පැමිණෙන බව රහසක් නොවේ. එවන් තත්වයක් යටතේ තමන් සේයා රූ වලින් දැක ඇති මෙම බුද්ධ ප්‍රතිමාවේ සැබෑ ස්වරූපය මෙලෙස රෙදි කඩකින් වසා තිබෙනු දකින ඔවුන් කුමකින් කුමක් සිතනු ඇත්ද?

සාමාන්‍යයෙන් ගිහි-පැවිදි සියළුම දෙනා සිරුරේ සළු පිළි දැවටීමෙන් අපේක්ෂා කරන පළමු කාරිය වනුයේ විළි වසා ගැනීම ය. ඒ අනුව මෙය සංවිධානය කළ පිරිස බුදුන් නිර්වස්ත්‍රව වැඩ හිඳින බවක් සළකා මෙම කහ රෙදි පැළඳවීම කරන ලද්දේ දැයි අපි නොදනිමු. නමුත් මෙකී නොකී සියළු ආගමික විෂමාචාරයන් ගෙන් පැහැදිලිව පෙනෙන එක් දෙයක් තිබේ. එනම් මෙය සිදු කළවුන් ඒකාන්තයෙන්ම ආධ්‍යාත්මික නිර්වස්ත්‍ර භාවයෙන් යුතු වූවන් බවකි.

වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජය අතීතයට සාපේක්ෂව මෙවන් බහු විධ ආගමික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්නට ලැබීම පැහැදිලිව දැක ගත හැකි සංසිද්ධියකි. මතුපිටින් බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධයක් හෝ ශාසනික පුනර්ජීවනයක් ලෙස යමකුට අර්ථ කථනය කළ හැකි මෙය සමාජ සහ මානව විද්‍යාත්මක දුෂ්ඨීන්ට අනුව ඊට වඩා සියුම් ලෙස විග්‍රහ කළ යුතු වේ. එයට ප්‍රධාන හේතුවක් වනුයේ ඉහත සඳහන් ආගමික ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව වත්මන් සමාජයේ සදාචාරාත්මක ප්‍රවර්ධනයක් කෙසේ වත් සිදු නොවන බව අතිශයින් පැහැදිලිව දැක ගත හැකි වීම ය. ඇත්ත ඇති සැටියෙන් කතා කළ හොත් අතීතයට සාපේක්ෂව වත්මන් සමාජය තුළ සාපරාධී ක්‍රියාවන් සේම වංචා දූෂණ අක්‍රමිකතා ඇතුළු නීති සහ සදාචාර විරෝධී ක්‍රියා විවිධාංගීකරණ ස්වරූපයෙන් ප්‍රවර්ධය වීමේ වැඩි නැඹුරුවක් පවතී.

 66482838 buddhist rally getty
තත්වය එසේ වුවද ඉහත සඳහන් ආගමික විෂමාචාර වල යෙදෙන්නවුන් සහ සාපරාධී ක්‍රියාවන්හි යෙදෙන්නවුන් එකම සමාජ කුලකයකට අයත් නොවන බවට යමකුට තර්ක කළ හැක. නමුදු එම සංසිද්ධීන් දෙක එකි’නෙකට කේවල, හුදකලා, ක්‍රියාවන්සේ සැලකීමට ද නොපුළුවන. ඊට හේතුව හුදෙක් ලෞකික ලාභාපේක්ෂාවන් අරමුණු කර ගත් ඉහත සඳහන් ආගමික ක්‍රියාවන් මගින් සදාචාර ප්‍රවර්ධනයට ඇති ඉඩකඩ මුළුමනිනම පාහේ ඇහිරී යාම ය.

ලොව බොහෝ ආගම්වල දැකිය හැකි පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ වර්ගීකරණය කළ හැක. ශාස්තෘ දේශනාව, ඉන් මතුවන දර්ශනය, ඉන් පිළිබිඹු වන සදාචාර මාර්ගය ඒ අතුරින් ප්‍රධාන කොටස ය. ආගමක් සම්බන්ධ ද්විතීයික කොටස් වනුයේ පූජා චාරිත්‍ර සහ ස්වේතාභිචාර හෙවත් ශාන්ති කර්මයන් ය. මේ වන විට අප සමාජය තුළ දක්නට ලැබෙන බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධය වශයෙන් දක්නට ලැබෙන සංසිද්ධීන් මෙහි ද්විතීයික කොටසට අයත් බව ඉතා පැහැදිලිවම පෙනෙනු ඇත. බුද්ධ දේශනාව, ඉන් මතුවන දර්ශනය, ඉන් පිළිබිඹු වන සදාචාර මාර්ගය ඉවත දැමෙන ආශීර්වාද පූජා, අධිෂ්ඨාන පූජා ආදී වශයෙන් මහා පරිමානයෙන් සිදු කෙරෙන ස්වේතාභිචාර හෙවත් ශාන්ති කර්ම ඒ සඳහා වන කදිම නිදසුන් ය.

1 copy scaled
විසි වන සියවසේ සිව් වන කාර්තුවේ සිට අප රටේ ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකය මත මධ්‍යම පාන්තික සමාජය පුළුල් ලෙස විස්තාරණය වෙමින් තිබේ. අතීතයේ පැවැති ග්‍රාමීය, නාගරික භේදය සේම සමාජය තුළ පවත්නා ආදායම් විෂමතා මට්ටම් අන් කවරදාවක වත් නොමැති ලෙස විචල්‍ය හා සංකීර්ණ බවකට පත් ව තිබේ. අප සමාජයේ වැදගත් යැයි සම්මත වෘත්තිකයකු ලබන මාසික වැටුප එක් දිනයක් තුළ පවා ඉපදවිය හැකි නොවිධිමත් ආදායම් ලාභී පැලැන්තියක් අප සමාජය තුළ දක්නට ලැබේ. නාගරික ගම්බද භේදයකින් තොරව මේ මුළු පැලැන්තිය තුළින්ම මධ්‍යම පන්තිය ලෙස හැඳින්වීමට අවශ්‍ය සමාජමය සාධක ඉස්මතු වී පෙනෙයි. බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධය හෝ ශාසනික පුනර්ජීවනය වශයෙන් යමකුට අර්ථ දැක්විය හැකි සමාජමය සංසිද්ධිය මුළුමනින්ම පාහේ දක්නට ලැබෙනුයේ මෙම සමාජ තලය වෙතිනි.

සාම්ප්‍රදායික සරල, චාම් කෘෂිකාර්මික සමාජ තලයක් තුළින් මතු වූ මෙම නව සමාජ පැලැන්තිය තුළ පවත්නා පුරුෂාර්ථ අතරේ නවතාවයට ( Novelty ) හිමි වනුයේ මුල් තැනකි. තමන් ගේ පාරම්පරික සමාජ ආර්ථිකයේ අක් මුල් සිඳ ගැනීම සිය ලෞකික ජීවිත සම්බන්ධ විජයග්‍රහණයේ මාවතක් සේ සිතන ඔව්හු තම ජීවිතවල සෑම අංගයකින්ම මෙම නවතාවය අපේක්ෂා කරති.

ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගේ දොර, වාහන ඇතුළු භෞතිකමය උපයෝග-පරිභෝග සම්පත් වලින් මෙම නවතාවය අපේක්ෂා කරන බොහෝ දෙනා ආධ්‍යාත්මික කටයුතු වලදී ද එය එපරිද්දෙන්ම ප්‍රාර්ථනා කරනු පෙනේ. සැබැවින්ම මෙය වත්මන් සමාජය තුළ පවත්නා සමාජමය අවශ්‍යතාවක් මත පැන නැඟුණු පරිභෝජනවාදී ඉල්ලුමකි.

406039520 673996264866642 8019694651451950830 nඑනිසාම අප සමාජයේ සාම්ප්‍රදායික බුදු සමය තුළින් ද එවැනි නවතාවයන් හුවා දක්වමින් එම සමාජය තමන් කෙරෙහි නතු කර ගැනීමට සමත් භික්ෂු පැලැන්තියක් ද මේ වන විට බිහිව සිටිති. මූලික බුදු සමයේ එන ඇතැම් ඉගැන්වීම් තුළම මූලික ධර්මය විනයට එරෙහි අත්තනෝමතික අර්ථ කථන දෙමින් එය සැබෑ බුදු දහම ලෙස හඟවමින් සමාජය තමන් කෙරෙහි යොමු කර ගන්නා මෙම ජනකාන්ත භික්ෂු ප්‍රජාව වර්තමානය තුළ ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක් වෙමින් සිටිති. පොදු සමාජය තුළ අති මහත් විස්මයක් දනවන ඉගැන්වීම් සහ මහා පරිමාන පුද පූජා සංවිධානය කරන්නෝ ද ඔව්හුම ය. එහෙත් මේවා හුදෙක් එම භික්ෂුන්ගේ හුදු කේවල ක්‍රියාකාරකම් වලට වඩා ඔවුන් දෙස් විදෙස් ගිහියන් ගේ ආධාර උපකාර සහ අනුග්‍රහයන් මත සංවිධානාත්මකව සිදු කරන ඒවා බවට පිළිගත හැකි සාක්ෂි මේ වන විට ඉස්මතු වෙමින් තිබේ. ඔවුන් වටා නිරන්තරයෙන් ගොනු වන්නාවු අති මහත් ධනස්කන්ධයන් මේ සඳහා වන ද්‍රශ්‍යමාන සාක්ෂියකි.

buddhists monks in colombo sri lanka 1280x720

නූතන ජනකාන්ත බුදු සමය තුළ විශේෂයෙන් කැපී පෙනෙන මෙම භික්ෂුන් ධර්ම විනය සම්බන්ධ එකි’නෙකට වෙනස් මති මතාන්තර දැරීම සහ විවිධ පුද පූජා සංවිධානය කිරීම නිසා ඔවුන් අතරේ අසමඟිකම් පැවතීම සේම එකි’නෙකා අතරේ ඇනුම් බැනුම් නින්දා අපහාස ආදිය හුවමාරු වන බව ද ප්‍රසිද්ධ රහසකි. එකම ධර්ම විනය සම්ප්‍රදායක් පිළිගන්නා සහ අනුගමනය කරන භික්ෂුන් දෙදෙනකු අතරේ මෙවන් ගැටුම් අර්බුද ඇති වීම පිළිබඳව මැදහත්ව සිතන්නකු හට ඉතා හොඳින් වැටහෙන කරුණක් තිබේ. එනම් ඔවුන් අතරේ ව්‍යාපාරික ජාවාරම් තරඟයක් පවතින බව ය. ඒ අතර මෙම ශාසනික අර්බුදය, ඛේදවාචකය හමුවේ නිරන්තරයෙන් මුණිවත රකින බහුතර ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව පිටුදකින මෙම සමාජමය පැළැන්තිය ද එක් එක් ජනකාන්ත භික්ෂුව විසින් තනා ගත් කඳවුරු තුළට ගාල්වනු දක්නට ලැබේ. මෙය සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රයන් හි නියුක්ත වූවන් ඇතුළු වත්මන් සමාජයේ බොහෝ විද්වතුන් ගේ මෙතෙක් අවධානයට ලක් නොවූ එහෙත් සංතීක්ෂණ අවධානයට යොමු විය යුතු බැරෑරුම් අර්බුදකාරී තත්වයකි. 

මෙලෙස වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ යම් යම් කොටස් එක් එක් ආගමික කඳවුරු වලට ගාල් වීමෙන් සාමයික සහජීවනය සුණු විසුණු කරන ආගමික කල්ලි (Cult) නමින් හඳුන්වන ප්‍රජා ඒකක හට ගැනීමේ පැහැදිලි අවදානමක් පැන නගී. එහි දී බුදු දහමේ මූලික හරයන් සම්බන්ධ අනවබෝධය ඔස්සේ එම භික්ෂුව ගේ මතවාද සහ ප්‍රකාශ පමණක් නියම දහම ලෙස පිළිගන්නා අන්ධ භක්තිකයෝ එම කල්ලිවාදයට නතුව එම භික්ෂුවට අනියමින් ශාස්තෘත්වයක් ද ප්‍රදානය කරනු දක්නට ලැබේ. එමෙන්ම ඔහුගේ මතවාද සහ ප්‍රකාශ පමණක් සත්‍ය වශයෙන් පිළිගන්නා එම අනුගාමිකයෝ එම භික්ෂුව සහ ඔහුගේ අතවැසි භික්ෂුන් සමඟ මිස පිටස්තර භික්ෂුන් සමඟ පවත්නා සියලු සහ සම්බන්ධතා අතහැරීම ද පෙළඹෙති.

මේ වන විට මෙම තත්වය අප සමාජය තුළ කොතෙක් ඔඩු දුවා තිබේද? යත් මේ වන විට එලෙස එක් එක් භික්ෂුන්ගේ ආගමික කල්ලි තුළම ගාල් වීම මත ඉන් බැහැර වූ බුදු සමයක් දැකීමට නොහැකි වූවන් ඔබට ද හමු වී තිබෙන්නට පුළුවන. මෙවැනි ආගමික කල්ලි පිහිටුවා ගන්නා ලොව පුරා බොහෝ ආගමික නායකයෝ මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත හදාරා නොමැති මුත් මානසික වශයෙන් තම අනුගාමිකයන් තමන් කෙරෙහි ආශක්ත කර ගැනීමේ කලාව සහජයෙන්ම දැන ඉගෙන සිටිති. ඒ අතරේ මානසික හා පෞරුෂ විෂමතා වලින් පෙළෙන්නෝ ද වෙති. අප සමාජයේ වෙසෙන ඉහත ගණයට අයත් ජනකාන්ත භික්ෂුන් අතරේ ද එවැන්නවුන් හිඳින බවට සහේතුකව අනුමාන කිරීමට අපට පුළුවන. එසේ ඔවුන් තම අනුගාමිකයන් තමන් කෙරෙහි කෙතරම් දැඩිව ආකර්ශනය කර ගන්නේ ද යත් එම තමන් දක්වන මතයට එරෙහි වන්නවුන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පවා එම අනුගාමිකයන් පෙළඹෙනු ඇත. මෙය ලොව පුරා ආගමික කල්ලි තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. 

pb 110615 poson buddhism 01.photoblog900 1200x550
එමෙන්ම මෙම බොහෝ ආගමික කල්ලි තුළ ඒවාට පමණක් පොදු වූ ආවේණික ව්‍යවහාරයන්, චාරිත්‍ර වාරිත්‍ර සේම සන්නාමකරණ ප්‍රවර්ධනයන් (Brand promotion ) ද නොමඳව සිදු වනු දක්නට පුළුවන. එමෙන්ම මූලික බුදු සමයෙන් අනියමින් උකහා ගැනුණු ඇතැම් කොටස් මුල් කොට තම අනුගාමිකයන් ව්‍යුහගත කිරීම ඔස්සේ මෙම කණ්ඩායම් ලොව පුරා සමාජයට දැඩි අනර්ථයක් සිදු කෙරෙන මූලධර්මවාදී කල්ලි ( Fundamentalist cult ) ලෙස ප්‍රවර්ධනය වීමේ හැකියාවක් ද පවතී.

මීට පෙර ශ්‍රී ලාංකේය සම්මත ශාසනික ව්‍යුහයන්ගෙන් වියුක්තව ප්‍රවර්ධනය වූ විනයවර්ධන, තාපස නිකාය ආදී වශයෙන් හැඳින්වුණු ආගමික කණ්ඩායම් වලින් පොදු සමාජයට සැලකිය යුතු අහිතකර බලපෑමක් නොවුණ ද වර්තමානයේ ජනකාන්ත බුදු සමය තුළින් කුළුගැන්වෙන ආගමික කල්ලි වැටී ඇති දිශානතියේ ගමනාන්තය අප බොහෝ දෙනකු සිතනවාට වඩා ඉතා අඳුරු සහ අභාග්‍ය සම්පන්න සමාජ ඛේදවාචකයකින් නිමාවීමට ඉඩ තිබේ. ඒ අතීතයට සාපේක්ෂව මේ වන විට ප්‍රවර්ධනය වන ගෝලීය තත්වයන් හමුවේ ඒවා තුළින් ශ්‍රී ලාංකේය ජන සමාජයට ඉතා බිහිසුණු බලපෑම් කිරීමට බාහිර බලවේග වලට ඉඩ කඩ ලැබෙන බැවිනි. එමෙන්ම ආගමික කල්ලිවාදී භික්ෂූන්ගේ සංවිධාන ව්‍යුහයන් තුළින් මේ වන විටත් එවන් තත්වයක් හට නොගෙන ඇතැයි සහතික වීමට ද අපට කෙසේවත් නොපුළුවන.

z PraneethAbayasundara(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 

(උපුටා ගැනීම - vinivida.lk)


Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්