බොහෝ සමාජීය හා සංස්කෘතික සමානකම් තිබුණත් අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විශාල වෙනස්කම් තියෙනවා.
රටක් වශයෙන් ජනතාව එකට එකතු වීමත්, ඉතා දිගුකාලීන ඉලක්ක වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කිරීමත් ඉන් එකක්.
ඒ ගුණය අසල්වැසි ඉන්දියාව ඉතා හොඳින් ප්‍රගුණ කළ එකක්.
නමුත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව සහ ලාංකිකයන් දිගුකාලීන ඉලක්ක වෙනුවෙන් ඉවසීමෙන්, උපක්‍රමශීලිව කටයුතු කිරීමට දුර්වලයි.
අප ඉතා ලඟ, කෙටි ඉලක්ක වලින් සෑහිමකට පත්වන ප්‍රජාවක්. අප ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වන රටක්.
නමුත් එක් රැයකින් ගොඩනැගුණු රටක් ලෝකයේ නෑ. ඒ සඳහා අපරිමිත කැපවීමකින් දිගුකාලීනව වැඩ කළ යුතුයි.
එමෙන්ම දේශප්‍රේමීත්වයෙන් ද ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා වෙනස්.
සිය රට සම්බන්ධ ඕනෑම කරුණක දී ඉන්දියානුවන් ආගම්, ජාතිභේද, දේශපාලනික ගැටලු අතහැර එකට එක්වෙනවා.
විපක්ෂයේ ප්‍රබලතම ආධාරකරුවා පවා රටට ගැටලුවක් ඇති වන අවස්තාවක, රජය සමග එකතුවෙනවා.
අර්බුධය දේශපාලනීකරණය කරමින් පුද්ගලික වාසි ලබා ගන්නවාට වඩා, රට වෙනුවෙන් එය විසඳා ගැනීමට ඔවුන් උත්සුක වෙනවා.
ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ.
මාලදිවයින සහ ඉන්දියාව අතර උද්ගත වී ඇති අර්බුධය එයට හොඳ උදාහරණයක්.
මාලදිවයිනේ පසුගියදා පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මොහොමඩ් මුයිස් (Mohamed Muizzu) එරට ජනපතිවරයා ලෙස තේරී පත්වුණා. මොහොමඩ් මුයිස් චීන හිතවාදියෙක්.
ජනපතිවරයා ලෙස තේරී පත් වී ඔහු සිදු කළ ප්‍රථම රාජකාරී වලින් එකක් වූයේ එරට සිටින ඉන්දීය හමුදාවන්ට ඉවත් වන ලෙස නියෝග කිරීම.
චීන හිතවාදියෙකු මාලදිවයිනේ පාලනයට පත් වීමත්, ඔහු විසින් ඉන්දීය හමුදා ඉවත් කරගැනීමට යෝජනා කිරීමත් ඉන්දියාව රිදවන සිදුවීමක් වුණා.
ඉන්දීය සාගර කලාපයේ තීරණාත්මක භූමි භාගයක පිහිටා ඇති මාලදිවයින, කලාපීය දේශපාලනයට වැදගත් සාධකයක්.
සිය පාලනයෙන් ගිලිහී ගිය මාලදිවයින රිදවීමට නරේන්ද්‍ර මෝදි රජය අනුගමනය කළේ අපූරු උපක්‍රමයක්.
මාලදිවයිනේ ආර්ථිකය එරට සංචාරක ව්‍යාපාරය මත රඳා පවතිනවා.
මාලදිවයිනට පැමිණෙන සංචාරකයන් අතර ඉන්දියානුවන් ප්‍රධානයි.
වාර්ෂිකව ඉන්දියානුවන් මිලියන ගණනක් සිය නිවාඩු ගමනාන්තය ලෙස මාලදිවයින තෝරාගන්නවා.
ඉන්දියානු සංචාරකයන්ගෙන් මාලදිවයින් ආර්ථිකයට ලැබෙනා දායකත්වය නවතා, ඒ ඔස්සේ මාලදිවයින දණ ගැස්සවීමට ඉන්දියාව තීරණය කළා.
ඔවුන් එය ඉතාම උපක්‍රමශීලිව සැලසුම් කළා. නව යුගයේ මෙවැනි ජාතික, රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් සිදු කරන්නේ සෘජුවම නෙවෙයි.
ඒ සඳහා වඩා නිර්මාණශීලි උපක්‍රම රජයන් විසින් අනුගමනය කරනවා.
සමාජජාලා වෙබ් අඩවි එවැනි මෙහෙයුම් සඳහා බහුලව භාවිතා කෙරෙනවා.
ඒ අනුව ප්‍රථමයෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ලක්ෂාද්වීප් (Lakshadweep) නම් මනරම් වෙරළ තීරයක ඡායාරූප, සිය ට්විටර් ගිණුමෙන් (X) පළ කරන්නට මෝදි කටයුතු කළා.
ක්‍රමක්‍රමයෙන් ඉන්දියාවේ මෙතරම් සුන්දර වෙරළ තීරයන් පවතිද්දී, සංචාරය සඳහා මාලදිවයින තෝරාගන්නේ ඇයි දැයි වන මතයක් එහි ඇති කරමින් තිබුණා.
සමාජ මාධ්‍ය යුගය නියෝජනය කරනා මාලදිවයිනේ තරුණ අමාත්‍යවරුන්ට ඉන්දියාව එන්නේ කුමකට දැයි අවබෝධ කරගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැහැ.
ඒ අනුව සිය ට්විටර් ගිණුම් ඔස්සේ ඉන්දීය අගමැතිවරයා විවේචනය කිරීමට ඔවුන් කටයුතු කළා.
ඉන්දියානුවන් තුල පවතින දේශප්‍රේමීත්වය, ජාතික හැඟීම එළියට ආවේ මෙතන දී.
ඉන්දියාව තුල කුමන ගැටලුවක් තිබුනත්, සිය අග්‍රාමාත්‍යවරයා විදෙස් රටක ඇමතිවරුන් විසින් විවේචනය කිරීම ඉන්දීය විපක්ෂයේ ආධාරකරුවන් විසින් හෝ ඉවසූවේ නැහැ.
ඔවුන් ට්විටර් වෙබ් අඩවියේ මාලදිවයිනට එරෙහි යුද්ධය ආරම්භ කළා. ඒ අතර ඉන්දීය විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද හිටියා. සියලූම ඉන්දියානුවන් මාලදිවයින විවේචනය කළා. ඉන්දීය ජනමාධ්‍යවේදීන් එම සටන සමාජමාධ්‍ය වලින් එළියට ගෙන ආවා. ඉන්දීය නළු නිළියන් ද සටනට එක් වුණා. ඒ අනුව අගමැතිවරයා විවේචනය කළ මාලදිවයින වර්ජනය කිරීමේ රැල්ලක් ඉන්දියාවේ ආරම්භ වුණා.
ඉන්දීය රජයට අවශ්‍ය වූ දේ ඉතාම ඉක්මණින්, ඉතා කෙටි කලකින් සිදු වුණා.
ඒ මොහොතේ දී ඉන්දීය රජයත් මාලදිවයින වර්ජන සටනට නිල වශයෙන්ම එකතු වුණා. ඔවුන් එය පෙන්වූවේ ජනතාව විසින් නැගී ආ විරෝධයකට සහය දීමක් ලෙසයි. නමුත් ඒ මාලදිවයින් විරෝධය ඉන්දීය රජය විසින්ම උපක්‍රමශීලිව සාර්ථකව ගොඩනැගූ එකක්.
මේ පසුබිම් කතාව ශ්‍රී ලංකාවට ඉතා වටිනා එකක්.
මේ මොහොතේ මෙරට සංචාරක ව්‍යාපාරයත්, ගෝලිය රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයත් සම්බන්ධව වගකිව යුතු බලධාරීන් විශාල අවස්තාවක් නොසලකා හැර තිබෙනවා.
අසල්වැසි ඉන්දියාවේ සංචාරකයන් මිලියන ගණනක්, ඔවුන්ගේ මිලට සහ කාලයට සරිලන සංචාරක නවාතැනක් සොයමින් ඉන්නවා.
මාලදිවයින හැරුණු කොට ඔවුන්ට ඒ සඳහා ගැලපෙනම රට ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් දැඩිව යැපෙනා රටක්. සංචාරක ව්‍යාපාරය මත විශාල බලාපොරොත්තු තබා ඇති රටක්. නමුත් මේ අවස්තාව කියවා ගැනීමටත්, ඊට අනුකූලව කටයුතු කිරීමටත් මෙරට බලධාරීන් අසමත්. එය එසේ වූවා නම් මේ මොහොතේ ඔවුන් ඉන්දියාවට ගොස් තිබිය යුතුයි. ඉන්දියාවේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබිය යුතුයි.
ඉන්දීය සංචාරකයන් උදෙසා ඔවුන් බලාපොරොත්තු වන, ඔවුන්ට අවශ්‍ය පැකේජයන් (Packages) නිර්මාණය කර, ඉන්දියාවේ ප්‍රවර්ධනය (Market) කර තිබිය යුතුයි. ඒ සදහා සංචාරක ව්‍යාපාරයේ නියැලෙන පුද්ගලික අංශයත් සහභාගී කරවා ගෙන, ඉන්දීය සංචාරකයන් මිලියන ගණනක් පිළිගැනීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙල සකසා තිබිය යුතුයි. හොටෙල් කාමර වල සිට ආහාර, විනෝදාස්වාදය දක්වා සියලූම දේ සුදානම් කර තිබිය යුතුයි. වෙනත් රටවල් මෙවැනි අවස්තාවන් වල දී වැඩ කරන්නේ එහෙමයි.
1970 දශකයේ ආසියාවේ කාර්යබහුලම වරායක් වූ කොළඹ වරායේ වර්ජනයක් දියත් වූ අවස්තාවේ, සිංගප්පූරුව එරට වරාය ගොඩ නගා එම ව්‍යාපාරය අත් කරගැනීම ඊට හොඳ උදාහරණයක්.
වර්ජනය අවස්තාවේ සිංගප්පූරු වරායට ගිය බොහෝ නෞඛා, එහි සේවය සහ කාර්‍යක්ෂමතාවයට පැහැදී යළිත් කිසිම දිනෙක කොළඹ වරායට පැමිණියේ නැහැ. එවැනි ජාතික වැඩපිළිවෙලක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව එයට අසමත්.
එනමුත් මාලදිවයින් විරෝධි ව්‍යාපාරයේ ම කොටසක් ලෙස, ඉන්දීය සංචාරකයන්ට විකල්ප ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට එරට රජය කටයුතු කළා.
ඒ අනුව ඉන්දීය තාරුණ්‍යයේ වීරයෙකු බඳු වන එරට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසට එරට ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඔහු නොකියා කියූවේ මාලදිවයිනේ සංචාරය නොකරන ලෙසයි.
මේ අනුව කලකට පසුව 2024 ජනවාරි මාසයේ මාලදිවයිනට වඩා වැඩි සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඉන් සැලකිය යුතු පිරිසක් වනුයේ මාලදිවයින වෙනුවට ශ්‍රී ලංකාව තෝරාගත් ඉන්දීය සංචාරකයන් බව පැහැදිලියි.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බොහෝ පාඩම් ඉගෙනීමට තිබෙනවා.
උපක්‍රමශීලිව කටයුතු කිරීම සහ ජාතියක් වශයෙන් අවශ්‍ය මොහොතේදී එක්වීමත් ඉන් එකක්.
ඒ සියල්ලටම වඩා පමා වී හෝ ඉන්දීය - මාලදිවයින් ගැටුමේ වාසිය උපරිම ලබා ගැනීමට කටයුතු කිරීමත්, ඉන්දීය සංචාරක ව්‍යාපාරය සහ සෙසු ආයෝජන මාලදිවයිනෙන් ඉවත් කර මෙරටට ආකර්ෂනය කර ගැනීමට කටයුතු කිරීමත් මේ මොහොතේ මෙරට බලධාරීන්ට පැවරී ඇති වගකීමක්.
(ඉරේෂාන් සිරිවර්ධන)
2024. 02. 08