තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සහ මා සම වයසේ ය. ඔහු පිළිබඳව මා එතරම් දැන සිටියේ නැත.

නමුත් පසුගිය මාසයට දෙකට ඔහු සමග සංවාද කිරීමට මා හට අවස්ථාව ලැබිණි. තිස්සගේ මෙතෙක් ජීවිත කතාව ඇසූ මට ඉමහත් සතුටක් දැනිණි. තිස්ස දකුණේ ඉපිද හැදුණු වැඩුණු බෞද්ධ සිංහලයෙකි. කුඩා කල සිය පියා සමග කුඹුරු ගොවිතැන් කළ ආකාරය ඔහු මට කියන්නේ ආඩම්බරයෙනි. වෙල් ඉපනැල්ලේ දුව පැන නැටූ දඩබ්බරයාගේ සම හිරු එළියට පිච්චුනු පිච්චිල්ල අදටත් පෙනේ.

දෙබරවැව විදුහලේ අකුරු කළ තිස්සට තිබෙන්නේ පුදුමාකාර කඩිසරකමකි. සුදු සරමට අත්කොට කමිසය ඇඳ ඔහු හනි හනිකට ඇවිදින විට ඔහු අසලින් ගමන් කරන මටත් අඩිය ඉක්මන් කරන්නට සිදු වේ. බොහෝ අය නොදන්නා කාරණයක් වන්නේ තිස්ස කුට්ටිආරච්චි ලංකාවේ විශාල මූල්‍ය ආයතනයක සභාපතිවරයා බවයි. රුපියල් බිලියන ගණනක වත්කම් ඇති එම මූල්‍ය ආයතනයේ දහසකට ආසන්න පිරිසක් රැකියාව කරයි. විශේෂත්වය වන්නේ එම දැවැන්ත ව්‍යාපාරය ආරම්භ කර දියුණු කර ඇත්තේද තිස්ස සහ ඔහුගේ මාමා කෙනෙකු විසිනි. ෆේස්බුක් එකේ ඔහුට හිනාවෙන උන්ගේ ජීවිත කාලයටවත් අත්පත් කරගත නොහැකි ව්‍යවසායී සාර්ථකත්වයක් තිස්ස කුට්ටිආරච්චි සිය දහදිය මහන්සියෙන් අත්පත් කරගෙන ඇත.

තිස්සට තිබෙන්නේ දේශපාලන උණකි. තරුණ කාලයේ සිටම දේශපාලනය කිරීමට ඔහුට නොතිත් ආසාවක් තිබූ බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වේ. කිසිවෙකුගේ උදව්වක් නැතිව පිටස්තර ප්‍රදේශයකට ගොස් පළාත් සභාවට තරග කර ඔහු ජයග්‍රහණය කරයි. තිස්සට මැතිවරණ කරන ක්‍රමය උපතින් පිහිටා තිබේ. පොහොට්ටුවේ අනාගත ඡන්ද යන්ත්‍රය වෙන්නේ තිස්ස කුට්ටිආරච්චි ය. ඔහු දේශපාලනය කරන්නේ ගමේ බිමේ ය. ඔහු ගම හඳුනයි. ගමේ ඇට මස් ලේ නහර හඳුනයි. ගමේ විඥානය හඳුනයි. ලංකාවේ දේශපාලනය කිරීමට ඒ අවබෝධය අනිවාර්ය වේ. නමුත් මා හිතන්නේ තිස්ස විෂයයක් හැටියට දේශපාලන විද්‍යාවත් තව උගත යුතු බවයි. එවිට ඔහු ප්‍රතිවාදියා බියට පත් කරන බලවේගයක් වනු නොඅනුමාන ය.

තිස්ස අති දක්ෂ කථිකයෙකි. ඇඟේ තරමට නෙවෙයි කට. මා කල්පනා කරන්නේ පාසල් සමයේ අප දෙදෙනා කථික හෝ විවාද තරගයකදී මුණ ගැසී ඇතිද කියා ය. සමහර විට අප දෙපිළක හිඳ වාද කරන්නට ඇති. වයස යත්ම මාගේ හිසේ කෙස් මෙන් මාගේ වාග් ප්‍රහාරවල උද්වේගයද සංසිඳී ඇත. නමුත් තිස්ස නම් තවම දඟකාර තරුණයෙකු මෙන් ඉතා ප්‍රබල හඬින් උද්වේගයෙන් සරදම් වචනයෙන් කතා කරයි. ඔහු කතා කරන විට කාන්තාවන් අතින් මුව වසාගෙන සිනා සේ. සිය කතාවට ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ තබා ගැනීමට තිස්සට හොඳට හැකිය. උසුළු විසුළු සරදම් නැති දේශපාලන කතා නීරස ය. විහිළුවක් තේරෙන්නේ නැති සෝ සීරියස් අය දේශපාලන වාතයන් ය.

තිස්ස මුලින් සිටියේ එජාපයේ ය. එජාපය කීවාට එජාපයම නොවේ. එජාපයේ ප්‍රභූ පැලැන්තිය තිස්සව අපේක්ෂක ලැයිස්තුවෙන් කැපුවේ ය. අනිවාර්යෙන් දිනන බව දැන දැනත් ඔහුගේ නම ටිපෙක්ස් ගා මැකුවේ ය. අවසාන මොහොතේ ඔහුට අවස්ථාවක් දුන්නේ මංගල සමරවීරගේ පක්ෂයෙනි. මංගල සමානාත්මතාවාදියෙකි. එජාපය යනු වැඩවසම් පක්ෂයකි. එහි ඉහළින් ලංකාවේ ප්‍රභූ පැලැන්තිය සිටී. ඉතුරු සියලු දෙනා ඔවුන්ගේ වහලුන් ය. ගමෙන් එන තිස්ස වැනි ස්වාධීන තරුණ නායකයෙකුට එජාපයේ තැනක් නැත. අවසානයේ ඔහුට සුදුසු තැනට ඔහු පැමිණ තිබේ. පොහොට්ටුව යනු මේ රටේ සාමාන්‍ය ජනතාවගේ නිදහසේ තෝතැන්න යි.

එජාපය ඒ ආකාරයට තිස්සට වෙනස්කම් කිරීම පුදුමයක් නොවේ. පුදුමය වන්නේ තඹුත්තේගම අනුර කුමරාත් එජාපයේ හාමු මහත්තයා මෙන් තිස්සට වෙනස්කම් කිරීමයි. සිය පක්ෂයේ “අහවලා අහවලා ගැන ජනතාව දන්නේ නැහැ, හැබැයි තිස්ස කුට්ටිව දන්නවා” යැයි කියමින් අනුර කුමාර කරන්නේ තිස්සව discriminate කිරීමයි. අනුර කුමාර යනු රනිල් වික්‍රමසිංහ මෙන් කුලීන ප්‍රභූවරයෙකු නොවේ. නමුත් අනුර කතා කරන්නේ රනිල්ටත් වඩා ලොකු ප්‍රභූවරයෙකු හැටියට ය. ඒ ඔහුගේ හීනමානය යි. “දකුණේ තරුණයන්ට දේශපාලනය කරන්න අවස්ථාවක් නැහැ” කියන අනුර කුමාරට දකුණෙන් පැමිණ සිය උත්සාහයෙන්ම දේශපාලනය කරන තිස්සව නොපෙනේ. ඒ වෙනුවට ඔහු තිස්සව පහත් කරයි. සමානාත්මය ගැන බණ කියන ජනතා විමුක්ති පෙරමුණ ඊනියා සුදුසුකම් මත පුද්ගලයන්ට වෙනස්කම් කරයි. අනුර වනාහී රනිල් වෙන්නට දඟලන වහලෙකි. ඒ අතින් තිස්ස ඔහුගේ අනන්‍යතාවයට අවංක ය. අති සාර්ථක ව්‍යාපාරිකයකු වුවත් ඔහු වෙනස් වී නැත. ඔහු බොරුවට අනෙකාව පහත් කර තමන්ව උස් කරගන්නේ නැත. ඔහු කතා කරන්නේ හදවතට එකඟව ය. පොහොට්ටුවේ මිනිස්සු තිස්සට “අපේ එකා” යැයි ආදරයෙන් අමතන්නේ ඒ නිසාය.

ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 මාර්තු 22


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image