ඇඳරි නීතිය පැනවීම සමග නාගරික මැද පන්තිය ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මුහුණ දුන්නේ තනිව  නොවේ.

ඔවුන්ට වැඩිය නාගරික හා ග්‍රාමීය සාමාන්‍ය ජනයා ඉන් බරපතළ පීඩාවට හසුව ඇත. එහෙත් මාධ්‍ය ඇතුළු සමාජය දැන් වැඩියෙන් කතා කරන්නේ ඔවුන් ගැනය. 

පසුගිය ජනාධිපතිවරණයත් ඊට පෙර 2018 පෙබරවාරි පැවති පළාත් පාලන මැතිවරණයත් බැසිල්ගේ සංවිධාන ශක්තිය මතින් රාජපක්ෂලා ලබා ගත් ජයග්‍රහණ යැයි නාගරික සමාජයේ තහවුරුව ඇති මතය සමග බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ කාර්ය සාධන කමිටුවක් පත් කිරීම නාගරික මැද පන්තිය තුළ බලාපොරොත්තු දැල්වීය.

කෝවිඞ්-19 වසංගතය පාලනය කර ගැනීමට ආණ්ඩුව පළමු වරට පැය 72 ක ඇඳිරි නීතිය පැනවූ විට, නැති බැරි දුප්පත් ජනතාව වෙනුවෙන් කතා කළ පිරිස්, ඒ වෙනුවෙන් ලබා දුන් මාධ්‍ය ආවරණ දැන් සිඳී ගොස් ඇත. ඒ ඔවුන්ගේ ප්‍රශ්න විසඳී ඇති නිසා නොවේ. පැනවූ ඇඳිරි නීතිය තාවකාලිකව පැය 08 ට ඉවත් කළ පසු විසඳිය යුතු ප්‍රශ්න ලෙස මහා ඝෝෂාවක් සමගින් ඉස්මතු කරගනු ලැබූයේ නාගරික මැද පන්තියේ අවශ්‍යතා වූයෙනි.

බැසිල් කියපු කතා .....

එම කාර්ය සාධන කමිටුව පිහිටවූ පසු බැසිල් කියා තිබුණේ කෝවිඞ්-19 වෛරසය පාලනයට ඇඳිරි නීතිය පවත්වා ගැනීමත් සමග ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමේ යාන්ත්‍රණයක් වහා ස්ථාපිත කරන බවය. 

ඔහු එසේ එය අවධාරණය කර තිබූයේ පසුගිය 25 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවෙහිදී ය. 

එහිදී ඔහු තවදුරටත් කියා තිබුණේ සහල්, පොල්, බිත්තර හා එළවළුවල කිසි හිඟයක් නොමැති බවය. ඒවා සමූපාකාර හා සුපිරි වෙළෙඳසැල් ඔස්සේ බෙදාහැරිය හැකි යැයි ඔහු කීවේය. 

දිගින් දිගටම ප්‍රතිකාර ගන්නා බවට රෝහල්වල ලියාපදිංචි රෝගීන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ හමුදාවේ සහාය ඇතිව නිවෙස්වලටම ඖෂධ බෙදීමටද එදින තීන්දු කරනු ලැබිණ. 

ඔහුගේ වැඩපිළිවෙළ විස්තර කරමින් ඔහු ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවෙහිදී ආර්ථික අසීරුකම් ඇති ජනතාවට දෙන මුදල්මය සහන, ණය සහන සහ ණය වාරික ගෙවීමේ විරාම ගැනද දීර්ඝ ලේඛනයක් ඉදිරිපත් කළේය.

 විශ්‍රාම වැටුප බැංකු ගිණුමට බැර වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බැංකුවට යාමට හමුදාව විශේෂ ප්‍රවාහන පහසුකම් සලසන බවත් කීවේය.

''බැසිල් රාජපක්ෂගේ පොරොන්දු වැඩිමනත් ඉලක්ක කෙරෙන්නේ මැද පන්තිය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ගමෙන් නගරයට ගෙනැවිත් බෙදාහැරීමටය. සාමාන්‍ය ජනයාට දුන් පොරොන්දු ඒවාට එකතු කළ සැරසිලිය.''

බැසිල් රාජපක්ෂගේ පොරොන්දු වැඩිමනත් ඉලක්ක කෙරෙන්නේ මැද පන්තිය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ගමෙන් නගරයට ගෙනැවිත් බෙදාහැරීමටය. සාමාන්‍ය ජනයාට දුන් පොරොන්දු ඒවාට එකතු කළ සැරසිලිය. අතිශය අර්බුදකාරී ආර්ථිකයක ඒවා සැබවින්ම ක්‍රියාත්මක කළ හැකිදැයි ප්‍රධාන මාධ්‍යයන්හි තබා සමාජ මාධ්‍ය ජාලයන්හි හෝ සාකච්ඡා වන්නේ නැත. 

ආණ්ඩුව ඉදිරිපත් කරන විසඳුම් විචාරයකින් තොරව භාර ගන්නා නාගරික සමාජය හමුවේ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වයද ඇණහිට ඇත. පොරොන්දු වන සැපයුම් යාන්ත්‍රණ නොමැතිව පොලීසියේ අවසරය ඇතිව, තවමත් නගරයේ තැන තැන භාණ්ඩ අලෙවියට අතුරු පාරවල යන්නේ පෞද්ගලික වාහන හා ඉඳහිට ත්‍රීරෝද රථයකි.

 සතියක් ඉක්ම යන විටද ආණ්ඩුව වෙනුවෙන් බැසිල් පොරොන්දු වූ නිවෙස් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ රාජ්‍ය ප්‍රධානත්වයෙන් වන යාන්ත්‍රණය තහවුරු කරන්නට නොහැකිව ඇත.

නොහැකියාවට මූලික වශයෙන් බලපෑ හේතු දෙකක් !

රාජ්‍ය මැදිහත්ව එවැනි බෙදාහැරීමේ යාන්ත්‍රණ හැදීමට තවමත් නොහැකිවීමට මූලික වශයෙන් හේතු දෙකකි. 

#  එකක්, නිමක් නොමැති ඇඳිරි නීතිය සමග කාටත් දැනෙන සමස්ත ආර්ථික ක්‍රියාවලියම බිඳ වැටී තිබීමය. 

#  අනෙක රාජ්‍ය හා දේශපාලන ව්‍යුහයන්ගේ සහසම්බන්ධය පිළිබඳ කතාවය. 

චිත්‍රය සම්පූර්ණ වන්නේ මේ සාධක එකට ගත් විටය.

ආර්ථික ක්‍රියාවලිය බිඳ වැටීම කොරෝනාවෙන්ම සිදුවූවක් නොවේ. අපේ ආර්ථිකය නාගරික වෙළෙඳපොළක් වශයෙන් අතිශය දූෂිත, මැද හා ඉහළ පන්තිකයින්ගේ නගර කේන්ද්‍රීය නිදහස් ආර්ථික ක්‍රියාවලියකි. එනිසාම ග්‍රාමීය ආර්ථිකය ඵලදායි ආර්ථිකයක් නොවුණි. 

ජනතාවගේ බදු මුදල් හිලව්වට තබා සිල්ලර ආයෝජකයින් කැඳවා ගෙන අපනයන නිෂ්පාදන මත රටේ ආර්ථිකය කෙදිනකවත් ගොඩගත නොහැකි විය. 

ආයෝජකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍යයද ඇතුළු ආනයන භාණ්ඩ සඳහා වාර්ෂිකව වැය වන ඩොලර් මුදල, කිසි දිනක ඔවුන්ට ඔවුන්ගේ අපනයන මගින් රටට උපයා දිය නොහැකි විය. 

එනිසා යෝධ ණය කන්දරාවක් ගොඩ ගසාගෙන ණය සඳහා පොලී ගෙවීමට කොරෝනාව එන්නටත් කලියෙන් අපට කල් යදින්නට සිදු විය. 

මේ ණයකාර විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි ගමෙන් නගරයේ වෙළෙඳපොළට සපයනු ලැබූයේ එළවළු, කෙසෙල්, පැපොල්, පොල්, තැඹිලි, සහල්, බිත්තර, මාළු සහ බ්‍රොයිල කුකුල් මස් ප්‍රමාණයක් වැනි දේ පමණි. ඒවායින් බොහොමයකට ආනයනය කළ ආදේශන නගරයේ වෙළෙඳපොළෙහි ඇඳිරි නීතියට පෙර ඕනෑතරම් තිබිණ. 

එබැවින් ග්‍රාමීය ආර්ථිකයට අත්‍යවශ්‍ය වැදගත්කමක් නොලැබුණි. බහුතර ඡන්ද ඇත්තේ ගමේ හෙයින් ඒ ගැන කතා කෙරෙන්නේ මැතිවරණ සමග පමණි. එයද පොරොන්දු පත්‍රිකා සමගින් මිස, ජාතික ආර්ථිකයේ වැදගත් නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෙස ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කර ගන්නේ කෙසේද යනුවෙන් නොවේ.

''ආර්ථිකයේ ඇණ හිටීම වැඩියෙන්ම බලපාන්නේ නගරයට වඩා ගමටය. ''

92023558 10219633331637380 2132716571183808512 n
එවැනි ඉතා පසුගාමී දුප්පත් පසුබිමක, කෝවිඞ්-19 සමග ආර්ථික ක්‍රියාකාරිත්වයේ ඇණ හිටීම වැඩියෙන්ම බලපාන්නේ නගරයට වඩා ගමටය. ගම ඇනහිට ඇත්තේ ඇඳිරි නීතිය හේතුවෙන් ගමේ එළවළු ටික, කෙසෙල් පැපොල් ටික, බිත්තර, බ්‍රොයිල කුකුල් මස් ටික එකතු කර ආසන්නම නගරයේ වෙළෙඳපොළට හා තොග වෙළෙන්දාට අලෙවි කරන ග්‍රාමීය ප්‍රාථමික සැපයුම් ජාලය ඇඳිරි නීතිය සමග බිඳ වැටුණු හෙයිනි. 

එහි අනිටු බලපෑම ගම තවත් දුප්පත් කරන්නකි. බිත්තර එකතු කිරීමක් නොවූයෙන් බිත්තරයක මිල රු. 10 දක්වා පහත වැටුණි. බ්‍රොයිල කුකුල් මස් අලෙවි කරන්නට නොහැකිව, ග්‍රාමීය කුඩා ව්‍යාපාරිකයින් අසරණව ඇත. ඔවුන්ගේ බ්‍රොයිල කුකුළන් තොග පිටින් මිය යන්නේය. වගා කෙරුණු එළවළු ටිකට සිදුව ඇත්තේද එයමය. 

එනිසා ඇඳිරි නීතියට පෙර ගමට ලැබුණු මුදල් දැන් ගමට ලැබෙන ක්‍රමයක් නැත. ගමේ භාණ්ඩ නගරයට නොපැමිණීමෙන් නගරයේද හිඟයක් ඇතිව තිබේ.

එය හමුදාවට කළ නොහැක්කේද ?

මේ ග්‍රාමීය නිෂ්පාදන රජයේ ආයතනවලට එකතු කළ නොහැක. ඒ සඳහා වහා එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටු වන්නට ආණ්ඩුවට නොහැක්කේ පෞද්ගලික වෙළෙඳුන් මෙන් ගැමියන්ට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා එකවර මුදල් ගෙවීමට රජයේ ආයතනවලට නොහැකි වීමට අමතරව, එවැනි පහසුකම් අලුතින්ම පිහිටුවන්ට ඇඳිරි නීතිය සමග නොහැකි බැවිනි. එය හමුදාවට කළ නොහැක්කේද ගම හා හමුදාව අතර කිසිදු සංවිධානාත්මක සම්බන්ධයක් නොමැති හෙයිනි.

පෞද්ගලික සමාගම් නගරයේ ආරම්භ කළ නිවෙස් වෙත ඇණවුම් ලබාදීම තවමත් හරියාකාරව නෙකෙරෙන්නේද භාණ්ඩ හිඟය නිසාවෙනි. ඔවුන්ටද ඇඳිරි නීතිය නිසා එවැනි එකතු කිරීමේ ප්‍රාථමික ජාල ක්‍රියාත්මක කළ නොහැකිව ඇත. 

එවගේම නිවෙස් වෙත ඇණවුම් ප්‍රවාහනයට අවශ්‍ය ත්‍රීරෝද රථ සේවාද අඩාලව ඇත. නගරයේ ත්‍රීරෝද රථ වැඩිමනත් පැවතියේ ගමෙන් නරගයට පැමිණි තරුණ පිරිස් සමගය. ඇඳිරි නීතිය පැනවූ විගස ඔවුන් බහුතරයක් ඔවුන්ගේ ගම් බලා පිටත්ව ගියහ. චීනය අනුකරණය කරමින් රටටම ඇඳිරි නීති පැනවීම අපට ඔරොත්තු නොදුන්නකි.


''චීනය කෝවිඞ්-19 වසංගතයට මුහුණ දුන්නේ ඔවුන්ගේ අධිකාරී බලය සමගින්ය.'' 


china xi jinping poster
චීනය කෝවිඞ්-19 වසංගතයට මුහුණ දුන්නේ ඔවුන්ගේ රාජ්‍යයේ හා දේශපාලන ව්‍යුහයේ ඇති දැඩි අධිකාරී බලය සමගින්ය. ජනවාරි වන විට වූහාන් නගරයේ කෝවිඞ්-19 වසංගතය පාලනය කර ගැනීමට නොහැකි අසීරු තත්ත්වයකට ඔවුහු පත්වූහ. වූහාන් නගරයම වහා වසා දමන්නට ඔවුන් තීන්දු කරන්නේ එබැවිනි. 

එතෙක් ලොව කිසි විටෙක කිසිදු වසංගතයක් සඳහා කිසිදු රටක් නොගත් එවැනි වසා දැමීමක් කරන්නට ඔවුන්ට හැකිවූයේ ඒ අධිකාරි බලය හේතුවෙනි. මිලියන 11 ක ජනගහනයක් ඉන්නා වූහාන් නගරය වසා දැමුවේ ජනවාරි 23 වන දිනය. එය නැවත සම්පූර්ණයෙන් විවෘත වන්නේ ලබන අප්‍රේල් 08 වන දා ය.

එකවර කඩ සාප්පු ඖෂධ හල් වැසුවේ නැත:

ජනවාරි අගදී වූහාන් නගරය වසා දමා එකවර කඩ සාප්පු ඖෂධ හල් වැසුවේ නැත. එහෙත් පාසල්, විශ්ව විද්‍යාල වසා ජනතාව ඔවුන්ගේ මහල් නිවාසවලට කොටු කළේය. සියලු ප්‍රවාහන පහසුකම් අත්හිටුවන ලදි. නිවසකින් එක් අයෙකුට පමණක් ආසන්න වෙළෙඳසළින් අවශ්‍ය ආහාර සහ ඖෂධ ගැනීම සඳහා පිටව යාමට අවසර ලබා දුනි. 

ඔවුන්ගේ නිවාස හැමවිටම මහල් නිවාස ලෙස සැලසුම් කෙරුණු විශාල සංකීර්ණ ය. ඒවායේ ඇතුළුවීම් හා පිටවීම් පාලනය කෙරෙන්නේ අපගේ වැනි පෞද්ගලික සමාගමක ආරක්ෂක නියාමකයෙකු විසින් නොව, ප්‍රදේශයේ පක්ෂ නිලධරය විසින් පත්කර ඇති ආරක්ෂක නියාමකයින් විසිනි. 

වසංගතය පැතිරීමත් සමග හැම මහල් නිවාස සංකීර්ණයක්ම ඔවුන්ගේ හමුදාව සහ පක්ෂ නිලධරය විසින් ආවරණය කරනු ලැබිණ.


AP20023287354706 e1579779681679පෙබරවාරි මාසයේ පළමු සතිය අවසන් වනවිට සියල්ල මුළුමනින් වසා දැමුණි. ශීඝ්‍රයෙන් පැතිර යන වසංගතයට මුහුණ දීමට අවශ්‍ය රෝහල් පහසුකම් දින කිහිපයකින් විශාල වශයෙන් ව්‍යාප්ත කිරීමට වෙනත් ප්‍රාන්තවල සම්පත් වූහානයට ගෙන එනු ලැබිණ. 

මහල් නිවාස සංකීර්ණවල වැසියන්ගේ උණ හා රෝගී තත්ත්වය දෛනිකව නිවෙස්වලම පරීක්ෂා කිරීමට ප්‍රදේශයේ පක්ෂ නිලධරය යටතේ හමුදාව යොදවනු ලැබිණ. ආසාදිතයින් වහා රෝහල්ගත කිරීම ඒ අනුව සිදුවිය. වූහානයට අවශ්‍ය ආහාර තොග වෙනත් ප්‍රාන්තවලින් එකතුකර ප්‍රවාහනය කිරීම පක්ෂයේ ඉහළ නිලධරයේ නියෝග මත සිදු විය. 

වුහානයේ දිස්ත්‍රික්ක 13 පාලනය කරන චීන කොමියුනිස්ට් පක්ෂ දිස්ත්‍රික් නිලධරයේ ලේකම්වරුන්ට නිවෙස්වල කොටුකර සිටි ජනයාගේ අවශ්‍යතා තීන්දු කිරීමේ පූර්ණ බලය තිබිණ. නිවෙස් වෙත සීමිත ආහාර සලාකයක් බෙදීමත් ඒ පක්ෂ නිලධරය ඔස්සේම සංවිධානය කෙරුණි.

කොමියුනිස්ට් පක්ෂ නිලධරය ඒකාබද්ධ වූ තනි රාජ්‍ය පාලනය:

එවැනි දැඩි පාලනයක් ගෙන යාමට තවත් දෙයක් එකතු විය. චීන සමාජය මාඕ සේතුංගේ සංස්කෘතික විප්ලවය සමග රාජ්‍ය නිලධරය හා චීන කොමියුනිස්ට් පක්ෂ නිලධරය ඒකාබද්ධ වූ තනි රාජ්‍ය පාලනයක් තහවුරු කෙරුණි. ඒ යටතේ පක්ෂ විධානයට යටත් වූ හා හුරු වූ සමාජයක් බවට චීනය පත් විය. එය අදටත් එසේමය. 

චීන රාජ්‍ය තවමත් පක්ෂයේ නිලධර යාන්ත්‍රණයකි. එබැවින් පක්ෂයේ අධිකාරය මත එවැනි දැඩි මර්දනයක් සමග මිලියන 11 ක ජනතාවක් වූහානයේ නිවෙස්වල කූඩු කර තැබිය හැකි විය. ඉතා දැඩි මර්දනයක් සමග කෝවිඞ්-19 ව්‍යාප්තිය පාලනය කෙරුණු වූහානය මාර්තු ආරම්භය වනවිට විවෘත නොකෙරුවද නගරය තුළ ජන ජීවිතය සඳහා ක්‍රමයෙන් ඉඩ හැරිණ. ඉදිරි සතිය අවසානයේ යළි සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

''වූහාන් වසා දැමූ ආකාරයට අපට රට වසා තැබිය නොහැක''

අපට ඇත්තේ එවැනි රාජ්‍ය පාලනයක් නොවේ. ශ්‍රී ලංකා පොදුජන පක්ෂයද එවැනි පක්ෂයක් නොවේ. එයට ඇත්තේ පළාත් පාලන ආයතන ජාලයක් පමණි. ඒ පළාත් පාලන ආයතන රාජ්‍ය පරිපාලන ව්‍යුහයට සෘජු සම්බන්ධයක් නැත. රාජ්‍ය පරිපාලනය සංවිධානය වී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ය. ඒවා අතිශය අකාර්යක්ෂම හෙයින් ජනතාවට ඒවා ගැන විශ්වාසයක් නැත. 

යුද්ධයෙන් පසු හමුදාව හවුල් වන්නේ ඔවුන්ගේ කීර්තිය හා බලය සමග ය. චීනයේ මෙන් නොව, අපගේ රාජ්‍යතන්ත්‍රය එකිනෙකින් ස්වාධීන වූ රාජ්‍ය ආයතනයන් කිහිපයකි. 

එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයින් බෙරිහන් දෙන ආකාරයට හා නගරයේ ඇතැම් මැද පන්තිකයින් ඔවුන්ගේ ප්‍රශ්න සඳහා උත්තර වෙනුවෙන් ඉල්ලා සිටින චීනය වූහාන් වසා දැමූ ආකාරයට අපට රට වසා තැබිය නොහැක.

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සිරගත වීමේ අපරාධයක් ලෙස නිවේදනය කරමින් බැසිල් පොරොන්දු වන සැපයුම් යාන්ත්‍රණය හැදිය නොහැකිය. එය හැදීමට ග්‍රාමීය වෙළෙඳාමට යම් ඉඩක් ලබා දිය යුතුය. 

අපට ඔරොත්තු දෙන විසඳුම් !

අවම තරමින් දිස්ත්‍රික් මායිම් හරහා යෑමේ අවසරය අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ට පමණක් සීමාකර, සාමාන්‍ය ජනතාවට දිස්ත්‍රික්කය ඇතුළත ප්‍රවාහන පහසුකම් ඇතිව, වෙළෙඳසැල් හා භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන පවත්වා ගැනීමට ඇඳිරි නීතිය ඉවත් කළ යුතුව ඇත. 

ඒ සඳහා කෝවිඞ්-19 පාලනය කිරීමේ සියලු වගකීම් හා පහසුකම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල වෙත පැවරිය යුතුය. 

බැසිල්ට ඔහුගේ සැලසුම් සඳහා උත්තර සෙවිය හැක්කේ චීන කොමියුනිස්ට් පක්ෂය අනුකරණය කිරීමෙන් නොව, අපට ඔරොත්තු දෙන එවැනි විසඳුම් සමගය. එය දැන් ක්‍රියාත්මක වන රට වසා දැමීම හා පරස්පරයක් බව සැබෑය.''

(ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා )
- රාවය (ravaya.lk)වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී)

ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්