(මෙය රතන හිමියන් උපවාසය අවසන් කිරීමට කලින් ලියන ලද්දකි)

මේ ලිපිය ලියන අතරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ජනාධිපති උපදේශකයකු ද වන ගරු රතන හිමියන්ගේ නුවර උපවාසය සිවුවැනි දිනයට දිග්ගැස්සී ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම සාක්ෂාත් කරගෙන තිබේ. එනම්, නැගෙනහිර සහ පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබීමයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෙළේ මුස්ලිම් සගයන් දෙදෙනකුට එරෙහිව ජනාධිපතිවරයාගේම උපදේශක හිමිනමකට මෙසේ උපවාසයකට වැඩකිරීමට සිද්ධ වීම ඇත්තෙන්ම සරදමකි. කෙසේ වෙතත් තම ප්‍රධාන ඉල්ලීම්වලින් දෙකක් දැන් දිගෙන තිබෙන තත්වය තුළ උන්වහන්සේ සිය උපවාසය අවසන් කරනු ඇතැයි සිතිය හැකිය.

ඒ ඉල්ලීම් උන්වහන්සේගේ දිනාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නිසාවත්, ජනාධිපති උපදේශකයෙකු නිසාවත් නොවන බවත් කිව යුතුය. ප්‍රසිද්ධියේ වෙනුවට, පෞද්ගලිකව අදාළ බල මර්මස්ථානවලට කළ හැකිව තිබූ බලපෑම් කිරීමක් නිසා නෙවෙන බවත් කිව යුතුය.

ආණ්ඩුකාරවරුන් දෙන්නා ඉල්ලා අස්වීම මගින් රතන හිමියන්ගේ උපවාසය මගින් නුවර ප්‍රදේශයේ ඇති කොට තිබූ කලබලකාරී තත්වයත්, මෑතකදී හිරෙන් සමාව ලද බොදුබල සේනා නායක හිමියන්ගේ අවසාන තර්ජනාත්මක නිවේදනය පිළිබඳ උණුසුමත් පහව යාවි ද යන්න ඉදිරියේදී බලාගෙනීමට ඇති දෙයකි. අතීත මතක තවම සුව වී නැත.

දිගන විනාශයට තුඩුදුන් විනාශයේ වින්දිතයන්ට තවම මුලුමණින් වන්දි ගෙවා නැත. තමන් සහ තමන්‌ගේ දේපළ පිළිබඳ සැබෑ බියක් මේ වන විට මුස්ලිම් ජනතාව තුළ අලුතෙන් ඇති වෙමින් තිබේ.

 

ලෝකයේ වෙනත් බොහෝ රටවල් සේම තර්ජනාත්මක අභියෝගයකට:

ලෝකයේ වෙනත් බොහෝ රටවල් සේම ශ්‍රී ලංකාවත් මේ අවස්ථාවේ තර්ජනාත්මක අභියෝගයකට මුහුණදෙමින් සිටී. ඒ වනාහී, සෞදි අරාබියෙන් පටන් ගත් , ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ සුවිශේෂී අර්ථකථනවලට නතුව පවතින, ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලවලින් උසිගැන්වෙන, දේශපාලනික ප්‍රචන්ඩකාරී ක්‍රියා ප්‍රපංචයකි.

ඒ කුලප්පුවට මුහුණ දීම සඳහා මුස්ලිම් ප්‍රජාවේ සහයෝගය පොදුවේ රටට අවශ්‍ය කරේ. ඇත්තෙන්ම ඒ සහයෝගය, පාස්කු ප්‍රහාරයට පෙර මෙන්ම පසුවත් එම ප්‍රජාවෙන් අදාළ අංශවලට ලැබී තිබේ. පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ දැන් පරීක්ෂාවට ලක්කෙරෙන කරුණුවලින් හෙළිදරව්වන පරිදි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයාට සහ ක්‍රියාකාරකම්වලට අදාළ අනන්තවත් තොරතුරු රජය වෙත ලැබී තිබේ. එහෙත් ඒ පිළිබඳ කිසි පියවරක් ගෙන නොමැත.

මේ පිළිබඳ අදහස් දැක්වූ මුස්ලිම් ප්‍රජා නායකයන් සියල්ලන් පෙන්වා දී ඇත්තේ, මේ තොරතුරු ලබාදෙමින් තමන් මධ්‍යයේ සිටි අන්තවාදී ප්‍රචන්ඩ කල්ලි පිළිබඳ සියළු තොරතුරු තමන් විසින්ම අදාළ නිධාරීන් වෙත සපයා ඇති බවයි.

එහෙත් ඒ පිළිබඳ කිසි පිවරක් බලධාරීන් ගෙන නැත. ඒ බව අපටත් මනාව පැහැදිළි වෙයි. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙතින් මෙන්ම, ඉන්දියාවේ බුද්ධි අංශය වෙතින්ද, අදාළ තොරතුරු ලැබී ලැබී තිබුණු බව දැන් ස්ථාපිතව තිබේ. දැන් ප්‍රශ්නය වන්නේ, කවුරුන් කුමක් දැන සිටියේද, ඒ දැනීම මත ක්‍රියාත්මක නොවීම පිළිබඳ වගකිව යුත්තේ කවුරුන්ද යන්නයි.

සමහරවිට අප සියල්ලන්ම මේ අසාර්ථකත්වය පිළිබඳ පොදුවේ වගකීම බාරගත යුතු විය හැකිය. මන්ද යත්, අවසානයේ බැලූ විට එය, රාජ්‍යයේ සහ රාජ්‍ය අයතනවලට අසාර්ථකත්වයක් වන බැවිනි.

මේ ප්‍රචන්ඩකාරී අන්තවාදය, පොදුවේ මුස්ලිම් ජනතාව කෙරෙහිත්, විශේෂයෙන් මුස්ලිම් තරුණ කොටස් කෙරෙහිත් ආකර්ශනීය දෙයක් නොවන තැනට වගබලාගැනීම, එම ප්‍රජාව සමාජයෙන් පිටමංකොට දඩුක‌ඳේ ගැසීමෙන් කළ හැකි දෙයක් නොවේ.

ඔහුන්ගේ දෛනික ජීවිකාවන්හි නිරතවීම ඇහිරවීමෙන්, විශේෂයෙන් ඔවුගේ ව්‍යාපාරික කටයුතු අඩපණ කිරීමට කටයුතු කිරීමෙන්, ඔවුන්ගේ පාසල් පල්ලි සහ සමාජ ජීවිතය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීමෙන් එය කළ නොහේ.

 

ප්‍රචන්ඩකාරී අන්තවාදය පිළිබඳ ශ්‍රී ලංකාවේ අතීත අත්දැකීම්

ප්‍රචන්ඩකාරී අන්තවාදය පිළිබඳ ශ්‍රී ලංකාවේ අතීත අත්දැකීම අපට කියා දී ඇති පාඩම වන්නේ, එවැනි අන්තවාදයක් අවම කර ගැනීමට සහ පාලනය කර ගැනීමට ඇති මහඟු මාර්ගය වන්නේ මධ්‍යස්ථ ජනකොටස් සහ මධ්‍යස්ථ නායකත්වය ආරක්ෂා කර ගැනීම බවයි.

සිංහල තරුණයන් ජනතා විමුක්ති පෙරමුණ යටතේ 1971දීත්, 1980 දශකය අවසානයේදීත් ප්‍රචන්ඩ මාවතට පිවිසි අවස්ථාවේ ඔවුන්ගේ මතය දකුණේ තහවුරු නොවුණේ , සිංහල ජනතාවගෙන් අති බහුතරයක් මෙන්ම එම සමාජයේ විද්වතුන් ආගමික නායකයන් ඇතුළු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචන්ඩත්වය අනුමත නොකළ හෙයිනි.

අනිත් අතට එල්ටීටීඊ සංවිධානය තමන්ගේ අණසක උතුරු නැගෙනහිර පිහිටුවීම සඳහා දෙමළ ජනතාව‌ගේ එකම නියෝජිතයා තමන් බව කියා පෑමට දෙමළ එක්සත් විමුක්ති සංවිධානය ටෙලෝ සහ ඊපීආර්එල්එෆ් වැනි සෙසු සංවිධානවල ක්‍රියාකරිකයන් විනාශ කළ බව අපි දුටුවෙමු.

අද මුළුමනින්ම අවිහිංසාවාදී සහ මධ්‍යස්ථ නායකත්වයක් දෙමළ ජනතාවට සපයන සම්බන්ධන්, සේනාධිරාජා සහ සුමන්දිරම් ත්‍රිත්වය යටතේ පවතින ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වාර්ගික දෙමළ ජාතිකත්වයේ ප්‍රචන්ඩ ප්‍රකාශනය යලි හිස එසවීම වැලැක්වීමට ඇති එකම ප්‍රකාරය බව අපට පෙනේ ඒ ආකාරයෙන්ම මුස්ලිම් ප්‍රජාවකට මධ්‍යස්ථ දේශපාලනික නායකත්වය සපයන රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රසය සියවස් ගණනාවක් තිස්සේත්, විශේෂයෙන් නිදහසෙන් පසුවත් මෙරටේ මුස්ලිම් ප්‍රජාව අනුගමනය කළ, සමාජ සම්මිශ්‍රණයෙන් යුත් මධ්‍යස්ථ, දේශපාලනික මාවත තවදුරටත් ඉදිරියට වර්ධනය කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය කරන අංගයක් බව පෙනෙන්නට තිබේ.

සාමාන්‍ය පොදු මුස්ලිම් ප්‍රජාවේ සංකේතය වශයෙන් පවතින එකී මධ්‍යස්ථ නායකත්වයට පහර දීම, මොන විදිහකින්වත් අන්තවාදය මැඩලීමට උපකාරී නොවේ.

 

සිංහල බෞද්ධ හඩ නියෝජනය කිරීම:

(සෑහෙන කතෝලික සිංහල ප්‍රජාවක් සිටියත්) අති මහත් බෞද්ධ බහුතරයකින් සමන්විත සිංහල බහුතරය, තමන්ගේ අවශ්‍යතා නියෝජනය කරන්නේ කවුරුන්ද සහ කෙසේද යන්න ගැන ඔනෑ කමින් සිතා බැලිය යුතුව තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් ශ්‍රී ලංකාවට "බලකායවල් " අවශ්‍ය නැති බව දිගන හිංසනයෙන් පසුව ප්‍රසිද්ධියේ ප්‍රකාශකොට සිටියහ. මන්ද යත්, අපට ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් සන්නද්ධ හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන පද්ධති තිබෙන බැවිණි.

උන්වහන්සේගේ මේ ප්‍රකාශය තුළ තිබෙන සැඟවුණු අරුතින් ගම්‍යමාන කෙරුණේ ඒ හිංසනයේ ප්‍රධාන සැකකාර සංවිධායක ක්‍රියාකාරීත්වය පිළිබඳ තීව්‍ර විවේචනයකි. කැලෑ නීති අපට කොහෙත්ම අවශ්‍ය නැත. මහා ජාතික කල්ලි විසින් සුළුතර ප්‍රජාවකට එරෙහිව ක්‍රියාවේ යොදවන ජාතිවාදී හිංසනය අපට කොහෙත්ම අවශ්‍ය නැත.

කණගාටුවට කාරණය වන්නේ, රටේ ආරක්ෂක තත්වය සුරක්ෂිත බව සේනාධිනායකයා සහ හමුදාපතිවරයා විසින් අවධාරණට කොට කියා තිබියදීත්, ජාතිවාදී ගැටුම් සහ අසහනයන් තවමත් කැකෑරෙමින් තිබීමයි. මේ සමාජ නොසන්සුන්තාවයන් මැඩලමින් සමාජ සමගිය නංවාලීම, මැතිවරණ අත ලඟ එන සමයක, දේශපාලඥයන්ට එතරම් ප්‍රස්තූතයක් නොවන බව අපි දනිමු.

එබැවින් ඒ වගකීම වැඩියෙන්ම වෙනත් සමාජ ක්‍රියාකාරික කොටස්වල කරපිටට වැටෙයි. සිවිල් සමාජය, ආගමික නායකත්වය, ව්‍යාපාරික නායකත්වය සහ අදහස් සම්පාදකයන් එහිදී වැදගත් වෙයි. ශ්‍රී ලාංකික සමාජය නැවත වතාවක් හතුරු කඳවුරු වශයෙන් දෙකට බෙදීම වෙත තල්ලු කෙරෙන ආතතිය මෙල්ලකොට, තුවාල සුවකිරීම එම සමාජ කොටස්වල වගකීම වන්නේය.

- හරීම් පීරිස්

(2019 ජූනි 04 වැනිදා "දි අයිලන්ඩ් " පුවත්පතේ පළවූ De-Radicalisation of extremists is not achieved through Alienation Moderates ලිපියේ පරිවර්තනය යහපාලන ලංකා අනුග්‍රහයෙනි)

subscribeYT

නවතම පුවත්