The Leader News
BREAKING
තේ මිල රුපියලෙන් නැග්ගට ඩොලර් ආදායම පහළට●අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!●කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon●වැලිගම W 15 හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති ඇතුළු නවදෙනාට මහාධිකරණයේදී අධිචෝදනා●කොළඹ වරාය ඉන්දියන් සාගරයේ බල කේන්ද්‍රයක් වෙයි●කොරියාවේ විවාහ රැල්ල වෙනස් වෙයි: මනාලිය වැඩිමල්!●පාස්කු විමර්ශන: බුද්ධි නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්●අනාවරණය වූ තොරතුරු මත අත්අඩංගුවට ගැනීම් සිදුකළා - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි.●රුමේෂ් තරංගගේ නමින් පැතිරෙන ලෝක සම්මාන පුවතේ ඇත්ත●ඥානසාර හිමියන්ගේ මාස 9ක සිරදඬුවම මහාධිකරණයෙන් තහවුරු කෙරේ●
Top Ad
Opinion

කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon

Nethmini

Nethmini

October 7, 2026 • 3:30 PM

කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය තවදුරටත් “ශ්‍රී ලංකාව ඇමරිකානු පැත්තේද, චීන පැත්තේද?” යන පැරණි ප්‍රශ්නයෙන් පැහැදිලි කළ නොහැකිය.
  • ඇමරිකානු මූල්‍ය පද්ධතියේ බලය චීනය ඇතුළු ලෝක ආර්ථිකයට බලපායි.
  • හම්බන්තොට, කොළඹ වරාය, ත්‍රිකුණාමලය සහ ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග නිසා එය චීනය, ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු ප්‍රධාන බලවතුන්ගේ උපායමාර්ගික අවධානයට ලක්වේ.
  • එම නිසා “අප කිසිදු බල අරගලයකට සම්බන්ධ නොවෙමු” යන ප්‍රකාශය පමණක් ප්‍රමාණවත් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල කතාවත්, BRICS සමුළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ප්‍රවේශයත්, ඉරාන නෞකා පිළිබඳ මෑත කාලීන සිදුවීම්වලදී ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරයත් එකට තබා බැලූ විට ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ වෙනස් ආකාරයක කියවීමක් අවශ්‍ය වේ.

මෙය තවදුරටත් “ශ්‍රී ලංකාව ඇමරිකානු පැත්තේද, චීන පැත්තේද?” යන පැරණි ප්‍රශ්නයෙන් පැහැදිලි කළ නොහැකිය. “ශ්‍රී ලංකාව ස්වාධීනද, නැද්ද?” යන ප්‍රශ්නයෙන් පමණක්ද එය තේරුම්ගත නොහැක. මන්ද වර්තමාන ලෝක දේශපාලනයේ කුඩා රාජ්‍යයක සැබෑ ප්‍රශ්නය කඳවුරක් තෝරාගැනීම හෝ සියලු කඳවුරුවලින් සම්පූර්ණයෙන් ඉවත්වීම නොව, බලවත් රාජ්‍යයන් අතර පවතින අරගලයක් තුළ තම පැවැත්ම ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න බැවිනි. මෙය බැඳීම (alignment) සහ නොබැඳීම (non-alignment) යන සංකල්ප දෙකෙන් ඔබ්බට යන ප්‍රශ්නයකි.

පැරණි ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයක්ද?

සීතල යුද්ධ සමයේදී කුඩා රාජ්‍යයන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ඇමරිකානු සහ සෝවියට් බල කඳවුරු අතර තෝරාගැනීමයි. ඒ නිසා “බැඳී සිටීම” සහ “නොබැඳී සිටීම” අතර වෙනස ඉතා වැදගත් විය. එහෙත් අද බල දේශපාලනය එතරම් සරල නොවේ.

ඇමරිකාව සහ චීනය අතර තරගය පවතින නමුත් එය සීතල යුද්ධයේ ඇමරිකා-සෝවියට් තරගය මෙන් සම්පූර්ණයෙන් වෙන් වූ ආර්ථික ලෝක දෙකක් අතර තරගයක් නොවේ. චීනය ඇමරිකාව සමඟ විශාල වෙළෙඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. ඇමරිකානු මූල්‍ය පද්ධතියේ බලය චීනය ඇතුළු ලෝක ආර්ථිකයට බලපායි. ඉන්දියාව එකවර ඇමරිකාව සමඟ ආරක්ෂක සබඳතා ගොඩනගමින් රුසියාව සමඟද සබඳතා පවත්වාගෙන යයි. ගෝලීය දකුණ (Global South) එකම දේශපාලන කඳවුරක් නොවේ. එබැවින් “කාගේ පැත්තේද?” යන ප්‍රශ්නයට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ “බල අරගලයක කොටසක් නොවී එහි ප්‍රතිවිපාකවලින් තමන් ආරක්ෂා වන්නේ කෙසේද?” යන්නයි.


මෙය කුඩා රාජ්‍යයක පැවැත්ම (survival) පිළිබඳ ගැටලුවකි.
ශ්‍රී ලංකාවට බල අරගලයෙන් පිටත සිටිය හැකිද?


සම්පූර්ණයෙන්ම එසේ කළ නොහැක. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ පිහිටා තිබීම නිසාම එය ඉන්දියාවේ ආරක්ෂක අවධානයට යටත්ය. හම්බන්තොට, කොළඹ වරාය, ත්‍රිකුණාමලය සහ ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග නිසා එය චීනය, ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු ප්‍රධාන බලවතුන්ගේ උපායමාර්ගික අවධානයට ලක්වේ.


එම නිසා “අප කිසිදු බල අරගලයකට සම්බන්ධ නොවෙමු” යන ප්‍රකාශය පමණක් ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකාවට බල අරගලයෙන් පිටත සිටිය නොහැක. නමුත් බල අරගලයේ පාර්ශ්වකරුවෙකු නොවී සිටිය හැකිය. මෙම වෙනස ඉතා වැදගත්ය.

ශ්‍රී ලංකාවට ඇමරිකාව සමඟ සම්බන්ධතා තිබිය හැකිය. චීනය සමඟ සම්බන්ධතා තිබිය හැකිය. ඉන්දියාව සමඟ ආරක්ෂක සහ ආර්ථික සබඳතා තිබිය හැකිය. BRICS සමඟ සම්බන්ධතා තිබිය හැකිය. නමුත් මෙම සම්බන්ධතා කිසිවක් වෙනත් බලවතෙකුට එරෙහි බල අරගලයක ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙකු බවට පත් නොකළ යුතුය.

මෙය ස්වාධීනත්වය පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශයකට වඩා පැවැත්ම පිළිබඳ මූලෝපායකි (survival strategy).

BRICS නොයෑම: පසුබැසීමක්ද, අවදානම් කළමනාකරණයක්ද?

ශ්‍රී ලංකාව 2024 දී BRICS සාමාජිකත්වය සඳහා අයදුම් කළේය. කැබිනට් මට්ටමින් BRICS සහ New Development Bank සම්බන්ධ අයදුම්පතට අනුමැතිය ලබා දී තිබුණි. එහෙත් BRICS සමුළු සම්බන්ධයෙන් ජනාධිපති මට්ටමේ ඍජු සහභාගීත්වයක් නොවීම අවධානයට ලක්වන කරුණකි.

මෙය ශ්‍රී ලංකාව BRICS විරෝධී බවට සාක්ෂියක් නොවේ. එහෙත් එය BRICS සමඟ ඇති සම්බන්ධතාවයේ වේගය සහ දෘශ්‍යතාව පාලනය කිරීමට ආණ්ඩුව 

තීරණය කර ඇති බවට සංඥාවක් විය හැකිය. ඒ ඇයි?

BRICS යනු ඇමරිකාවට එරෙහි කඳවුරක් ලෙස නිල වශයෙන් නිර්වචනය කළ නොහැකි වුවත්, එය වර්ධනය වන විකල්ප බල අවකාශයකි. එහි සාමාජිකයන් සහ හවුල්කරුවන් අතර ඇමරිකානු ලෝක බල ව්‍යුහයට අභියෝග කරන අදහස්ද පවතී.

එවැනි අවකාශයකට ඉතා වේගයෙන් සහ ඉතා දෘශ්‍යමාන ලෙස ඇතුළු වීමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභවලට වඩා, වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ඇති විය හැකි අවදානම් වැඩි යැයි ආණ්ඩුව තක්සේරු කරන්නේ නම්, BRICS සම්බන්ධයෙන් ප්‍රවේශම් වීම යනු දෘෂ්ටිවාදීමය තෝරාගැනීමකට (ideological choice) වඩා පැවැත්ම පිළිබඳ ගණනය කිරීමකි. එහි අර්ථය “ඇමරිකාව තෝරාගැනීම” නොවේ. එය ඇමරිකාව සමඟ අනවශ්‍ය ලෙස ගැටීමෙන් වැළකීම විය හැකිය.

ඉරාන නෞකා ප්‍රශ්නයේ පෙනෙන සහ නොපෙනෙන දේ

මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව පෙනෙන්නේ ඉරාන නෞකා පිළිබඳ සිදුවීම තුළය. විපක්ෂය ඇමරිකානු පීඩනයක් යටතේ ශ්‍රී ලංකාව ඉරාන නෞකා සඳහා පහසුකම් සීමා කර ඇති බවට චෝදනා කළේය. ආණ්ඩුව එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාව කිසිදු බාහිර බලවතෙකුගේ නියෝගයක් මත නොව, තම ස්වෛරීත්වය, ජාත්‍යන්තර වගකීම් සහ මානුෂීය මූලධර්ම මත තීරණ ගන්නා බවයි.

මෙම ප්‍රකාශය ආණ්ඩුවේ නිල ස්ථාවරය පැහැදිලි කරයි. නමුත් සිදුවීම්වල අනෙක් පැත්තද වැදගත්ය. ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඉරාන නෞකා පිළිබඳව සම්බන්ධ වී තිබූ බවත්, එම නෞකා පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත්ද යන්න විමසා තිබූ බවත් වාර්තා විය. පසුව ශ්‍රී ලංකා ආරක්ෂක හා වරාය බලධාරීන් නෞකා පිළිබඳ නිරීක්ෂණ කටයුතු සිදු කර තිබුණි.

ඒ අනුව, ඇමරිකානු නියෝගයක් තිබූ බවට සාක්ෂි නොමැති වීම සහ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් නොතිබීම යන කරුණු දෙක එකක් නොවේ. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සන්නිවේදනයක් තිබුණි. එම සන්නිවේදනයේ සම්පූර්ණ අන්තර්ගතය ප්‍රසිද්ධ වී නැත. එබැවින් එහි පීඩනයක් තිබුණේද, කොතරම් බලපෑමක් තිබුණේද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැක.

මෙවැනි අවස්ථාවලදී බලය සෑම විටම “නියෝග” ලෙස පැමිණෙන්නේ නැත. සමහර විට බලය යනු විකල්පයක පිරිවැය පිළිබඳ දැනුවත් වීමයි.

ඇමරිකාවේ බලය නියෝගයකට වඩා විශාලය

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයද පැහැදිලි කර ඇති පරිදි ශ්‍රී ලංකාවට එරෙහිව විශේෂ ද්විතීයික සම්බාධක (secondary sanctions) පනවා නැත. එහෙත් ඇමරිකානු සම්බාධක ලැයිස්තුවේ ඇති පාර්ශ්ව සමඟ ගනුදෙනු කිරීමෙන් ශ්‍රී ලංකා සමාගම්වලට ඇමරිකානු මූල්‍ය පද්ධතිය සමඟ සම්බන්ධතාවයට අවදානම් ඇති විය හැකිය.
මෙහිදී ඇමරිකානු බලය ක්‍රියා කරන්නේ නියෝගයක් ලෙස නොව පද්ධතිමය බලයක් (systemic power) ලෙසය.

ශ්‍රී ලංකාවට කිසිවෙකු “මෙය කරන්න” කියා නොකීවත්, “මෙය කළහොත් ඇති විය හැකි ප්‍රතිවිපාක මොනවාද?” යන ප්‍රශ්නය රාජ්‍යයට ස්වභාවිකවම සිතා බැලීමට සිදුවේ. මෙය කුඩා රාජ්‍යයක විදේශ ප්‍රතිපත්ති යථාර්ථවාදයේ මූලික ස්වභාවයකි. බලය ක්‍රියාත්මක වන්නේ සෘජු බලපෑමෙන් පමණක් නොවේ. අනෙක් පාර්ශ්වය තමන්ගේ හැසිරීම කලින්ම සකස් කරගන්නා තරමට බලය ශක්තිමත්ය.

මෙය සිරිමාවෝගේ නොබැඳිභාවයට සමානද?

මෙහිදී සිරිමාවෝ බණ්ඩාරනායකගේ විදේශ ප්‍රතිපත්තිය සිහිපත් කිරීම වැදගත්ය. නමුත් එය සරල ඉතිහාසමය උදාහරණයක් (historical analogy) නොවිය යුතුය. සිරිමාවෝගේ යුගයේදී ශ්‍රී ලංකාව සීතල යුද්ධ බල තරගය තුළින් තමන්ට ඇති අවකාශය උපරිම කර ගැනීමට උත්සාහ කළේය. ඇමරිකාව, සෝවියට් සංගමය, චීනය, ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ විවිධ මට්ටම්වල සබඳතා පවත්වාගෙන යාම එහි කොටසක් විය.
එහෙත් එම යුගයේ ශ්‍රී ලංකාව අද මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන්, ඩොලර් මූල්‍ය පද්ධතිය, දැවැන්ත විදේශ ණය, ගෝලීය සැපයුම් දාම, සංකීර්ණ වෙළෙඳ සම්බන්ධතා සහ ගෝලීය මූල්‍ය අවදානම් මත රඳා සිටියේ නැත. එබැවින් අද සිරිමාවෝගේ නොබැඳිභාවයේ ආකෘතිය යළි ප්‍රතිනිර්මාණය කළ නොහැක. එහෙත් ඇයගේ ප්‍රතිපත්තියේ ගැඹුරු පාඩම තවමත් වැදගත්ය: එනම්, බලවතුන් අතර තරගයට සම්පූර්ණයෙන් ඇතුළු නොවී, එම තරගය තුළ තම පැවැත්ම සඳහා අවකාශයක් නිර්මාණය කරගැනීමයි.

එය අද නව ආකාරයකින් නැවත සිතා බැලිය හැකිය.

ස්වාධීනත්වයද, පරායත්තතාවද?

මෙතැනදී “ස්වාධීනත්වය” යන වචනය පිළිබඳවද නැවත සිතා බැලිය යුතුය. කුඩා රාජ්‍යයකට සම්පූර්ණ ස්වාධීනත්වයක් තිබේ යැයි පැවසීම ජාත්‍යන්තර දේශපාලනයේ යථාර්ථය නොසලකා හැරීමකි. එහෙත් එයින් කුඩා රාජ්‍යයකට කිසිදු තේරීමක් නැත යන්නද අදහස් නොවේ. ස්වාධීනත්වය යනු කිසිවෙකු මත රඳා නොසිටීම නොවිය හැකිය. එය රඳා සිටින සම්බන්ධතා කිහිපයක් අතරින් තම පැවැත්මට වඩාත් හිතකර සංයෝජනය තෝරාගැනීමට ඇති හැකියාව විය හැකිය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අරමුණ විය යුත්තේ පරායත්තතාව (dependence) අවසන් කිරීම නොව, භයානක පරායත්තතාවක් (dangerous dependence) ඇතිවීම වැළැක්වීමය. ඇමරිකානු වෙළෙඳපොළ අවශ්‍යය. චීන ආයෝජන අවශ්‍යය. ඉන්දියානු ආරක්ෂක සහ කලාපීය සම්බන්ධතාවය අවශ්‍යය. ජපාන හා යුරෝපා ආයෝජන අවශ්‍යය. ගෝලීය දකුණ සහ BRICS තුළ රාජ්‍යතාන්ත්‍රික අවකාශය අවශ්‍යය. මේ සියල්ල එකවර අවශ්‍ය වීම දුර්වලතාවක් නොවේ.

එය කුඩා රාජ්‍යයක පැවැත්ම පිළිබඳ මූලෝපායික සැලසුමකි.

මානුෂීය භාෂාව සහ යථාර්ථය

විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශවල ඇති මානුෂීය හා බහුපාර්ශ්වික භාෂාවත්, ආණ්ඩුවේ ඇතැම් ප්‍රායෝගික තීරණත් එකිනෙකට පරස්පර ලෙස දැකීම අවශ්‍ය නොවේ. පලස්තීනයේදී ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් පෙනී සිටිය හැකිය. එක්සත් ජාතීන් තුළ දුප්පත් රටවල අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ හැකිය. ස්වෛරීත්වය පිළිබඳව දැඩි ප්‍රකාශ කළ හැකිය. ඒ සමඟම ඇමරිකාව සමඟ අනවශ්‍ය ගැටුමක් වළක්වාගත හැකිය. ඉරානය සම්බන්ධයෙන් සෘජු පාර්ශ්වකරුවෙකු නොවී සිටිය හැකිය. BRICS සමඟ සම්බන්ධතාවය අත් නොහැර, එහි දේශපාලන දෘශ්‍යතාව පාලනය කළ හැකිය.

මෙය පරස්පරතාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවිය හැකිය. එය ප්‍රතිමානීය රාජ්‍යතාන්ත්‍රිකභාවය (normative diplomacy) සහ යථාර්ථවාදී පැවැත්ම (realist survival) එකවර ක්‍රියාත්මක කිරීමක් විය හැකිය.

බලවතෙකු නොව අවශ්‍ය වන්නේ අවකාශයකි

මෙම සියලු සිදුවීම් එකට තබා බැලූ විට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ “ඇමරිකාවද, චීනයද?” යන්න නොවේ. එය “ශ්‍රී ලංකාව ස්වාධීනද?” යන්නද නොවේ. වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ:

“ශ්‍රී ලංකාව බලවත් රාජ්‍යයන් අතර පවතින අරගලයට පාර්ශ්වකරුවෙකු නොවී, එම අරගලයේ ප්‍රතිවිපාකවලින් තම පැවැත්ම ආරක්ෂා කරගන්නේ කෙසේද?”

ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අවසාන අරමුණ කිසිදු බලවතෙකුගෙන් සම්පූර්ණයෙන් ස්වාධීන වීම නොවේ. එය ප්‍රායෝගිකව කළ නොහැකි ඉලක්කයකි.
අවසාන අරමුණ විය යුත්තේ කිසිදු බල අරගලයක පාර්ශ්වකරුවෙකු නොවී, එම බල අරගලය මැදින් තම ආර්ථිකය, ස්වෛරීත්වය සහ රාජ්‍ය පැවැත්ම ආරක්ෂා කරගැනීමට තරම් අවකාශයක් රැකගැනීමයි.

එය දුර්වල රාජ්‍යයක පරාජිත උපායමාර්ගයක් නොවේ. එය කුඩා රාජ්‍යයක යථාර්ථවාදී පැවැත්මේ දේශපාලනයයි.


(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
ආචාර්ය අතුලසිරි සමරකෝන්

Digital creator, Lecturer at Open University of Sri Lanka, Former Teaching assistant at University of Colombo smasa@ou.ac.lk

View all stories by ආචාර්ය අතුලසිරි සමරකෝන්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...