අද නොවැම්බර 12 වන දින, ඊළග 2027 අවුරුද්ද සදහා රටේ වාර්ෂික අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය වන්නේය. අයවැය ඉදිරිපත් කෙරෙන්නේ නොයෙකුත් ඉල්ලකම් සමග ය. ආර්ථික විද්‍යාඥයින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කියන ඉලක්කම්වත් වාර්ෂිකව අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයෙකු ඉදිරිපත් කරන ඉලක්කම්වත් මොනවට ඉදිරිපත් කරන්නේදැයි සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැත. මුදල් ඇමතිවරයෙකු ඉලක්කම් යොදා ගන්නේ තමන් යටතේ ආර්ථික වර්ධනයක් ඇතැයි කීමට විය යුතුය. වෙනත් පාර්ශවයක් එවැනි ඉලක්කම් යොදා ගනු ඇත්තේ ආණ්ඩුවේ ආර්ථික කලමනාරකණය අසාර්ථක යැයි කීමට විය යුතුය. මේ ඉලක්කම් භාවිතය සෙල්ලමක් මිස තාර්කික ආර්ථික විවරණයක් නොවේ යැයි මා කියන්නේ ඒවා සාම්ප්‍රදායිකව, පුරුද්දකට කෙරෙන්නේ යැයි සිතෙන නිසාවෙනි.
ඒක පුද්ගල ආදායම සහ සැබෑ වැටුප් අතර පරතරය
මේ එක් සරළ උදාහරණයකි. ආසන්නම දත්ත සමග මහ බැංකුව “ශ්‍රී ලංකා ආර්ථිකය ලුහුඬින්” යැයි ප්‍රසිද්ධ කර ඇති වාර්තාවට අනුව මාසික “ඒක පුද්ගල ආදායම” රුපියල් 1,25,448 කි. ඒක පුද්ගල ආදායම යනු රටේ සමස්ථ ජාතික ආදායමට අනුව වයස අවුරුදු 16 ට වැඩි එක් පුද්ගලයෙකු මාසිකව ලබන්නාවූ ආදායම ගණන් හැදීමකි. මෙහි හාස්‍ය වන්නේ, මේ කියන්නාවූ රුපියල් 1,25,448 ක් වන ඒක පුද්ගල ආදායම, රාජ්‍ය සේවාවේ ප්‍රා.ලේකම්වරුන්ට, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්ට, අධ්‍යක්ෂවරුන්ට පවා මාසික වැටුප ලෙස නොලැබීමය. ඔවුන්ගේ වැටුප රුපියල් 1,10,000 සීමාවෙන් පහළ තිබෙන්නකි. අතිකාල, ගමන් වියදම් කිසිත් නොලබන විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ මාසික වැටුපද ඊට බෙහෙවින් අඩුය. ජාතික ආදායම හා ඒක පුද්ගල ආදායම ලෙස මහ බැංකුව සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මේ ඉලක්කම් ප්‍රායෝගික ජීවිතයට ඇති වැදගත්කම කුමක්ද?
සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අවසන් වශයෙන් 2019 සිදු කළ වාර්ෂික ගෘහියික ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව, සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් ආහාර, ඇඳුම් පැළඳුම් ඇතුළු මූලික, ප්‍රාථමික අවශ්‍යතා සඳහා පමණක් මාසිකව රුපියල් 66,000 ක් වැය කළ යුතුය. එදා සිට වාර්ෂිකව සියයට 06 කින් පමණ ඉහළ ගිය ජීවන වියදම පසුගිය වසර හා බැලූ විට, මේ වසරේ සියයට 08.3 කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2025 අවසන් වන විට ගෘහියික අවම මාසික වියදම වශයෙන් පවුලක් දළ වශයෙන් රුපියල් 72,000 ක් වත් වියදම් කළ යුතුය. ජීවත්වීමට එවැනි මුදලක් නොමැති නම්, ඒ පවුල අනිවාර්යෙන්ම දුප්පත් පවුලකි.
දරිද්‍රතා රේඛාව පිටුපස ඇති සැඟවුණු සූත්‍රය

ඉකුත් සැප්තැම්බරයේදී සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දරිද්‍රතා රේඛාව තීන්දු කෙරුවේ රුපියල් 17,742 ක මාසික ආදායමට ය. එතැන් සිට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව දුප්පත් යැයි ගණන් හැදුණේ රුපියල් 17,742 ක මාසික ආදායමක් නොලබන වුන්ය. දෙපාර්තමේන්තුවට අනුව දෙමාපියන් දෙදෙනම ආදායම් ලබන්නේ නම්, පුරුෂයා රුපියල් 100 ක් උපයන විට, කාන්තාව උපයන්නේ රුපියල් 80 කි. ඒ අනුව දෙදෙනම දරිද්‍රතා රේඛාවෙන් පහළ නම්, පවුලේ මාසික උපරිම ආදායම රුපියල් 32,000 ට අඩු ය. එහි තිබිය හැකි එකම තේරුම නම්, එවැනි පවුලක් මාසයෙන් අඩක් නිරාහාරව සිටිය යුතුය යන්නය. නැතිනම් මාසය පුරාම, දෛනිකව අඩ බඩගින්නේ සිටිය යුතුය.
මේ ඉලක්කම් හැදීම් සාමාන්‍ය අපට නොතේරුණාට, ඒවා ගණනය කිරීමේ හා සාධාරණය කිරීමේ න්‍යායික සූත්‍ර හා තර්ක ඔවුන්ට ඇත. එහෙත් අපට ඉතිරිවන සරළ ප්රශ්නය වන්නේ, පවුලක මූලික අවශ්‍යතා සඳහා පමණක් මාසිකව රුපියල් 72,000 ක් වැය කරන්නට සිදු වන්නේ නම්, දරිද්‍රතා රේඛාව රුපියල් 72,000 ට තීන්දු නොකර රුපියල් 17,742 ට තීන්දු කරන්නේ මන්ද යන්නය. එයට මා සතු උත්තරයක් ඇත. දරිද්‍රතා රේඛාව එවැනි යථාවාදී වියදම් මට්මක් ලෙස තීන්දු කළහොත් දෙලක්ෂයකට වැඩි ගුරුවරුන් හා විදුහල්පතිවරුන්, ලිපිකරුවන් ඇතුළු රජයේ සේවයේ අති බහුතරයක්ද, නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් සේවක සේවිකාවන්ද අවිධිමත් ආර්ථිකයේ පිරිස්ද ඇතුළු ලක්ෂ 30 ට වැඩි පිරිසක් දිළිඳු සහනාධාර සඳහා හිමිකම් කියනු ඇත. දුප්පත්කම රුපියල් 17,742 ට තීන්දු කිරීමට සූත්‍ර ඇත්තේ ඒ අර්බුදයට හසු නොවන්නටය. අපට එකවර නොතේරුණද ඉලක්කම් සමග කෙරෙන මේ සෙල්ලම් එවැනි කර ඇරීම් වෙනුවෙනි.
අයවැය ඇස්තමේන්තු සහ දේශපාලන මායාව
වාර්ෂික අයවැය ඉදිරිපත් කරමින් පසුගිය දසක දෙක තුනක කාලයේ සිට උපුටා දක්වන සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් කෙරෙන්නේද එවැනි සෙල්ලම් කිරීමකි. හැම වාර්ෂික අයවැයෙහිම ලබන වසරෙහි “අපේක්ෂිත” දේශීය ආදායම අනුමානයකට වඩා අයවැය සකසන්නන්ගේ අපේක්ෂාවකි. එළෙස ගණන් හැදීමට ඇති පහසුව, මේ ඉලක්කම් හැදෙන ආකාරය ගැන සිරස්තල යටතේ අයිතමයෙන් අයිතමය පැහැදිලි නොකිරීමය. වසර අවසානයේ ඒ ගණන් හැදීම ගැන කෙරෙන සවිස්තරාත්මක විස්තරයක්ද නොමැත.
කෙටි පැහැදිලි කිරීමක් කරන්නේ නම්,
යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති වශයෙන් 2016 අයවැය ඉදිරිපත් කරමින් රවි කරුණානායක පාර්ලිමේන්තුවට කියුවේ බදු සහ බදු නොවන ආදායම්, පළාත් සභා ආදායම් සහ අපේක්ෂිත ආධාරද එකතුව රුපියල් ට්‍රිලියන 02.075 ක වාර්ෂික ආදායමක් ඔහු අපේක්ෂා කරන බවය. එම ආදායම අපේක්ෂා කරනුයේ සාර්ව ආර්ථික වර්ධනයේත් දේශීය බදු ක්රමයෙහි තත්ත්වය වගේම, සියයට 07-08 ක ආර්ථික වර්ධනයක්ද සියයට 05 ක පමණ උද්ධමනයක්ද භාණ්ඩ හා සේවා අපනයන වර්ධනයක්ද සළකා බැලීමෙන් යැයි ඔහු අයවැය කතාවෙහිදී කීවේය. බදු ආදායම, බදු නොවන ආදායම, පළාත් සභා ආදායම් සහ අපේක්ෂිත ආධාර වෙන් වෙන් වශයෙන් කොපමණ දැයි නොකියන විට, සමස්ථ ආදායම රුපියල් ට්‍රිලියන 02.075 ක් නොව, ට්‍රිලියන 03.075 ක ආදායමක් යැයිද කිව හැක. එය එසේ වූයේ කෙසේදැයි ඇසුවත් “ඒ අපේ අනුමාන තක්සේරු කිරීම් අනුව” යැයි කිව හැකි හෙයිනි.
වැදගත් කාරණාව වන්නේ වාර්ෂික ආදායම් එළෙස වැඩි වන්නේ යැයි කීමෙන් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන්නේ යැයි කිව හැක. පොහොර සහනාධාරය වැඩි කරන්නේ යැයි කිව හැක. ජන සමාජය තෘප්තිමත් කෙරෙන එවැනි යෝජනා කෙරෙන්නේ ආදායම් වැඩි වන නිසා නොවේ. ආණ්ඩුවේ ජනප්‍රියත්වය වෙනුවෙන් මහ බැංකුව මුදල් ප්‍රමාණයක් අච්චු ගසන නිසා සහ තවත් කොටසක් දේශීය ණය ලෙස තබා ගැනීමට හැකි නිසා ය. වසර අවසානයේ අපේක්ෂිත ආදායම වෙළඳ හිඟයක් ලෙස සටහන් කෙරෙන්නේය.
පලා මිටියේ ලාභය සහ වෘත්තීය සමිති වගකීම

මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මහ භාණ්ඩාගාරය, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැනි එකී නොකී හැම බලධර ආයාතනයක්ම දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම, උද්ධමනය, ආර්ථික වර්ධනය වැනි අයිතම සඳහා දෙනු ලබන වාර්ෂික අගයන් දසක ගණනක් ඉලක්කම් සංශෝධනය කරමින් ඉදිරිපත් කෙරුනු අගයන් ය. ඒවා විද්වත් තලයේ වාද විවාද වලට සීමාවන ඉලක්කම්ය. සාමාන්‍ය ජනතාව සිල්ලර වෙළද පොලෙහි පාරිභෝගිකයෙකු ලෙස ගනුදෙනු කරන්නේ ඒ ඉලක්කම් අනුව නොවේ. එහි මිල ගණන් තීන්දු වන්නේ සිල්ලර වෙළෙන්දාගේ වියදම වෙනුවෙන් දවස අවසානයේ ඔහු තියා ගන්නා ලාභය අනුවය. “එහෙනම් සීයක් දෙන්නකො” යැයි රුපියල් කීපයක් අඩුකර පලා මිටියක් ඔහු විකුණන්නේ යන්තම් හෝ ලාභයක් එහි ඇතැයි දන්නා හෙයිනි.
ඒ සිල්ලර වෙළදපලෙහි තීන්දුවන ජීවන වියදම, බහුතරයකගේ මාසික ආදායම හා ගැලපෙන ලෙස කලමනාකරණය කරන්නේ කෙසේද යන්නට, මට තේරෙන අන්දමින් විද්වතුන්ගේ ඉලක්කම් සෙල්ලමෙහි උත්තර නැත. පශ්චාත් අයවැය සාකච්ඡා නාගරික මැදපංතික කතිකා ලෙස කෙරෙන අතර, ජීවන වියදම හා පුද්ගල ආදායම සම්බන්ධයෙන් වෙළඳපල නියාමනය කිරීමේ සිට පොදු සේවා දියුණු කිරීම් ගැන කතාව වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ සංවිධාන බාර ගත යුතු යැයි මම කියමි.
2026 නොවැම්බර 12 වන දින




