The Leader News
BREAKING
'Teardrop Nation' වාර්තා චිත්‍රපටය හරහා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය නැවත කියවීම●71 අරගලයේ නිහඬ සාක්ෂිකරුවෙකු වූ 'අනුර සහෝදරයා' දිවි සැරිය නිම කරයි●ණය බර අඩු කරන 2027 අයවැයට Fitch සහතිකය●ක්‍රිෂ් ගනුදෙනුවේ ඇප නියෝගයට මහාධිකරණයෙන් නාමල්ට අතුරු තහනමක්●කථානායකට එරෙහි පෙත්සම: පාර්ලිමේන්තු පරිපාලනය අධිකරණයට යටත් ද?●මැණික් පර්යේෂණ ආයතනය ඈවර කෙරේ; විද්‍යාත්මක ස්වාධීනත්වයට කුමක් වේද?●චීන තානාපති සහ පාත්ෆයින්ඩර් නිර්මාතෘ අතර විශේෂ හමුවක්●FBI විරෝධයේ සිට සහයෝගීතාව දක්වා: ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියේ නව හැරවුම●මෙටා 'මියුස්' (Muse) AI සහායකයාගෙන් පෞද්ගලිකත්වයට බරපතළ තර්ජන?●ට්‍රම්ප් චීනයට පැමිණෙද්දී ෂී-පුටින්ගෙන් බටහිරට දැඩි වාග් ප්‍රහාරයක්●
Top Ad
Opinion

'Teardrop Nation' වාර්තා චිත්‍රපටය හරහා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය නැවත කියවීම

Pasan

Pasan

November 18, 2026 • 11:42 PM

'Teardrop Nation' වාර්තා චිත්‍රපටය හරහා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය නැවත කියවීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාරා කබීර් (Sarah Kabir) අධ්‍යක්ෂණය කළ Teardrop Nation වාර්තා චිත්‍රපට මාලාවේ පළමු කථාංගය වන The Seeds We Sow (අප වැපිරූ බීජ) නැරඹීමෙන් පසු මා තුළ ඇති වූයේ එහි නිර්මාණාත්මක ශිල්පීයත්වය, බුද්ධිමය පරිශ්‍රමය සහ ඓතිහාසික ගැඹුර පිළිබඳ විශාල ප්‍රසාදයකි.
  • Project 72 නිෂ්පාදනයක් වන මෙම කොටස් හතරකින් සමන්විත වාර්තා චිත්‍රපට මාලාව, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ඉතිහාසය නැවත විමර්ශනය කරමින්, සමාජීය වෙනස්කම් හා අනන්‍යතා බෙදීම් ප්‍රචණ්ඩ ගැටුමක් දක්වා වර්ධනය වූ ආකාරය විමසා බලයි.
  • මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම හුදෙක් ජනවර්ග දෙකක් හෝ කිහිපයක් අතර පැවති ගැටුමක් ලෙස නොසැලකීමයි.
  • සමාජයේ පැවති විවිධත්වයන් දේශපාලන බලය ලබාගැනීමේ මෙවලම් බවට පත්වීමත්, ජනවාර්ගික හා ආගමික අනන්‍යතා මැතිවරණ දේශපාලනයේ ප්‍රධාන සාධක බවට පරිවර්තනය වීමත් මෙහිදී විමර්ශනය කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සාරා කබීර් (Sarah Kabir) අධ්‍යක්ෂණය කළ Teardrop Nation වාර්තා චිත්‍රපට මාලාවේ පළමු කථාංගය වන The Seeds We Sow (අප වැපිරූ බීජ) නැරඹීමෙන් පසු මා තුළ ඇති වූයේ එහි නිර්මාණාත්මක ශිල්පීයත්වය, බුද්ධිමය පරිශ්‍රමය සහ ඓතිහාසික ගැඹුර පිළිබඳ විශාල ප්‍රසාදයකි. Project 72 නිෂ්පාදනයක් වන මෙම කොටස් හතරකින් සමන්විත වාර්තා චිත්‍රපට මාලාව, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ඉතිහාසය නැවත විමර්ශනය කරමින්, සමාජීය වෙනස්කම් හා අනන්‍යතා බෙදීම් ප්‍රචණ්ඩ ගැටුමක් දක්වා වර්ධනය වූ ආකාරය විමසා බලයි.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම හුදෙක් ජනවර්ග දෙකක් හෝ කිහිපයක් අතර පැවති ගැටුමක් ලෙස නොසැලකීමයි. ඒ වෙනුවට, එම ගැටුමේ මූලයන් සොයා යන්නේ මෙරට සමාජයේ ඓතිහාසික පරිණාමය, රාජ්‍ය ආයතන, අනන්‍යතා දේශපාලනය සහ අනුප්‍රාප්තික දේශපාලන නායකත්වයන්ගේ තීරණ විමර්ශනය කිරීමෙනි.

ගැටුමේ මූලයන් සහ දේශපාලන තීරණ

දීර්ඝ කාලයක් භාෂාමය, ආගමික හා සංස්කෘතික සහජීවනයක් පැවති සමාජයක් ජනවාර්ගික හා ආගමික වශයෙන් මෙතරම් ගැඹුරින් බෙදී ගියේ කෙසේද? යන්න මෙම වාර්තා චිත්‍රපටය මතු කරන මූලික ප්‍රශ්නයකි.

සමාජයේ පැවති විවිධත්වයන් දේශපාලන බලය ලබාගැනීමේ මෙවලම් බවට පත්වීමත්, ජනවාර්ගික හා ආගමික අනන්‍යතා මැතිවරණ දේශපාලනයේ ප්‍රධාන සාධක බවට පරිවර්තනය වීමත් මෙහිදී විමර්ශනය කෙරේ. එමඟින් ජනවාර්ගික ගැටුම ස්වභාවිකව හටගත් අනිවාර්ය ප්‍රතිඵලයක් නොව, දේශපාලන තීරණ හා ආයතනික ක්‍රියාකාරීත්වයන් මඟින් ක්‍රමයෙන් ගොඩනැඟුණු තත්ත්වයක් බව අවධාරණය කරයි.

විශේෂයෙන්ම භාෂා ප්‍රතිපත්ති, ව්‍යවස්ථාමය වෙනස්කම්, ජාතික අනන්‍යතාව පිළිබඳ තරගකාරී අදහස් සහ දේශපාලන නායකයන්ගේ මැතිවරණ අරමුණු ජනවාර්ගික අවිශ්වාසය තීව්‍ර කළ ආකාරය මෙම කථාංගය තුළින් මතු වේ. ක්ෂණික දේශපාලන වාසි වෙනුවෙන් ගනු ලැබූ තීරණ පසුකාලීනව සමාජ ඒකාබද්ධතාවට සහ ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනයට බාධාකාරී ව්‍යුහාත්මක සාධක බවට පත්විය.

මෙහි The Seeds We Sow යන නාමය ද සංකේතාත්මක වැදගත්කමක් දරයි. පසුකාලීන ප්‍රචණ්ඩත්වය හදිසියේ ඇති වූවක් නොව, ඊට පෙර දේශපාලන තීරණ, ආයතනික භාවිතයන් සහ විවිධ ජනකොටස්වල අභිලාෂයන් පිළිගැනීමට නායකත්වයන් දැක්වූ අසමත්කම් තුළ එහි බීජ පැවති බව එයින් යෝජනා කෙරේ.

MV5BZTEyYjQ4MDItZmI4NC00NDJiLWFlMjAtMTJlMjY5MmQwYTUzXkEyXkFqcGc@._V1_.jpg

බහුවිෂයීය ප්‍රවේශය සහ ඓතිහාසික සාක්ෂි

මෙම වාර්තා චිත්‍රපටයේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ ඉතිහාසය පිළිබඳ එක් ජනවාර්ගික හෝ දේශපාලන කථනයකට සීමා නොවී, විවිධ අර්ථකථන එකම ඓතිහාසික රාමුවක් තුළ ගෙන ඒමට දරන උත්සාහයයි. ඉතිහාසඥයන්, දේශපාලන විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, භාෂා විශාරදයන් සහ විවිධ ජනවාර්ගික ප්‍රජාවන් නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ අදහස් එකට ගෙන ඒමෙන් මෙය බහුවිෂයීය ප්‍රවේශයක් අනුගමනය කරයි.

විශේෂයෙන්ම ඓතිහාසික ලේඛන, සම්මුඛ සාකච්ඡා සහ පුද්ගල අත්දැකීම් භාවිත කර ඇති ආකාරය ප්‍රශංසනීයය. මෙහිදී දෘශ්‍ය දර්ශන අතීතය අලංකාර කිරීමේ මෙවලමක් පමණක් නොව, ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන සාක්ෂි බවට පත්වේ. මේ අර්ථයෙන් සාරා කබීර්ගේ නිර්මාණය සිනමාත්මක කාර්යයකට වඩා පුළුල් වූ ඓතිහාසික හා බුද්ධිමය මැදිහත්වීමකි.

කෙසේ වෙතත්, විවිධ මත ඉදිරිපත් කිරීම පමණක් ඓතිහාසික වාස්තවිකත්වය නොවේ. ඒවා සාක්ෂි මත පරීක්ෂා කිරීමත්, ඓතිහාසික සිදුවීම්, පුද්ගල මතකයන් සහ දේශපාලන සාධාරණීකරණයන් අතර වෙනස හඳුනාගැනීමත් අවශ්‍යය. එසේම ගැටුමේ ඓතිහාසික මූලයන් පැහැදිලි කිරීමේදී විවිධ දේශපාලන පාර්ශ්වයන්ගේ වගකීම් ද නොසඟවා විමර්ශනය කළ යුතුය.

අතීතය විවේචනාත්මකව නැවත කියවීම

ශ්‍රී ලංකාව අද අවශ්‍ය කරන්නේ අතීතය සැමරීම පමණක් නොව, එය විවේචනාත්මකව නැවත කියවීමකි. අපේ දේශපාලන ආයතන විවිධත්වය පිළිගැනීමට අසමත් වූයේ ඇයි? ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ජනවාර්ගික බෙදීම් පාලනය කිරීමට අසමත් වූයේ කෙසේද? දේශපාලන නායකත්වයේ තීරණ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට මෙතරම් විනාශකාරී බලපෑමක් ඇති කළේ ඇයි? යන ප්‍රශ්න අප නැවත ඇසිය යුතුය.

පළමු කථාංගය පමණක් නැරඹීමෙන් සමස්ත වාර්තා චිත්‍රපට මාලාව පිළිබඳ අවසාන තීන්දුවකට පැමිණිය නොහැකිය. ඉදිරි කථාංග තුළ ගැටුමේ වඩාත් සංකීර්ණ අවධීන්, දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ සාම ප්‍රයත්නයන් කෙසේ විග්‍රහ කරන්නේද යන්න ද වැදගත් වේ.

එහෙත් පළමු කථාංගය තුළින්ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ගැඹුරු සංවාදයකට අවශ්‍ය පදනම සකස් කර තිබේ. ඉතිහාසය යනු එකිනෙකා සමඟ ගැටුණු ජනවර්ගවල කතාවක් පමණක් නොවේ. එය දේශපාලන තීරණ, ආයතනික අසමත්කම්, තරගකාරී ජාතිකවාදයන් සහ ඒවායේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන් සාමාන්‍ය මිනිසුන්ගේ කතාව ද වේ.

සාරා කබීර් සහ Project 72 කණ්ඩායමට මෙවැනි බරපතළ බුද්ධිමය හා සිනමාත්මක කාර්යයක් වෙනුවෙන් ප්‍රශංසාව හිමිවිය යුතුය.

අතීතය නැවත විමසා බැලිය යුත්තේ එහි සිරකරුවන් වීමට නොව, එහි ඛේදවාචක නැවත නිර්මාණය නොවන අනාගතයක් ගොඩනඟා ගැනීමටය.

(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Lecturer at Open University of Sri Lanka

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්)

ආචාර්ය අතුලසිරි සමරකෝන්

Digital creator, Lecturer at Open University of Sri Lanka, Former Teaching assistant at University of Colombo smasa@ou.ac.lk

View all stories by ආචාර්ය අතුලසිරි සමරකෝන්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...