BREAKING
Top Ad
Opinion

"නලින්ට ගණ දෙවි නුවණක් දෙන්නේ" - නලින් ද සිල්වාට අභියෝග 4

T

The Leader

March 5, 2021 • 10:40 PM

"නලින්ට ගණ දෙවි නුවණක් දෙන්නේ" -  නලින් ද සිල්වාට අභියෝග 4

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැඳලා දෙවියන් පොත අරගන්නේ යැදලා ගුරුනුත් සිත් නොතළන්නේ සකලා සිල්පය මට සෑදෙන්නේ දැකලා ගණ දෙවි නුවණක් දෙන්නේ
  •   මෙම කවියේ ඇති වැදගත්කම කුමක්ද ?
  •  මෙහි කුඩා ළමයා දෙවියන් යැද ඉල්ලා සිටින්නේ තමන්ට ගණදෙවියන් හා සමාන නුවණක් ලබාදෙන ලෙසය.
  • එක් දිනක් මේ දෙදෙනා අතරින් වඩා දක්ෂ කවුදැයි  බැලීමට වහා කරදිය වලල්ල වටා දිවා එන ලෙස තම පුතුන් දෙදෙනාට, ශිව දෙවියන් පැවැසීය.    මොනරා උඩ නැගුණු ස්කන්ධ කුමාර ඉතා වේගයෙන් සප්ත මහා සාගරය වටා යාමට පටන් ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මෙය "වදන් කවි පොත" හි ඇති කවියකි. වදන් කවි පොත ලියැවුනේ මහනුවර රජකම් කල නරේන්ද්‍රසිංහ රජ දවසේය. ඒ  අලුතින් අත්පොත් තබන දරුවන්ට අකුරු ඉගෙනීම ඇරඹුමටය. වදන් කවි පොත ලියැවෙන විට බටහිර අධ්‍යාපනය ලංකාවේ නොතිබිණි. එකල මහනුවර ස්වාධීනරාජ්‍යයක් විය. 
 
එ නිසා වදන් කවි පොතින් පිළිබිඹු කරන්නේ බටහිරයන්ගෙන් විකෘති නොවූ දේශීය අධ්‍යාපන ක්‍රමය පිළිබඳ විය යුතුය.
 
මෙම කවියේ ඇති වැදගත්කම කුමක්ද ? මෙම කවි පොතෙහි රචකයා වූ අත්තරගම රාජගුරු බණ්ඩාර පඞිවරයා අධ්‍යාපනයේදී, දෙවියන්, පොත්, ගුරුවරුන්  හා ශිල්පය මගින් සිදුකරන කාර්යයන් පැහැදිලිව වෙන් වෙන්ව හඳුන්වා දීම නිසාය.
 
 "නුවණ" යනු යමෙකුට යමක් වටහා ගැනීමට හැකි නෛසර්ගික හැකියාවය. යමක් ගැන ඉක්මනින්, පැහැදිළිව, පිරිසිඳුව සිතීමේ හැකියාවය. 
 
 
මෙම කවියේ "පොත" පිළිබිඹු කරන්නේ "දැනුම" ලබා ගැනීමේ මාර්ගයයි. 
 
"සිල්පය" නම් පුහුණුව  ඇසුරින් ලබා ගන්නා කුසලතාවයන්ය. මේ දැනුම සහ කුසලතාවය ලබා දෙන වාහකයා "ගුරු"තුමාය.  මෙහි කුඩා ළමයා දෙවියන් යැද ඉල්ලා සිටින්නේ තමන්ට ගණදෙවියන් හා සමාන නුවණක් ලබාදෙන ලෙසය. ඔහු දෙවියන්ගෙන් දැනුම ඉල්ලා සිටින්නේ නැත. 
 
 
 
ගණ දෙවියන් පිළිබඳව ඇති දේව කතා වලට අනුව ඔහුට පැහැදිළිව, පිරිසිඳුව ඉක්මන්ව සිතීමේ ශක්තිය තිබිණි.ඒ පිළිබඳ එක් දේව කතාවක් මෙසේය. 
 
ස්කන්ධ කුමාර හා ගණ දෙවි, ශිව දෙවියන්ගේ පුතුන් දෙදෙනාය. එක් දිනක් මේ දෙදෙනා අතරින් වඩා දක්ෂ කවුදැයි  බැලීමට වහා කරදිය වලල්ල වටා දිවා එන ලෙස තම පුතුන් දෙදෙනාට, ශිව දෙවියන් පැවැසීය. 
 
මොනරා උඩ නැගුණු ස්කන්ධ කුමාර ඉතා වේගයෙන් සප්ත මහා සාගරය වටා යාමට පටන් ගත්තේය. ගණ දෙවියන් ගෙදර තිබූ ලුණු පොල් කට්ට වටා දුව ගොස් වහා පැමිණියේය. ශිව දෙවියන් ගණ දෙවියන්ට දිනුම ලබාදුන්නේය. කෝපයට පත් ස්කන්ධ කුමාර ගණ දෙවියන්ට පහර දී ඔහුගේ එක් දළයක් කඩා දැමීය. ගණ දෙවියන්ට කැඩුණු දළයක් ඇත්තේ ඒ නිසාය. 
 
නෛසර්ගික, පැහැදිලිව සිතීමේ හැකියාව හා ස්ථානෝචිත ප්‍රඥාව ගැන මෙය කොතරම් අගනා කතාවක්ද ? 
 
අත්පොත් තබන නුවර යුගයේ දරුවා දෙවියන්ගෙන් ඇයද සිටින්නේ ඒ නුවණ පමණි. 
 
පැරණි සිංහල සමාජය දැනුම ලබාගැනීමේදී පොතපත පරිශීලිනය කිරීමට, ගුරුවරයකුගෙන් ඉගෙන ගැනීමට  සහ ශිල්පයන් හැදැරීමට  දී ඇති වැදගත් තැන මෙම කවියෙන් පැහැදිළිව පිළිබිඹු කෙරේ. එසේ නමුත් නලින් ද සිල්වා මැතිතුමා හා ඔහුගේ අනුගාමිකයන්ට අනුව, දෙවියන්ට දැනුම දිය හැක.
  
නලින් ද සිල්වා මැතිතුමා හා ඔහුගේ අනුගාමිකයින්ට අනුව වෙදකම ඉගෙනගැනීමට ආයූර්වේදය ගැන හෝ හෙළවෙදකම ගැන හෝ  ගැන කිසිඳු පොතක් පතක් කියවීම අවශ්‍ය නොවේ. 
 
එසේම ගුරුවරයකුගෙන් ඉගෙන නොගෙන, ධම්මික මහතා වැනි කපු/වඩුමහතෙකුට හදිසියේම ඖෂධ ප්‍රකාශ කිරීමේ ශක්තිය ලැබිය හැකිය. 
 
රෝගියකුව සිටි ප්‍රියන්තා සේනානායක නම් මැතිනියට හදිසියේ ඖෂධ නියම කිරීමේ හැකියාව ලැබිය හැක. 
 
නලින් ද සිල්වා මහතා ඔහුගේ ලිපිවල පැහැදිලිව සඳහන් කරන අන්දමට පොත පත උගත්, පුහුණුව ලත් වෛද්‍යවරයෙකු/වෙදමහතකු හා එසේ වෙදකම නුගත් වඩු/කපු මහතෙකු නියම කරන බෙහෙත් අතර වෙනසක් තිබිය නොහැක.
 
එහිදී, ඒ දැනුම ලැබුණු ආකාරය වැදගත් නොවේ. එම දැනුම ලැබුනේ දෙවියන්ගෙන් නිසා ඒ ගැන ප්‍රශ්න කිරීමට නොහැක. 
 
නාථ දෙවියන් බෙහෙත් කියන්නෙත්, කාලි මෑණියන් පැණියේ සංයුතිය කියන්නේත් දෙවියන් දැනුම සම්ප්‍රේෂණය කරන නිසාය. පැණියේ සංයුතිය කියා දුන්නේ ඇසට නොපෙනන ජීවීන් විශේෂයක් යැයි, තවත් නලින්වාදියෙක් ප්‍රකාශයක් කර ඇත. 
 
නලින්වාදීන් මෙම ප්‍රකාශ මගින් අපහාස කරන්නේ අපගේ ඉපැරණි අධ්‍යාපන සංස්කෘතියටයි. අපට ඇත්තේ ඉගෙනීමට මුල්තැන දෙන සංස්කෘතියකි. ඒ ඉගැනුම සඳහා පත පොත කියවීම, ගුරුවරුන්ගෙන් උපදෙස් ලැබීම, ශිල්පයන් ප්‍රගුණ කිරීම අවශ්‍ය විය. 
 
එසේ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කල වෙද මහතෙකුගෙන් බෙහෙත් ගැනීමටත්, ශිල්ප පුහුණුවූ වඩු මහතෙකුගෙන් පුටුවක් සදා ගැනීමෙටත් අවශ්‍ය බුද්ධිය අපට තිබුණි. එය නැති කරන්නේ නලින්වාදී මනස්ගාත කරුවන්ය. ඔවුන් මෝඩකම්වලට, බොරුවට,අමනකම්වලට, දාර්ශනික අර්ථකථනයන් සපයා දේ. 
 
දෙවියන් දැනුම සම්ප්‍රේෂණය කිරීමේ මතවාදය ඇත්තේ වනචාරී ගෝත්‍රවල පමණි. වනචාරී ගෝත්‍රීකයන්හට අධ්‍යාපන ක්‍රමයන් නැති නිසා ඔවුන් යමක් දැනගන්නේ කපුවන්ගෙනි. 
 
මෙම දැනුම ලබාගැනීමේ ප්‍රාථමික සංස්කෘතිය, දේශීය සංස්කෘතිය හා දේශිය අධ්‍යාපන ක්‍රමය යයි සඳහන් කිරීමෙන්, නලින් ද සිල්වා මැතිතුමා ලාංකික දේශීයත්වයට අවඤා කර ඇත. එපමනක් නොව එතුමාගේ එම මතය උගත් කමට කරන නින්දාවකි. උගතුන් හෙලා දැකීමකි. 
 
මෙම මතය ප්‍රචලිත වුවහොත් සිප්සතර හැදෑරීම  පසක ලා දෙවියන් පමණක් යදින සමාජයක් බිහිවෙනු ඇත.  
 
 
වදන් කවි පොතෙහි තවත් කවියක් මෙසේය.
 
 
අල්ලට සිඟා වත් රස නැති කැවිලි              කකා
වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්     තකා 
කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන්       වකා 
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ           තකා   
 
 
මෙය ඉගනීමේ අගය කියැවෙන, අපට උරුමව තිබු අධ්‍යාපන ක්‍රමය පිළිබිඹු කරන කවකි.
 
එදවස අප රට පන්සල් ආශ්‍රීතව පැවති දැනුම ලබාදීමට පොත පත් කියවා ඉගැන්වූ, අධ්‍යාපන ක්‍රමය අද වන විට බිඳවැටී ගොස් ඇත. එය බිඳුනේ යටත්විජිත ක්‍රමය මගින් බව සැබෑවකි. එහෙත් ඒ ගැන හඬා දොඩා පලක් තිබේද ? 
 
අද දින අවශ්‍යවන්නේ නවීන දැනුම, පැරණි සාරධර්ම මත පදනම්ව, ළමුන්ට ලබාදීමය.දෙවියන්ගෙන් දැනුම ලැබෙන්නේ යැයි පවසා විහිළුවට ලක්වීම නොවේ. 
 
මෙම සියලු කරුණු සියල්ල සලකා බලා, නලින් ද සිල්වා මහතාගෙන් ගෙන් එක් ඉල්ලීමක් අපට කළ හැක. ඒ, තවදුරටත් ලාංකිකයන් නොමග නොයවා, “වදන් කවි“ පොත රැගෙන, නැවත ගුරු ගෙදරට යන ලෙසයි.
 
 එසේ ගුරු ගෙදරට යන නලින් ද සිල්වා මැතිතුමාට, අත්තරගම රාජගුරු පඞිවරයාගෙන් කමාව ඇයැද, වදන් කවි පොතෙහි ඇති මුලින්ම සඳහන් කල කවිය, මඳක්  වෙනස් කොට, මෙසේ සෙත් පතමු.  
 
වැඳලා දෙවියන් පොත               අරගන්නේ
යැදලා  ගුරුනුත් සිත්            නොතලන්නේ
සකළා ශිල්පය     "තට"             සෑදෙන්නේ
"නලින්ට  ගණ දෙවි නුවණක්       දෙන්නේ"
 
 Drjpg
 
- විශේෂඳ වෛද්‍ය අජිත් අමරසිංහ
- විශේෂඳ වෛද්‍ය නිලුපුල් පෙරේරා
- විශේෂඳ වෛද්‍ය මහේෂ් හරිශ්චන්ද්‍ර 
 
 
කියවන්න :
 

 


 

 

 

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...