1200 x 80 DMirror
 
 

අපි දිහා කවුරුහරි බලන් ඉන්නවා කියල අපි උපකල්පනය කරන එක අවුලක්ම නෙවෙයි. 
 
 
අපි ලස්සනට අඳින්නේ පළඳින්නේ, පිළිවෙලට ඉන්නේ ගොඩක් වෙලාවට කවුරු හරි බලන් ඉන්නවා කියල හිතල තමයි. 
 
ඇත්තටම බැලුවේ නැතත් ඔන්න ඔහේ බලන්නේ නැතැයි කියල තමයි අපි ලස්සනට ජීවත් වෙන්නේ. 
 
අපේ හිතේ ඉන්න ඒ බලාසිටින අනෙකා මකා දමන්න බැහැ. 
 
අලුතෙන් ගත්ත ෆොටෝ එකක් වුණත් අපි බුකියේ දාන්නේ ලයික් එකක් දමයි කියල හිතාන. 
 
අනික් කෙනාගේ ඇහැ අපිට ඕනි තමයි. 
 
හැබැයි ගැටළුව මතු වෙන්නේ ඒ ඇහැ පැය විසි හතරේම අපි දිහා බලාන ඉන්නවා නම් තමයි. 
 
එතකොට ඒ ඇහේ හිරකාරයෙක් වෙන්න පුළුවන් අපි. 
 
එහෙම කවුරු හරි අපි දිහා බලන් ඉන්නවා ඇති කියල යම් අදහසක් අපි තුලට ඇවිල්ලා ඒක අපේ ඔළුවේ පැලවුනාට පස්සේ අර බලන් ඉන්නවා ඇති කියල අපි හිතන කෙනා එතැන නැති වුණත් අපේ ඔළුව ඇතුලේ එහෙම කෙනෙක් ගැන හොල්මනක් දිගටම පවතින්න පුළුවන්. මේක තමයි සුවකරන්න අමාරුම රෝගී තත්වය. 
  
ඒ කියන්නේ ඇත්තටම පවතින්නේ නැති වුනත් පවතිනවා කියල අපි උපකල්පනය කරන කෙනා ඔළුව ඇතුලේ පවතින්න ගැනීම අපේ පැවැත්ම ඇතුළේ ලොකු අවුලක් කරන්න නියමිතයි. 
 
භෞතික නොවෙන කෙනෙක්, ඒ කියන්නේ පාර භෞතික පැවැත්මක් තමන් දිහා බලන් ඉන්නවා කියල හිතුවොත් තවත් මේ වැඩේ දිග්ගැස්සෙන්න පුළුවන්. 
 
දැන් මේ බලන් ඉන්න දේ (object) සහ බලන් ඉන්න කෙනා (gaze) එකට සම්බන්ද වන ආකාර කිහිපයක් තියෙන්න පුළුවන්. 
 
ඒ කියන්නේ අපිත් ඉන්නවා (object). අපි දිහා බලන් ඉන්න කෙනෙකුත් ඉන්නවා (gaze). 
 
තව එකක් තමයි තමයි අපි ඉන්නවා. ඒ උනාට අපි දිහා බලන් ඉන්න කෙනෙක් නැහැ (no gaze). අනික තමයි අපි නැහැ (no object). ඒ නිසාම බලන් ඉන්න කෙනෙකුත් නැහැ (no gaze). එතකොට කඩේ නිකම්ම වහනවා. 
 
 
මම හිතන්නේ සම්බන්දයේ උත්කෘෂ්ට ම අවස්ථාව එළඹෙන්නේ ඇත්තටම අපි නැති උනත් (අපේ පැවැත්ම අහෝසි උනත්) අපි දිහා බලන් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන් කියන එක අපිට වැටහුණ වෙලාවට. 
 
ඒ කියන්නේ අපි නැහැ. ඒත් බලන් ඉන්න කෙනෙක් ඉන්නවා. 
 
 love 
ඒක නිසා තමයි ආදරය කරන අය අහන්නේ මම මැරුණොත් ඔයා මොකද කරන්නේ කියල. ඒ කියන්නේ මම නොමැති මොහොතකත් (no object) ඔබ මම වෙනුවෙන් බලන් ඉන්න තරම් ආදරය කරනවාද කියන එක අපි දැනගන්න ආසයි. ඒ කියන්නේ 'මම නැතුවත් මම දිහා ඔබ බලා ඉන්නවා නම්' කියන අතිශයින් උත්කෘෂ්ට ආදරය ගැන අදහසකින් අපේ හිත හොල්මන් කරනවා. 
 
 
 
 Hachiko: A Dog's Tale (2009)
 
එහෙම කොන්දේසි විරහිත බලා සිටීමක් ගැන කියවෙන ෆිල්ම් එකක් තමයි Hachiko: A Dog's Tale (2009) කියල කියන්නේ. 
 
ෆිල්ම් එක හදල තියෙන්නේ ඇත්ත කතාවක් ඇසුරින්. ජපානයේ ටෝකියෝ කිට්ටුව තිබ්බ ෂිබූයා නගරයේ දුම්රිය පොළ ආසන්නයේ ජීවත් වෙච්ච, ඓතිහාසිකව ගත්තොත් ජපන් කඳුකරය වාස භූමිය කර ගත්ත අකිටා සුනඛයෙක් (Akita dog) ගැන තමයි මේ කතාව දිග හැරෙන්නේ. 
 
එක දවසක් මේ සුනඛයා පුංචි කාලේ ෂිබූයා ස්ටේෂන් එකේ අතරමං වෙනවා. එහෙම ලොස්ට් වෙලා ඉන්න අල්ල පනල්ලේ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය ගැන මහාචාර්ය කෙනෙක් වෙච්ච උයිනෝ හිදෙසබුරෝ (Ueno Hidesaburo) කියන මහාචාර්යවරයට මෙයා හදිසියේ මුණ ගැසෙනවා. 
 
හරිම දෛවෝපගත මුණ ගැසීමක්. 
 
එයාට සිදු වෙනවා අයිතිකාරයෙක් නැති මේ බලු පැටවා ගෙදර උස්සගෙන යන්න. 
 
ඉහත චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ඇමෙරිකන් පසුබිමක් එක්ක වුනත් කතාව ඇත්ත වශයෙන් සිද්ද වෙන්නේ ජපානයේ.
 
 ජපානය එක්ක ඇමෙරිකාවට තියන දෛවෝපගත සම්බන්දය එක්ක ගත්තම ඒක එච්චර පුදුමයක් නෙවෙයි.
 
 ඒ වගේම අකිටා සුනඛ ප්‍රබේදත් දෙකයි තියෙන්නේ ලෝකයේ. එකක් ජපන් වංශය (Japanese breed) අනික ඇමෙරිකන් වංශය (American breed). 
 
Hachi
 
මහාචාර්යවරයාගේ බිරිඳ වගේම දුවණියත් හචිකෝ ගැන එතරම් උනන්දුවක් ගන්නේ නැහැ. 
 
අනික ඔහුගේ බිරිඳ සුනඛයින්ට එතරම් කැමතිත් නැහැ. දුව නම් ආදරය පෙන්නනවා. 
 
එකම එක දවසකට විතරක් හචිකෝ ට සෙවන දෙන පොරොන්දුවෙන් මහාචාර්ය තුමා ගෙදර කට්ටිය කැමති කරවා ගෙන හචිකෝ තියා ගත්තත් ඒ දෙන්නා අතර ඇතිවෙන දෛවෝපගත සම්බන්දය ඇතුලේ හචිකෝ එයාගේ ස්ථිර නිවහන බවට ඒ ගෙදර පත්කර ගන්නවා. 
 
කෙමෙන් කෙමෙන් හැමෝම එයාට ආදරය කරන්න ගන්නවා. එයත් ගෙදර සාමාජිකයෙක් වෙනවා. 
 
හචිකෝ ට ඉන්න වෙනම තැනක් ඒ ගෙදරටම අල්ලලා හදල තියනවා. 
 
දෙන්නා වෙන් වෙච්ච වෙලාවට හචිකෝ එයාගේ නිවහනේ කුඩා හිලකින් මහාචාර්යවරයා දෙස බලාන ඉන්නවා. 
 
ඕනිනම් කියන්න පුළුවන් ඒකත් එක යතුරු හිලේ දැක්මක් කියල. 
 
හචිකෝ තේරුම් ගන්නවා හැම මොහොතේම එයාට මහාචාර්යවරයා එක්ක එකට ඉන්න වෙන්නේ නැහැ කියල. 
 
එයා කැම්පස් යන වෙලාවට, නිදා ගන්න වෙලාවට, ප්‍රිය සම්භාෂණ වල ඉන්න වෙලාවට හචිකෝට සිද්ද වෙනවා මහාචාර්යතුමාගේ ලෝකෙට ඇතුල් නොවී ඉන්න. 
 
හැබැයි එයා බලන් ඉන්න එක තහනම් කරන්න කාටවත් බැරි වෙනවා. 
 
 Hachiere
 
මුල්ම කාලේ මහාචාර්යතුමා කැම්පස් යන වෙලාවට හචිකෝ ට ගෙදර ගේට්ටුව ළඟට විතරයි යන්න අවසර තිබ්බේ. හැබැයි හචිකෝ දැනගෙන හිටියා ඊට වඩා දුර එයාට යන්න පුළුවන් කියල. 
 
ඒ දැනුම එක්ක එයා ස්ටේෂන් එකේ දොර ළඟටම යන්න පුරුදු උණා. 
 
කෝච්චියේ යන්න එයාට අවසර නොතිබ්බ නිසා එයා යන්න පුළුවන් වෙච්ච උපරිම දුර වෙච්ච ඉස්ටේසමේ ඇරෙන වැහෙන දොර ළඟටම ගියා. 
 
ඒ තමයි භෞතිකව එයාට මිනිස් ලෝකේ ඇතුලේ දීලා තිබ්බ උපරිමය.  
 
ඒ උපරිමය ඇතුලේ උදේට ඉස්ටේසමේ දොර ලඟට මහාචාර්යතුමා ගිහිල්ලා ඇරලපු හචිකෝ ආපහු එයා එන වෙලාව වෙනකොට ආයෙත් දොරකඩ ඉස්සරහටම යනවා. 
 
ඇසිපිය නොහෙලා බලන් ඉන්නවා. 
 
දොර අතරින් එන මිනිස්සු කැල අතරේ එයාගේ 'ආදර වස්තුව' (love object) අති පැහැදිළිව වෙන් කරලා හඳුනා ගන්නවා. 
 
ඒ වස්තුව විසින් හචිකෝ අල්ලලා හුරතල් කරලා ආදර සංග්‍රහ කළාට පස්සේ එයත් කැටුව ගෙදර එනවා.
 
 ඕක තමයි දින චරියාව. ඩේලි රිචුවල් එක. පැවැත්මේ සියල්ල. 
 
තවත් එක දෛවෝපගත දවසක හචිකෝ මහාචාර්යතුමාට වැදගත් ත්‍යාගයක් දෙනවා. ඒ තමයි මහාචාර්යතුමා හචිකෝ ට සෙල්ලම් කරන්න ගෙනාපු බෝලේ. 
 
ඒ දෙන්නා ආත්මීය විදියට සම්බන්ද කරපු වස්තුව තමයි ඒ බෝලේ.
 
 හචිකෝ ට ඕනි වෙනවා ඒ බෝලේ මහාචාර්යතුමා අතේ තියනවා දකින්න. 
 
ඉස්ටේසමෙන් වෙන් වෙලා ගියාට පස්සේ හචිකෝගේ මතකය එයාගේ හිතේ රැඳෙන වස්තුව ඒක තමයි. 
 
හචිකෝ භෞතිකව නැතත් අර බෝලේ හරහා නැවත එයා මහාචාර්යතුමා තුළ ජිවමාන වෙනවා. 
 
පසු ආවර්තිත විදියට චිත්‍රපටය බලන කෙනෙකුට ඒ බෝලේ, හචිකෝ සහ මහාචාර්යතුමා එකට ඈඳුන මහා ගුප්ත අඳුරු බවක් දැනෙන්න ගන්නවා. 
 
ලොකු දැඟලිල්ලක් ඇතුළේ මොකක්දෝ කියන්න බැරි දෙයක් හචිකෝ එයාට කියන්න හැදුවා කියල හිතෙනවා. 
 
අනාගතය ගැන පුරෝකථනයක්. දෛවය කියවීමක් වගේ දෙයක්. 
 
නමුත් අපිට එයාගේ සංඥා තේරුම් ගන්න තරම් දැනුමක් නැහැ. ඒ අපේ සීමාව. 
 
ඒ කිට්ටුවම එළැඹි තවත් එක දෛවෝපගත දිනයක කැම්පස් එකේ දේශනයක් අතරදී මහාචාර්යතුමා හෘදයාබාධයක් නිසා හදිසියේ මිය යනවා. ඒ මිය යන කොටත් එයාගේ අතේ අර බෝලේ තියනවා. 
 
වෙනදා වගේම හචිකෝ ඉස්ටේසමට එනවා. හවස පහේ කණිසම වැදෙනවා. නමුත් ඉස්ටේසමේ දොර අතරින් වෙනදා වගේ මහාචාර්යවරයා එන්නේ නැහැ. 
 
හචිකෝගේ පැත්තෙන් ගත්තම ඒ දෛවෝපගත දවසේ හරියට හවස පහේ කණිසමට කාලය නවතිනවා. සියල්ල නවතිනවා. කිසිවක් චලනය වෙන්නේ නැතුව කාලය ඝනීභවනය වෙනවා. එච්චරයි.  
 
ඉන් පස්සේ හචිකෝ පැත්තෙන් කාලය ගමන් කරන්නේ නැහැ. 
 
නමුත් අනික් හැමෝම කාලය එක්ක ගමන් කරන්න හදනවා. යනවා එනවා. අළුත් අය මුණ ගැසෙනවා. අළුත් තැන් වලට යනවා. අළුත් ඇඳුම් ගන්නවා. ජීවිතය වැළඳ ගන්න එයාල කරන අරගලය හචිකෝ ට පෙනෙනවා.
 
 නමුත් හචිකෝ නතර වෙනවා. ඇත්තටම නතර වෙනවා. 
 
මෙතෙක් එයා දැක්ක ඉස්ටේසමේ ඇරෙන වැහෙන ගේට්ටුව, ඒ අතරින් එන විවිධ චරිත, විවිධ ඇඳුම් පැළඳුම්, බඩු මුට්ටු අතරින් එයා හඳුනා ගත්ත 'ආදර වස්තුව' ආයේ එයාට දකින්න ලැබෙන්නේ නැහැ. 
 
ඉස්ටේසමේ තිබ්බ සහ තියෙන ඒ සියලු දේවල් වලට අර්ථයක් ලැබුණේ එයා ආදරය කරපු අර වස්තුව ඒ අතරින් එන නිසයි. දැන් ඒ දේ නැහැ. දැන් තියෙන්නේ අර්ථයක් නැති චලනයක් විතරයි. 
 
Hachi 22
 
ඒක අපේ අද දවසේ ජීවිත වලටත් ගොඩක් අදාලයි. අපිට ඉක්මණින් මහන්සි දැනෙන්නේ ඒ නිසා. තියෙන්නේ චලනයක් විතරක් නිසා. 
 
ඒකයි ඒ අර්ථයක් නැති චලනය දිහා එයා හිස් විදියට බලාන ඉන්නේ (empty gaze). 
 
මහාචාර්යතුමාගේ මරණයෙන් පස්සේ එයාගේ බිරිඳ සහ දියණිය ඒ නිවසෙන් පිට වෙනවා. 
 
ඒ පිට වෙද්දී හචිකෝවත් එක්කරගෙන යනවා. හැබැයි එයා ලොකු දුරක් ගෙවල ආයෙත් අර චලනය විතරක් තියෙන ඉස්ටේසමේ දොර ලඟට එනවා. 
 
අර දියණිය ඇවිල්ලා ආයේ හචිකෝ එයාලගේ නව නිවහනට අරන් ගියත් එයාලට තේරෙනවා හචිකෝ ඉන්නේ සතුටින් නෙවෙයි කියල. ඒ නිසා එයාල හචිකෝ නිදහස් කරනවා. 
 
'මට සමාවෙන්න' කියනවා වගේ හැඟීමකින් එයා ඒ දුවගේ අත ලෙවකාල එයාට සමුදීලා අයෙත් පුරුදු ඉස්ටේසමට එනවා. ඒ ඇවිල්ලා තවත් අවුරුදු නවයක් අර ඇරෙන වැහෙන ගේට්ටුව දිහා බලාගත් වන බලා ඉන්නවා. 
 
යම් දවසක් ගියාම මහාචාර්යතුමාගේ යාලුවෝ, ඉස්ටේෂන් මාස්ටර්, බර්ගර් කරත්තේ අයිතිකාරයා වගේ ඔක්කොම හචිකෝ ළඟට ඇවිල්ලා කියනවා ආයේ කවදාවත් මහාචාර්යතුමා එන්නේ නැහැ කියල. එයාට ඒක නොතේරෙනවා නෙවෙයි. 
 
ඒත් ඝනීභවනය වෙච්ච කාලය ඇතුලේ එයාට යන්න පුළුවන් වෙන තැනක් ගැන එයාට හිතන්න බැරි වෙනවා. ඒ හිතන්න බැරි වීම ඇතුලේ තමයි එයා නතර වෙන්නේ. 
 
යම් අහිමිවීමක් නිසා ඇතිවන ශෝකය සහ ආතතිය සමහන් කරගෙන සාමාන්‍ය වෙන්න ඕනි නම් නැතිවූ වස්තුව වෙනුවට ආදේශකයක් සොයා ගන්න කියල ෆ්‍රොයිඩ් එයාගේ සුප්‍රකට Mourning and Melancholia (1918) ලිපියේ කියනවා.
  
 නමුත් එහෙම ආපසු ඇවිල්ලා වෙනත් ආදරයක් සොයාගෙන සුවපත් වෙන්න වගේ දෙයකට හචිකෝ උත්සාහ කරන්නේ නැතුව අර ආදර වස්තුව එක්කම මිය ඇදෙන්න තීරණය කරනවා. 
 
වෙන යන්න තැනක් එයා දැනගෙන හිටියේ නැහැ. එයා කවදා හෝ දවසක අතරමං වුණේ මේ ඉස්ටේසමේ. 
 
ඒ කියන්නේ එයාගේ සදාකාලික ආපතික නිවහන (contingent home) වෙන්න තිබුණේ මේ ඉස්ටේසම.
 
 නමුත් කොහේදෝ ඉඳන් ආපු සුරංගනාවෙක් විසින් එයාට ඕනිවටත් වඩා ආදරය දුන්නා. ඒ නිසා ඒ සුරංගනාවගේ නිවහනට එයා සතුටින් ගියා. ඒ ආදරය නිසා. නමුත් ඒ දිව්‍යමය ආදරය (divine love) නැති වෙච්ච මොහොතේ එයා ඇත්තටම අයිති වෙන්න තිබුණ ඉස්ටේසම වෙත පමණක් එයා ආපසු එනවා. 
 
අනුභූතික ලෙස එයා දැන සිටියේ ස්ථාන දෙකයි. එකක් තමන් අතරමං වූ තැන. අනෙක ආදරයේ ස්ථානය. 
 
සාමාන්‍යයෙන් බාලදක්ෂයින්ට උගන්වන දෙයක් තමයි යම් විදියකින් කොහේ හරි අතරමං වුණොත් තමන් මුලින් හිටිය තැනට එන්න කියන එක. ඒක හචිකෝ හරියටම කළා. 
 
නැතිවූ ජීවිතය සොයා මිනිසා ලෝකේ වටේ කරක් ගහද්දි හචිකෝ සථිරසාර ලෙස එක තැනක නතර වෙනවා. ආයේ තැනක් ගැන හිතන එක පවා එක මොහොතක එයා අත්හැර දමනවා. 
 
සියල්ල චලනය වෙද්දී එයා එයාගේ ස්ථානයට අවංක වෙනවා. 
 
අර්ථ විරහිත ලෙස හැල්මේ දුවන මිනිස් චලනය දෙස හිස් බැල්මක් යොමු කරගෙන ෂිබූයා ඉස්ටේසම ඉස්සරහා තවත් වසර නවයක් එයා ජීවත් වෙනවා. 
 
එක් සීත සෘතුවක මේපල් කොළ කඩා හැලිලා සියල්ල හිම පාට බවට පත්වෙන හවස් යාමෙක වසර නවයක් මහන්සියෙන් තොරව ඉස්ටේසමේ ඇරෙන වැහෙන දොරේ චලනය දිහා බලාගත්වන බලාහිටපු ඒ දීප්තිමත් ඇස් දෙක සදහටම පියවෙනවා. 
 
ඒ පියවෙන වෙලාවෙත් ඒ ඇස් තිබුණේ ඉස්ටෙසම් දොර දිහා බලාගෙන. මොකක්දෝ බලාපොරොත්තුවක් ඒ ඇස් වල ලියවෙලා. බලන්න තරම් දෙයක් මේ ලෝකේ එයාට ඉතිරි වෙලා තිබුණේ නැති වුණත් මොකක්දෝ මහත් පුදුමයක් (miracle) යම්කිසි මොහොතක සිදුවෙයි කියන එක ඒ ඇස් වල ලියවිලා තිබුණා. 
 
විප්ලව සිදු වෙන්නේ එහෙම බලා සිටින අය නිසා කියල ස්ලාවෝ ජිජැක් කියනවා.  'ඔබට විශ්වීය වෙන්න ඕනි නම් තමන් ඇත්තටම ඉන්න තැන ගැන අවංක වෙන්න' කියල ජිල් ඩෙලස් (Gilles Deleuze) කියන පශ්චාත් නූතනවාදී ප්‍රංශ දාර්ශනිකයා කියනවා. හචිකෝ ගේ ප්‍රතිමාවක් ඒ ඉස්ටේසම ඉස්සරහා ඉදි වෙන්නේ ඒ අර්ථයෙන් කියල මට හිතෙනවා.
 
කතාව දික් උනාට සොරි.   
 
For all the dog lovers in the world!
 

 
Mahesh Hapugoda(Mahesh Hapugoda)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන් ....)
 
 

Hachiko

ෂිබුයා ස්ටේෂන් එක ඉදිරියේ අදටත් ඒ පිළිරුව නොඑන මහාචාර්‍යවරයා එනතෙක් බලා සිටිනවා, එතැනට ඔබ්බෙන් ඉහළ තියෙන කෝපි හලට මිනිස්සු ඇදෙන්නේ ලොව කාර්‍යබහුලම පදික මාරුව සහ හචිකොගෙ දුක්බර පිළිරුව දෙස බලාගෙන කෝපි එකත් එක්ක ඒ හචිකොගෙ කතාවෙ තනිවෙන්න.

 


 

THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

subscribeYT

subscribeYT

නවතම පුවත්