1200 x 80 DMirror

 
 

ජාත්‍යන්තර ප්‍රජාව කිව්ව ගමන් අපේ රටේ ගොඩක් දෙනෙකුට හැදෙන්නේ අමුතු සැකයක්. ඒක දීර්ඝ කාලයක් තිස්සේ පැල පදියම් උන සැකයක්.



ජාත්‍යන්තරය කියපු ගමන් අපේ ඔළුවට එන්නේ ඇමරිකාව, ඉන්දියාව, චීනය වගේ රටවල්. නැත්තං ජිනීවා මානව හිමිකම් සමුළුව. ඒ වගේම දෙමළ ඩයස්පෝරාවත් මතක් වෙනවා.

ඇත්තටම මේ තත්වයට අපේ රටේ ජනතාවගේ මනස පටු කළේ අපේ රටේ ඊනියා වාමවාදිනුයි, ඊනියා දේශප්‍රේමීනුයි. කිසිම විචාර බුද්ධිය නැතිව ජාත්‍යන්තරය කිව්ව ගමන් විරුද්ධ උනා. හැබැයි ඒ බොරදියේ මාළු බෑවේ රාජපක්ෂලා. එයාලා කියන්නේ අපට නැගිටින්න දෙන්නේ නැත්තේ ජාත්‍යන්තර බලවේගයි එයාලත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න දේශීය දුෂ්ඨ බලවේගයි කියලා.

ඔය විදියට බලනකොට ජාත්‍යන්තර ප්‍රජාවට වෙන වැඩක් තිබිලම නෑ. අපේ රට ගැන හොය හොයා ඉන්න එකයි, අපේ රටට මංකොල්ල කන්න ප්ලෑන් කරන එකයි විතරමයි එයාලට තිබිලා තියෙන්නේ.

ඉස්සර මොනවා උනත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන හාදයෙක් හිටියා. දැන් ඒක ජෝක් වෙලා නිසා මිනිහත් ඒක වැඩිය කියන්නේ නෑ.

එතකොට ලෝකය ඉස්සරහා නැගිටපු අපේ තත්වයේ හිටපු අනිත් රටවල්වලට ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම තිබිලා නැද්ද? ජාත්‍යන්තර ප්‍රජාව අපට නොදී එයාලට විතරක් නැගිටින්න දුන්නේ ඇයි? එතකොට මේ ජාත්‍යන්තර ප්‍රශ්නය තියෙන්නේ අපට විතරද?

ජාත්‍යන්තර ප්‍රජාව රාජපක්ෂලා එක්ක තරහද? එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ හොද එකක්ද? ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව හොඳ එකක්ද?ලෝක බැංකුව, IMF එක හොඳ ඒවද? ඔහොම ප්‍රශ්න ටිකක් ඔයාලගේ ඔළුව එනවා නේද?

ඔය කියන විදිහට අපට හොඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විතරයි.

ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයත් හොඳ නෑ. මානව හිමිකම් සමුළුව නං අපෝ. එයාලා කොටින්ට උදව් කළාලුනේ.




ඇත්තටම මොකද්ද මේකේ ඇත්ත කතාව? නිකං හිතන්නකෝ අපි අද ජීවත් වෙන්නේ ගෝලීයකරණය උන ලෝකයක. සියලු දේවල් ගෝලීකරණය නොවුනට සෑහෙන දේවල් ටිකක් ගෝලීකරණය වෙලා තියනවා. අඩුම ගානේ සන්නිවේදනය හරි ගෝලීකරණය වෙලා තියනවා.

 


අද මේ ලෝකේ සංවර්ධිත වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල් කියලා බෙදීමක් තියනවා. මීට ඉස්සර සංවර්ධන වෙමින් තිබුණ රටවල් අද සංවර්ධිත රටවල් බවට පත්වෙලා. නැත්තං ඒ කිට්ටුවට හරි ඇවිල්ලා.

ඒකට හොදම උදාහරණය සිංගප්පූරුව, දකුණු කොරියාව, ඒ වගේ නැගෙනහිර ආසියාවේ රටවල් ගොඩක් තියනවා. අප්‍රිකානු රටවල් ගොඩකුත් තියනවා. ඒ වගේම තවමත් එක තැන පල්වෙන තුන්වෙනි ලෝකයේ කියලා හැමදාම ලේබල් වෙච්චි රටවල් ටිකකුත් තියනවා. අපි හැමදාම අහු උනේ ඒ ගොඩට.

රටේ රාළලා විතරක් නෙවෙයි රටේ රාළලාගේ අප්පච්චිලා පොඩි කාලේත් අපි තුන්වෙනි ලෝකේ රටක්. අදත් තුන්වෙනි ලෝකේ. හතරවෙනි ලෝකයක් නැති නිසා තුන්වෙනි ලෝකේ. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා නේද?

අවුරුදු ගානක් ඉස්සරහට යන්න බැරිව අපිට විතරද මේ ජාත්‍යන්තර බලපෑම් තියෙන්නේ? අපි පහුකරගෙන ඉස්සරහට ගිය රටවලට එහෙම එකක් නැද්ද? මේ අය කියන විදිහේ එකක් එයාලට තියනවා නං එයාලට කවදාවත් ඉස්සරහට යන්න බෑනේ. ඇමරිකාවේ බලපෑම ලෝකෙටම නැද්ද? එතකොට එහෙනම් ඇමරිකාවේ දිව යට තියන කියුබාව නැගිට්න්නේ කොහොමද?

ඉන්දියාවේ බලපෑම දකුණු ආසියාවට නැද්ද? එතකොට කොහොමද බංගලිදේශය නැගිටින්නේ. ඉම්ද්‍රාන් ඛාන් කොහොමද පකිස්තානය නැගිට්වවන්න හදන්නේ.

එදා ඇමරිකාව ප්‍රමුඛ බටහිර කදවුර විසින් කුඩුපට්ටම් කරලා අත හෝද ගත්ත රුසියාව කොහොමද ආයෙත් නැගිටලා තියෙන්නේ? නැගෙනහිර ආසියාවට චීනයේ බලපෑම නැද්ද? හැබැයි වියට්නාමය නැගිටිනවා. සමාජවාදයද, ධනවාදයද කියලා නෑ ඒ රටවල් නැගිටිනවා. ලෝකය හැම තැනම එහෙමයි. අපි විතරක් දවසින් දවස වලපල්ලට යනවා.




මොකද්ද මේ අපට වෙලා තියෙන්නේ. වැඩිය එපා එදා අපි පොඩි කාලේ ඇවිදින ඇට සැලකිලි දැක්ක ඉතියෝපියාවත් අද අපට වඩා ඉස්සරහට ගිහිල්ලා. ඇත්තටම එයාලට එහෙම වෙන්නයි අපට මෙහෙම වෙන්නයි හේතුව මොකද්ද? ඒක අපි විවෘතව කතා කරන්න ඕනි ප්‍රශ්නයක්? මේකට වැරදි ඇමරිකාවද?නැත්තං ඉන්දියාවද? එහෙමත් නැත්තං චීනයද? ඒත් නැත්තං රාජපක්ෂලා හැමදාම කියන දෙමළ ඩයස්පෝරාවද?

 


දෙමළ ඩයස්පෝරාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ නෙවෙයිද? රාජපක්ෂලාට උදව් කරන අය හැර දෙමළ ඩයස්පෝරාවේ අනිත් සේරම කොටිද?

ඇත්තටම මේ ප්‍රශ්නය දිහා ශ්‍රී ලාංකිකයෝ විදිහට දැන් ඇස් ඇරලා බලන්න කාලය ඇවිත්.

ඇමරිකාව ලෝකය දිහා බලන්නේ ඇමරිකාවට සාපේක්ෂව මිසක් ලෝකයටවත්, අපටවත් සාපේක්ෂව නෙවෙයි. ඉන්දියාව, චීනය ඇතුළු අනික් හැම රටක්ම එහෙමයි.

ඒක නිසා තමන්ගේ ජාතික උවමනාව ඉෂ්ඨ කරගන්න ඒ හැම රටටම ජාතික වගේ ජාත්‍යන්තර වැඩපිලිවෙලක් තියනවා. න්‍යාය පත්‍රයක් තියනවා. ඒක අපිට හිතකර වෙන්නත් පුළුවන් අහිතකර වෙන්නත් පුළුවන්.

මොකද අපිට ඕනි වැඩපිළිවෙළවල් හදන්න එයාලට පිස්සු නෑ. ඒකට අනුව තමයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍ය පද්ධතිය රාජ්‍ය නොවන සංවිධාන දැලක් ලෝකය පුරා එලලා තියෙන්නේ. නේටෝ කියලා යුද යාන්ත්‍රණයක් හදලා හදන්නේ.

චීනය නව සේද මාවතක් හදන්නෙත් ඒකට අනුව තමයි. හෙට දවසේ චීනය හා රුසියාව වෝෂෝ වගේ යුද ගිවිසුමක් අත්සන් කලොත් ඒක වෙන්නේ ඒකට අනුවම තමයි. හෙට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළොත් ඒක වෙන්නේ රුසියානු උවමනාව වෙනුවෙන්.




ඒක නිසා මේ කිසි ජාත්‍යන්තර ක්‍රියාකාරකමකින් වියුක්ත වෙලා පවතින්න ලෝකයේ කිසිම රටකට බෑ. ඒක ඇතුළේ ඉදන් තමයි ගේම ගහන්න ඕනි. ඒකට අනුව ගේම ගහගෙන නැගිටපු. නැගිටින රටවල් ලෝකේ ඕනි තරම් තියනවා. ඒකට හොදම උදාහරණය තමයි අපේ ලොකු අයියා. ඒ කියන්නේ ඉන්දියාව.





ඉන්දියාව කියන්නේ මීට දශක හතරකට පහකට ඉස්සෙල්ලා ලෝකයේ ලොකුම හිගන්නෙක්. බොහෝම දුප්පත් රටක්. හැබැයි ඉන්දියාවට නැගිටින්න උවමනා උනා. ලෝකය ඉස්සරහා බලවතෙක් වෙන්න උවමනා උනා. ඒ වෙනුවෙන් පහුගිය ඉතිහාසය පුරාම ඉන්දියාව ක්‍රියාත්මක උනා. කැපකිරීම් කළා. ඒ සියල්ල රට වෙනුවෙන් කරපු කැපකිරීම්. රාජපක්ෂලා වගේ පවුල වෙනුවෙන් නෙවෙයි.

ඉන්දියාව මීට ඉස්සෙල්ලා හිටියේ ඇමරිකන් විරෝධී කදවුරේ. සෝවියට් දේශයත් එක්ක. හැබැයි සෝවියට් දේශය බිද වැටෙනවාත් එක්ක ඉන්දියාව හෙමින් ඇමරිකාවට කිට්ටු උනා. අද ඇමරිකාවට ආසියාවේ ඉන්න බලවත්ම මිතුරා ඉන්දියාව.

ඉන්දියාව ඇමරිකාවට කිට්ටු උනේ ඉන්දියාව වෙනුවෙන්. අද ඉන්දියාව න්‍යෂ්ටි බලය තියන ආරක්ෂක මණ්ඩල සාමාජිකත්වය තියෙන රටක්. ලෝකයේ ආර්ථික වගේම යුද දැවැන්තයෙක්. ඒ වගේම ඉන්දියාවට ලෝකය ගැන හොද තක්සේරුවක් තියනවා.

බලන්න ලගදීම ඉන්දියාව ආයෙත් රුසියන් කදවුරට කිට්ටු වෙනවා. මොකද ඉන්දියාව දන්නවා ඊළඟට ලෝකේ බලවත්ම සංධානය ගොඩනැගෙන්නේ චීන - රුසියානු කදවුර එක්ක කියලා.ඒ ගැන රටේ රාළ එක්ක ගහගන්න දැන්මම එන්න එපා. ඒක ඉදිරියේදී වෙන දෙයක්.

රටේ රාළට ඒකෙන් කියන්න ඕනි රටක දැක්ම හැදෙන්නේ තමන්ගේ රටට සාපේක්ෂව ලෝකය දෙස බැලීමෙන්. ඒකට තමයි රටේ නායකයෝ නියම රාජා තාන්ත්‍රිකයෝ වෙන්න ඕනි. ලෝකයෙන් ආපු බාධා මැද්දෙන් තමන්ගේ රට ඉලක්කයට අරගෙන ගිය, අරගෙන යන රාජ තාන්ත්‍රිකයෝ කොච්චර අපි දැකලා තියෙනවද? පිදෙල් කස්ත්‍රෝ, පුටින්, මහතීර්, ලී ක්වාන් යූ වගේ අය. ඒ අඩිපාරේ යන නායකයෝ කීදෙනෙක් ලෝකය පුරා ඉන්නවද?

අපි ගත්තේ ඒ අයගේ නම විතරයි. ආදර්ශය ගත්තේ නෑ. අපටත් ඔය ඉන්නේ පුටින් කෙනෙක්. ආ..මහතීර් කෙනෙකුත් ඉන්නවා. ඒ නම්වලට ආරූඩ උන පිස්සු හටන් ටිකක් ඇර ඒ ආදර්ශ ගත්ත නායකත්ව පරපුරක් අපට නෑ. ඇත්තටම අපට ඉන්නේ අර කාටුන් එකේ ඉන්න චූටියයි, මාටියයි වගේ නායකයෝ.

නම් වශයෙන් ෆොටෝ කෝල් එක අනුව කිව්වොත්, අපට ඉන්නේ රාජපක්ෂලා. නැත්නම් සජීත්. ආණ්ඩුවයි, විපක්ෂයයි කියන්නේ එයාලටනේ. එයාලා තවමත් වැඩවසම් යුගයේ ජීවත් වෙන නායකයෝ. තවමත් වැඩවසම් පම්පෝරිවලින් රට හදන්න හදන නායකයෝ.  ඒ අතර ලෝකය දකින්න පුළුවන් නායකයෙක් නෑ. ලෝකය දකින්න බැරි නම් කොහොමද ලෝකය දිනන්නේ.



අද අපට ඉන්නේ කොහොම නායකයෙක්ද ඇහුවොත් අපට කියන්න තියෙන්නේ මොකද්ද? ඇමරිකාව වෙනුවෙන් ඕනෑම මොහොතක අවි දැරීමට දිව්රුම් දුන්න ජනාධිපති කෙනෙක් අපට ඉන්නවා කියලායි. ඒ වගේම එයාගේ ඇවෑමෙන් රජවෙන්න බලාගෙන තවත් ඒ ජාතියේම ඇමරිකන් පුරවැසියෙක් ඉන්නවා. මේ මහ පොලොවට සම්බන්ධ නැති චරිත ඒවා. ඒ දෙන්නට බැරි උනොත් කිසිම වැඩපිලිවෙලක් නැති කදකුයි, බඩකුයි තියන ප්‍රේමදාස කෙනෙක් ඉන්නවා.

 


තවත් මෙහෙම දේශපාලන කරත්ත තල්ලු කරගෙන නං යන්න හිතාගෙන ඉන්නේ දවසක අපට වෙන්නේ මේ රටේ හෙට උපදින පරපුරේ අනාගත සාපයට ලක් වෙන්න. ඔය වැඩවසම් චින්තනවලට මේ රට හදන්න බෑ. වැඩවසම් පාලක පැලැන්තියට පුළුවන් එකමදේ නූපන් දරුවාගේ අනාගතයත් විකුණන්න විතරයි. ඉතින් ඒක කරලා මැරෙන්න නං මේ යන විදිහ හොඳයි.

දවසින් දවස පාලකයෝ පොහොසත් වෙනවා. ජනතාව හිගමනට වැටිලා ඉවරයි. තවමත් ඒ ගැන හිතන්න බැරිනං ඉතින් ඒ වහල්ලු ඇර වෙන මොක්කුද කියලා තමයි අහන්න වෙන්නේ.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා

Priynatha witharanaමීට
රටේ රාළ
( Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 

 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58