1200 x 80 DMirror

 
 

පහුගිය 14 වෙනිදා ඒ කියන්නේ පෙරේදා උදේ එළිවෙකොට ආපු news එක තමයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ගෙදෙට්ට ගල් ප්‍රහාරයක් එක්ක අසූචි

ප්‍රහාරයක් එල්ල කරලා කියලා.

එදාම දවල් වෙනකොට ආරංචි උනා පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලලා හඩක් නගපු සිවිල් ක්‍රියාකාරිකයෙක් උන ෂෙහාන් මාලක අත්තඩංගුවට අරන් කියලා.

කොහොම උනත් මේ ජාතියේ වැඩ කීපයක් පහුගිය කෙට් කාලේ ඇතුළත සිද්ධ උනා.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහභාගී උන ජනහමුවක් ළගදී එයාගේ වාහනයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල උනා. ඊට ඉස්සෙල්ලාත් ජවිපෙට පිට කොටුවේදී කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා තියනවා.

ඊටත් ටික කාලෙකට උඩදී බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබිලා සජීවී අත්බෝම්බයක් හම්බ උනා.

ඒ වගේම පහුගිය කාලයේ අන්තර් ජාලය හරහා තමන්ගේ මතය කියපු සිවිල් ක්‍රියාකාරීන් ගනනාවක් පොළිස් ප්‍රශ්න කිරීම්වලට ලක් උනා.

පෙරේදා අත්අඩංගුවට ගත්ත ෂෙහාන් මාලකව අත්අඩංගුවට ගත්ත විදිහ කාටවත් අනුමත කරන්න බෑ. ඒක නීතියේ සීමාවන් උළ්ලංඝනය කිරීමක් කියලා බැලූ බැල්මටම පේනවා. සිවිල් ඇදුමෙන් සුදු වෑන් එකක ඇවිල්ලා 120 වගන්තිය යටතේ කියලා අත්තඩංගුවට අරන් යනවා. ඒ සිද්ධියෙන් මේ රටේ පුරවැසියාට තියෙන අවම නීතියේ රැකවරණත් නැතිවේගෙන යන බව පේනවා.



120 න් නෙවෙයි 220 න් ගත්තත් පොළීසිය එන්න ඕනි නිල ඇදුමෙන්. ඊළඟට තමන් අත්තඩංගුවට ගන්නේ ඇයි කියලා දැනගන්න අත්තඩංගුවට පත්වෙන කෙනාට අයිතියක් තියනවා. ඊළඟට එයා පොළීසියට කට්ටි පැන්න කෙනෙකුත් නෙවෙයි.

යකෝ මේ යන විදිහට පොළීසිය කියලා ඇවිත් ඕනි එකෙකුට ඕනි එකෙක්ව පැහැරගෙන යන්න පුළුවන්නේ. මේක නං මරු එක රටක් එක නීතියක් තමයි.

ඊයේ ඔය මාලක එයාගේ ෆේෂ් බුක් එකවුන්ට් එක හරහා සිද්ධිය live දුන්නේ නැත්නං සමහරවිට එයත් කොයි වෙලේ හරි මුහුදේ පාවෙන නාදුනන කෙනෙක් වෙන්නත් ඉඩ තිබුණා.

ඇත්තටම මේ සිද්ධි හරහා මොකද්දෝ අවිනිශ්චිත කමක් සමාජයට කාන්දු වෙමින් තියනවා. රාජපක්ෂලාට විරුද්ධ මත දරන කිසිම කෙනෙක්ගේ ජීවිත අද ආරක්ෂිත නෑ. ඒක සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කාටත් එකයි.

 

ආණ්ඩු විරෝධී මත දරන හැමෝගේම නිදහසට ලොකු තර්ජනයක් එල්ල වෙමින් තියනවා. කතා කිරීමේ නිදහසට තර්ජනයක් එල්ල වෙලා. ඇත්තටම මේ කරන්නේ කට වහගෙන හිටපන් කියන තර්ජනය නෙවෙයිද?

 

එදා පෙබරවාරි හතර ජනාධිපතිතුමාගේ නිදහස් දින කතාවෙදී කිව්වේ රට පුරාම මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරලා තියනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රදේශයක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා.

හැබැයි එදා ජනාධිපතිතුමා කිව්වේ ඇත්තක් නෙවෙයි කියලා දැන් තහවුරුයි.

මේ එල්ල වෙච්චි ප්‍රහාර ගැන සමාජය පැත්තෙන් අත දික් වෙන්නේ ආණ්ඩුවට. ඒක පහුගිය දවස්වල දේශපාලන පක්ෂ වගේම සමාජ සංවිධාන නිකුත් කරපු නිවේදනවලින් වගේම තියපු මාධ්‍ය සාකච්ඡාවලින් තහවුරු උනා.

ඒත් ආණ්ඩුව ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කළා.

හැබැයි දැන් මෙතන ප්‍රශ්නයක් තියනවා.

 

ජනාධිපතිතුමා කියන විදිහට එතුමා ආපු ගමන් කරපු එක දෙයක් තමයි බිඳ වැටිලා තියන බුද්ධි අංශ නැවත ශක්තිමත් කරපු එක. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් බිදවට්ටලා තිබුණා බුද්ධි අංශවල චිත්ත ධෛර්යය ඉහල නංවපු එක. ඒ අනුව ලෝකේ ඉන්න අති දක්ෂම බුද්ධි අංශයක් තමයි අපට තියෙන්නේ. හැබැයි ඉතින් ඒක එහෙම නං ඇයි මේවා අල්ලන්න බැරි.

 

එහෙනම් ආයෙත් බුද්ධි අංශ කඩාගෙන වැටිලද කියලත් හිතෙනවා? ඒ එක්කම ගැට ගැහෙන ඊළඟට ප්‍රශ්නය තමයි ජනාධිපතිතුමා කියන විදිහට රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා කියනවද කියන එක.

එක සිද්ධියක් නං ඒක අහම්බයක් කියලා හිතන්න පුලුවන්. හැබැයි එක දිගට මෙහෙම සිද්ධි වෙනකොට ඒක අහම්බයක් වෙන්නේ කොහොමද? රටේ රාළත් පිලිගන්නවා අපේ බුද්ධි අංශවලට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේවා හොයන එක හරි සිම්පල් කියලා.

ඇත්තටම එහෙනම් ප්‍රශ්නය තියෙන්නේ කොතනද? ඕනි කෙනෙකුට මෙතනදී හිතෙන්නේ මේක පිටිපස්සේ අදෘශ්‍යමාන හස්තයක් තියනවා කියලා. ආණ්ඩුව කියන්නෙත් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කවුරු හරි මේවා කරනවා කියලනේ.

ඒකට අනුව නං ඉතින් අනුර කුමාර අනුර කුමාරටම කුණු බිත්තර ගහගන්න ඕනි. පල්ලිය බෝම්බයක් පල්ලියේම තියාගෙන, චමුදිත චමුදිතගේම ගෙදරට අසූච්චි ගහගෙන. හරි ඉතින් දෙයියනේ ඒක හරි අල්ලලා දෙන්නකෝ? එතකොටත් ප්‍රශ්නේ ඉවරයිනේ.

මෙච්චර හොද බුද්ධි අංශයක් තිබිලා ඒකවත් කරන්න බැරිද? අඩුම ගානේ එතකොට ආණ්ඩුව හරි සුද්දයි නේ. ඒක නොකර ඉන්නතාක් මේ චෝදනා ආණ්ඩුවට එල්ල වෙන එක නවත්තන්න බෑ.

ඇත්තටම මේ තත්වය යටතේ ආණ්ඩුවට ඒ චෝදනාව එල්ලවීම සාධාරණයි. මොකද රාජපක්ෂලාට ඔය සම්බන්ධව තියෙන history එක එච්චර හොඳ නෑ. එච්චර නෙවෙයි කොහොමවත්ම හොඳ නෑ.

 

මේ වගේම තමයි 2009 අවුරුද්දේ මර්ධනය පටන් ගන්නේ. ඉස්සෙල්ලා තර්ජන ආවා. ඊට පස්සේ මාධ්‍ය වේදීන්ට පාරේදී ගැහුවා. ඊට පස්සේ මාධ්‍ය ආයතනවලට ගල් ගැහුවා, පස්සේ බෝම්බ ගැහුවා, අන්තිමට මාධ්‍යවේදීන් පාරේ මරලා දැම්මා. ඊළඟට අතුරුදහන් කළා.

 

ඒ කාලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ. හැබැයි ඒ එක තර්ජනයකට, පහරදීමකට, මරා දැමීමකටවත් යුක්තිය ඉෂ්ඨ උනේ නෑ. අදටත් ඒවා සම්බන්ධව වගකිව යුත්තෝ නෑ.

මහ ලොකුවට ආරක්ෂක වැඩ්ඩන් කියලා කයිය ගහන අයට ඒවා හොයා ගන්න බැරි උනා. ඒ සියල්ල වහලා දාලා ඉවරයි. මතකද එක සිද්ධියක සාක්ෂි වසන් කිරීමේ වරදට හිටපු පොළිස්පති අනුර සේනානායක හිරෙත් ගියා. ඒ සියලු දේට වගකියන්න ඕනි රාජපක්ෂ ආණ්ඩුව නෙවෙයි?

පාස්කු ප්‍රහාරයට ජනාධිපති සිරිසේන වගකියන්න ඕනි නං, ඒ තිරියට අනුව අනිවාර්යෙන්ම ඒ අභිරහස් ඝාතනවලට මහින්ද රාජපක්ෂ වගකියන්න ඕනි.
ඒක නිසා අද මේ තැන් තැන්වල තට්ටු බට්ටු දාලා. කුණු බිත්තර ගහලා, ගල් ගහලා පටන් ගන්න හදන්නේ පරණ සෙල්ලමද කියන සැකය මේ රටේ ජන මනසට ඇතුළු වෙලා ඉවරයි.

දැන් ජනාධිපතිතුමා තවදුරටත් කියනවා නං රටේ ආරක්ෂාව තර කරලා තියෙන්නේ කියලා. ජාතික ආරක්ෂාව සහතිකයි කියලා. එහෙනම් කොහොමද අඛණ්ඩව මෙහෙම සිද්ධි වෙන්නේ. ඒකටත් ජනාධිපතිතුමා උත්තරයක් දෙන්න ඕනි. හැබැයි අර ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න අදෘශ්‍යමාන බලවේග ගැන නං කියන්න එපා. නිකං ජෝක් වෙනවා.

තවදුරටත් එහෙම කියනවා නං අපේ බුද්ධි අංශවලට වඩා ඒ බලවේග ශක්තිමත් කියලා පිලිගන්න වෙනවා. එහෙම පිලි අරගෙන කියනවා නම් ඒ ගැන සලකා බලන්න හරි පුළුවන්.

මෙයාලට ආරක්ෂාව සම්බන්ධව ලෝකේ ඉහළම ඔස්තාර්ලා වෙන්නත් ඕනි. ඒකට CCTV දර්ශණවලින් පෙනෙන අපරාධයක් අල්ල ගන්න බෑ. ලොකුම දේකට කරන්නේ ලොකු ප්‍රමාණයක කට උත්තර සටහන් කර ගත්තා කියන එක. එහෙම කොහොමද අනේ පොරවල් වෙන්නේ? තවදුරටත් අර වගේ පොර ටෝක් දෙන්න ජනාධිපතිතුමා ලැජ්ජා වෙන්න ඕනි.

 

ඇත්තටම තවදුරටත් තිස්ස කුට්ටිලාගේ ගොං තර්කවලින් නං ආණ්ඩුව මේවාට උත්තර දෙන්න හදන්නේ. ආණ්ඩුව තමන් මේ වැඩේ කළා කියලා බාර අරගෙන ඉවරයි. තිස්ස කුට්ටිගේ ගොං කතාවලින් තහවුරු වෙන්නේ ඒක.

 

ඇත්තටම රටේ රාළ කියන්නේ මේ රට පොළිස් රාජ්‍යයක් වෙන්න යනවා නෙවෙයි. දැන් මේ රට පොළිස් රාජ්‍යයක් තමයි. හැබැයි තවමත් තියෙන්නේ ආරම්භක අවධියේ. මෙතනින් කඩා ගන්න බැරි උනොත් නං අපට ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්න වෙනවා.

ඇත්තටම මේක පරද්දන්න පුළුවන්. ඒකට පොදු සතුරා කවුද කියලා හදුනා ගත්තු පොදු වැඩපිළිවෙළක් ඕනි. ඊයේ චමුදිතට. අද මාලකට, හෙට රටේ රාළට වෙන්නත් පුළුවන්. ඊළගට කාටද?

රටේ රාළ කියන්නේ ඊළගට කාටවත් නැති වෙන්න ඕනි. ඒ වෙනුවෙන් එකතු වෙන්න ඕනි. වැඩේ උනාට පස්සේ හෙළා දකින්න එක හොදයි. හැබැයි වැඩේ වෙන්න නොදී වළක්වා ගන්න අයගේ එකතුවකුයි දැන් රටට ඕනි.

ඒක නිසා රටේ රාළ මේ රටේ දේශපාලන පක්ෂවලට, සමාජ ක්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන්ට කියන්නේ හෙට දවස අදට වඩා අදුරුයි, භායානකයි කියලයි.

හැබැයි අදුරට බය උනොත් හැමදාම අදුරේම තමයි ඉන්න වෙන්නේ. අදුරේ ඉදන් උනත් අදුරට එරෙහිව සටන් කරන්න ඕනි. ආලෝකය සොයා ගන්න එකම ක්‍රමය ඒකයි. රටේ රාළ මේ රටේ සමාජ ක්‍රියාකාරීන්ගෙන්, මාධ්‍ය වේදනාවන්ගෙන් ඉල්ලනවා පෑන තවත් හයියෙන් අල්ලා ගන්න කියලා .මොන හේතුවක් නිසාවත් පෑන අතහරින්න එපා.

ඔය කුණු බිත්තරවලට, ගල් පතුරුවලට, අසූච්චි මුට්ටිවලට නෙවෙයි න්‍යෂ්ටික අවියක හිසක් සහිත දිගු දුර බැලස්ට්ක් මිසයිලයකට උනත් පහර දෙන්න පෑන තරම් ශක්තිමත් අවියක් තවම නං ලෝකේ නෑ.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

මීට
රටේ රාළ.


(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 
 

Leader Whats app

 

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58