මුල්ම කාරනේ,
මේ පොත් කවරයට ලැබුණ සම්මානය නිසා හදිස්සියෙ කලබල වෙලා කවර වල සුජාතභාවය හොයන කීපදෙනාට උත්තර නෙවෙයි මම මේ ලියන්නෙ. ක්ෂ්‍රේතය ගැන නොදන්න, මේ මොහොතෙ මගෙන් මොකක්ද මේ වෙන්නෙ අහන අය වෙනුවෙනුයි.
මම ඇතුළුව සීයට අනූවක්ම ලංකාවෙ පොත් ප්‍රකාශන ක්ෂ්‍රේත්‍රයෙ කවර සැලසුම් කරන අය කරන්නෙ කවරය සැලසුම් කරන එක. 'සැලසුම් කිරීම'. ඒ කියන්නෙ පොතේ අන්තර්ගතයට සුදුසු විදියට යම් ඡායාරූපයක්, චිත්‍රයක් හෝ කීපයක් එක්කාසු කරල හැඩය, අවකාශය, වර්ණ සහ අක්ෂර ගැලපීම වගේ දේවල් එක්ක මුද්‍රණයට සූදානම් කිරීම. මීට අමතරව කවරට අදාල සමස්ත රූපසටහන් අතින් හෝ පරිගනකයෙන් ඇදල ගන්න අයත් ඉතාම සුළු පිරිසක් ඉන්නවා. නමුත් අතින් ඇදීම හැම පොතකටම ගැලපෙන්නෙ නෑ වගේම ලංකාවෙ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ කාර්‍යබහුල අයට එහෙම දිගටම අතින් අදින එක කරන්න අමාරුයි. ඒ ගැන වෙනම අවශ්‍යනම් වෙනම ලියන්න පුළුවන්.
මේකෙදි කවරයට අදාල රූපසටහන් බොහෝවෙලාවට අරගන්නෙ අන්තර්ජාලයෙන්. එහෙම ගද්දි ඇතැම් වෙලාවට මම පෞද්ගලිකව ගෙවීමක් කරල ගන්න අවස්ථාත්, ගෙවීමකින් තොරව අරගෙන අදාල මුල් හිමිකරුගෙ නම සඳහන් කරන අවස්ථාත්, එහෙම මුල් හිමිකරුගෙ නමක් හොයාගන්න නැති වෙලාවට 'අයිතිය නොදනී' විදියට තියන අවස්තාත්, තියෙනවා. ඒ මම කරන විදිය. අනිත් අය කරන විදියවල් ගැන මම දන්නෙ නෑ. හැබැයි මට චෝදනා කරන්න පිරිසක් අරන් තිබ්බ රූප වලට අදාල කවර වල මන් ඒව සදහන් කරල තියෙනව කියල එයාල දැකල නැතිව ඇති.

මුල් අයිතිය ගැන සඳහන් කිරීම්
මෙහෙම අන්තර්ජාලයෙන් ගන්න ඉමේජස් පාවිච්චි කරනව කියන එක, මම පෞද්ගලිකව ලේඛකයන්ගෙන් හෝ ප්‍රකාශකයන්ගෙ හංගපු දෙයක්වත් ඒක බැලූබැල්මට කාටවත් නොතේරෙන දෙයක් වත් නෙවේ. අනික ගූගල් එකෙන් ඉමේජ් සෝස් හොයන්න පුළුවන් කියන එක අපි නොදන්න දේකුත් නෙවේ.. මේ කාරනා ඇත්තටම පැහැදිලි කළයුතු දේවල්වත් නොවෙන්නෙ මේව ප්‍රකාශන ක්ෂ්‍රේත්‍රයෙ වැඩ කරන අය හොදින්ම දන්න දේවල් නිසා. දන්න රහස් නෙවේ. වැඩ වෙන විදියයි මේක. ලෝකෙ කොහෙත් එහෙමයි. මොකද කවර සැලසුම් කරුවන්ට හිතෙන හිතෙන රූප මවන්න පුළුවන් විදියෙ මැජික් බලයක් නෑනෙ.

මුල් අයිතිය නොදනී.....
ඊලඟ කාරනය,
මට චෝදනා කරල තිබ්බ සමහරු කියන විදියට මම කරන තවත් එක වැරැද්දක් තමයි , මොකක් හරි අන්තර්ජාලයෙන් ගන්න රූපයක් එහෙම්මම යොදල ඒකට අකුරු විතරක් එකතුකරල තියෙනව කියන එක. ඒකට එයාලගෙ යෝජනාව තමයි මම ඒකට ඊටවඩා තව මොනවහරි එකතුකළ යුතුයි, නැත්නම් රූප දෙකක් එකතුකරල මොකක් හරි වෙන දෙයක් හැදිය යුතුයි කියන එක.
මට තියෙන ප්‍රශ්නය, ලේඛකයාවත් ප්‍රකාශකයාවත් නොවන, අඩුම තරමින් අදාල පොත කියවලාවත් නැති කෙනෙක් කොහොමද කවර සැලසුමක් එහෙමම විය යුතුයි කියන්නෙ. කවරයට ගන්න රූපය සංස්කරණය කරනවද ඒකට වෙනත් රූපයක් එකතු කරනවද, නැත්නම් ඒක එහෙම්ම තියල අකුරු විතරක් එකතුකරනවද කියන එක තීරනය වෙන්නෙ අදාල පොතේ අන්තර්ගතය සහ කවරය සැලසුම් කරන කෙනා මත. මම කරපු හැම පොතකම කවරවල පසුබිම් රූප කිසිම සංස්කරණයක් නොකර එහෙම තියල නෑ.. අවශ්‍ය පොත් වලදි ඒක එහෙම කරල තියෙනවා. ඒක බලන කෙනාගෙ වින්දන පරාසය අනුව හොදද නැද්ද තීරනය වෙනව මිසක් ඒක හොරකමක්, වැරැද්දක් වෙන්නෙ කොහොමද, මම අදාල මුල් අයිතීන්ට නිසි ගරුත්වය දීල තියෙනවනම්? එතකොට සිසිර විජේතුංග, ප්‍රසාද් සමරසේකර, දිනිඳු සිරිවර්ධන වගේ අයත් හොරුද?
අතිශය අභ්‍යන්තර පරීක්ෂණය කවරය හැදුන හැටි

පළවෙනි අදහස - දෙවෙනි අදහස (මිනිස් රූපයක් සහිත කටුසටහන)
අතිශය අභ්‍යන්තර පරීක්ෂණය පොතට මම හදපු කවරය ඇත්තෙන්ම මම කරපු වැඩවලින් මම වඩාත් ආසාවෙන් කරපු කවරයක්. මේක අර පිරිස උපුටා දක්වන ඉතාලි කවරයෙන් මම සම්පූර්ණයෙන් කොපි කලායි කියන කතාව මම ප්‍රතික්ෂේප කරනවා. මම එහෙම ප්‍රතික්ෂේප කරන්නෙ සම්මානය නිසා නෙවෙයි. ඒ කවරයට මම මහන්සි වුන නිසා සහ මම ඒක ඇතුලෙ අර්ථයක් ගොඩනගන්න උත්සහ කරපු නිසා. සම්මානය මෙතනට අදාල නොවෙන්නෙ ඒක මම තරගයට අයදුම් කරල දිනාගත්ත එකක්වත්, මම බලාපොරොත්තු වුන එකක්වත් නොවන නිසා. ඒ ගැන වෙනම කතාකරමු.
මේ කවරය ගැන කතාකරන අය මේ පොත කියවල නැති බවනම් මට විශ්වාසයි. නමුත් කවරයෙ මම ගොඩනගන්න හදපු සංකල්ප ටික පැහැදිලිව තේරෙන්නෙ පොත කියවල අවසන් කලාම කියන එකයි මගෙනම් අදහස. කවරය වෙනත් පොතකින් සම්පුර්ණයෙන් කොපි කලා කියනකොට මට එන එක ප්‍රශ්නයක් තමයි එහෙම වෙනත් සන්දර්භයක වෙනත් අර්ථ තියෙන කවරයකින් මේ පොතේ හැගීම මේක කියවපු අයට දැනිල තිබුනෙ කොහොමද කියන එක. විදේශ භාෂාවක, මේකට කිසිම සම්බන්දයක් නැති කතාවක කවරයක් මේ පොතට ගැලපෙන්නෙ කොහොමද?
මේ පොතේ තියෙන්නෙ සිංහලයට පරිවර්තනය වුණ දමිළ කෙටිකතා එකතුවක්. පොතේ කතා සේරම මට දැනුණු කතා. දැන් අපි කවර කරන ගොඩක් පොත්, කවරය සැලසුම් කරන්න කලින් සම්පුර්ණයෙන් කියවන්නෙ නැතිම තරම්. ඒත් මේ පොත මම කියෙව්වා. මොකද මේකෙ පිටුසැලසුම කලෙත් මම නිසා. ඉතින් මට මුලින් ඕනෙ කලේ පොතේ සමස්ත හැගීම දැනෙන රූපයක් කවරෙට ගේන්න. පහළ තියෙන පළවෙනි රූපය මන් ඒකට ගැලපෙයි කියල හිතුවා. ඊලගට අතිශය අභ්‍යන්තර පරීක්ෂනය කියන කෙටිකතාව මුල් කරගෙන තව එකක් කරන්න හිතාගෙන ඔය පහල තියෙන මිනිස් රූපයක් සහිත කටුසටහන ඇන්දා. කෙටිකතාවෙ තියෙන්නෙ අවුරුදු ගානක් ළිදක් ඇතුලෙ ජීවත් වුන මනුස්සයෙක් මුල් කරගත් අධියතාර්ථවාදී කතාවක්. ඉතින් ළිද ඇතුලෙ මනුස්සයෙක් වැතිරිල ඉන්න රූපයක් සංකේතාත්මකව වෙනස් විදියකට පෙන්නනයි මට ඕනෙ කලේ. ඒකට මුලින් ඇදපු රූපය තමයි ඒක. ඒත් ඒකටත් වඩා වෙනස් විදියකින් ඒක පෙන්නන පුළුවන් අදහසක් මම හෙව්වා. මම අදහස් සහ රූපසටහන් හොයන්න පාවිච්චි කරන පින්ටරෙස්ට් වෙබ් අඩවියෙන් තමයි මම හෙව්වෙ. ඒකෙ අපි දන්නව එක රූපයකින් ඊටසමාන රූප, චිත්‍ර සටහන් ගොඩක් හොයාගන්න පුළුවන්. මට අවශ්‍ය අදහස එක්ක එකලග මට හම්බුන රූප පෙලක් තමා පහල ඊලග රූපෙ තියෙන්නෙ.. එතන ඇත්තටම ඔය ඉතාලි කවරය කියන රූපයත් තියෙනව. ඒක කවරයකට වඩා පෝස්ටර් එක්කටයි සමාන. ඒ අනිත් කවර සහ පෝස්ටර් සියල්ලත් එකකට එකක් බොහෝදුරට සමානයි. පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නෙ. ඔබ හොදින් බැලුවොත් පේනව අර පිරිස උපුටා දක්වපු කවරයට සහ මේ මම සැලසුම් කළ කවරයට හැඩයෙන් ඉතාම සමාන තව රූප දෙකක් මෙතන තියෙනවා. මට චෝදනා කරන අය කියන්නෙ මම කවරයක් කවරයකට කොපි කරල ඇතිබවනෙ. එතකොට මේ හැඩය මම අනිත් රූප දෙකෙන් උපුටාගත්තා නොවෙන්නෙ කොහොමද?

කොහොමහරි මම මේ හැඩය කවරයට ගන්න හිතුවෙ ඒකෙ ඇතුලෙන් මට අර ලිඳක නැත්නම් වලක ගැඹුර පේන හැඩයක් සහ යම් කම්පනයක ස්වරූපයක් දැනන හැඩයක් නිසා. ඇතුලට රතුපාට දැම්මෙ කතාව පාදක වෙන යුද්ධය සහ ලේ සංකේතවත් කරන්න. ඊලගට ඒ රතු රවුම ඇතුලට මිනිස් රූපයක් ඇන්දෙ කතාවෙ චරිතය එතනට ගේන්න. ඒ රූපයත් මුලින් ආකාර දෙක්කට ඇදපුව පහල පින්තූරෙක තියෙනවා.
කවරයෙ අකුරු වලට පාවිච්චි කලේ පුෂ්පානන්ද ඒකනායක, දමිත් වැලිකල සහ පසන් තිලකවර්ධන නිර්මාණය කරපු ෆොන්ට්ස්. මම ඒ ෆොන්ට් නිර්මාණකරුවන්ගෙ නම් පවා මේ පොත ඇතුලෙ සඳහන් කරල තියෙනවා. ඒක ලංකාවෙ පොත් වලදි කෙරෙන්නෙම නැති දෙයක්. හැබැයි මම මේ හොරකම් කරා කියන පොත ඇතුලෙ ඒ ගරු කිරීමත් කරල තියෙනවා.

අකුරු නිර්මාණ කරුවන් ගැන
කවරෙ හැදුනෙ ඔහොමයි. ඒ මොනව වුනත් මේක හොරකමක් කියල ඔබ විශ්වාස කරනවනම් ඒක ඔබේ වැඩක්. මම ගොඩක් දුරට කවර කරද්දි අභාෂය ලබපු කෙනා දිනිදු සිරිවර්ධන. එයා මේ වගේ වෙනත් සන්දර්භයක රූප සංකේත අරගෙන ඒව වෙනස්ම අර්ථවලට ගොනු කරල තියෙන බව මම අධ්‍යයනය කරල තියෙනවා. ඉතින් ලංකාවෙ වැඩවලදි ඒ පූර්වාදර්ශ එක්ක තමා මන් වැඩ කලේ. උපුටා ගන්න දේවල් වලදි මුල් අයිතියට ගරු කරනවනම් එතන හොරකමක් වංචාවක් වෙනව කියල දෙයක් මගේ සදාචාර සීමාවන්ට අනුව දැනුනෙ නෑ.

ක්ෂේත්රයේ සාමාන්ය වැඩ. දිනිදු සිරිවර්ධන

ක්ෂේත්රයේ සාමාන්ය වැඩ. මොල සෙනෙවිරත්න
අනික මම කිසිවෙලාවක කිසි දෙයක් හංගලත් නෑ.. මම ඉන්ටනෙට් එකෙන් ගන්න රූප එක්ක වැඩ කරන බව ප්‍රකාශකයො දන්නවා. මේ අදාල පොතේ රවුම් සහිත රූප පෙළ පවා මගේ Behance ගිනුමෙ මේ ව්‍යාපෘතියට අදාලව දාල තියෙනවා. ඒ වගේම වැරැද්දක් වුනානම් පිලිගන්න බය වෙන්නෙත් නෑ. මට පුළුවන් හැමවෙලාවකම මම ගන්න හැම රූපයක් වෙනුවෙන්ම නාමිකව හෝ මට පුළුවන් ගරුත්වය මම දීල තියෙනවා. බොහෝවෙලාවල් වලදි මුදල් වලින් වටිනාකම ගෙවල නැහැයි කියන එක මම පිළිගන්නව. මොකද මේ රටේ වැඩ වෙන පිළිවෙල ඒකයි. කවර සැලසුම් කරල උපයන මුදලින් ජීවත් වෙන කෙනෙක් විදියට මම ක්ෂේත්‍රයේ වැඩ කරන විදියට අනුගත වෙලා වැඩ කරගෙන යනවා.

Behance ගිනුමෙ විස්තර
සම්මාන කතාව
සාමාන්‍ය අවබෝධයක් තියෙන ඕනම මනුස්සයෙකුට මොකක්ද මේ වෙන්නෙ කියල තේරෙන මඩ ප්‍රහාර රැල්ල පටන් ගත්තෙ මට හොදම පිටකවරයට රාජ්‍ය සම්මානය හම්බුන නිසානෙ. දැන් අර කවරය කොපියක් කියල ඒක ආයෙ බාර දෙන්න කියලත් ෆේක් එකවුන්ට් වලින් විවිද දේවල් කියනවනෙ.
ඇත්තටම මේ සම්මානය මට දෙන්න හේතුවුන නිර්ණායක මොනවද කියලවත්, මේ කවරය ඊට සුදුසුයි කියල තේරුවෙ කවුද කියලවත් මම දන්නෙ නෑ. කොටින්ම මම සම්මානයට නිර්දේශ වෙලා කියල කෝල් එක එනකන්ම මම එහෙම දෙයක් වෙන බවක් දන්නෙත් නෑ. මොකද රාජ්‍ය සාහිත්‍යය උළෙලට අයදුම් කිරීමකින් තොරවයි සලකා බැලෙන්නෙ. හැබැයි මේ සම්මානෙ මම බාරගත්තෙ මම දන්න කවර කලාව ඇතුලෙ මම අවංකව මගෙ වැඩේ කලා කියල මම හිතුව නිසා. මම කිසි දෙයක් හංගලත් නෑ. බොරු කරලත් නෑ. පොතක කතාවට, හැඟීමට අදාලව මගේ කවර සැලසුම කරන එකයි මම කලේ. ක්ෂේත්‍රයේ වැඩ වෙන විදිය මම දන්නවා. මම ඒ අනුව වැඩ කරනවා. ඒ වැඩ වලට දෙන සම්මානයකට මාව නිර්දේශ වෙලා තියෙනව කියල දැනගත්තම මම ගියා. සම්මානය ලැබුනා මම භාරගත්තා.
කොහොම වුනත් දැන් බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන කතන්දර එක්ක මේ ගැන ලොකු සංවාදයක් ඇතිවෙලා තියෙන මොහොතෙ, විනිශ්චය මණ්ඩලය බලපු නිර්ණායක වලට අනුව මේ කවරයට මේ සම්මානය සුදුසු නෑ කියල විනිශ්චය මණ්ඩලය ආයෙමත් තීරණය කරනවනම් සම්මානය ආයෙ භාර දෙන්න මට පුළුවන්.. මොකද මේක මම අයදුම් කරපු හෝ කවදාවත් බලාපොරොත්තු වුන හෝ සම්මානයක් නෙවෙයි. මේ කවරය හැදුවෙත් ඒ පොත වෙනුවෙන් මිස ඔය සම්මාන වලට නෙවේ. මගේ පැහැදිලි කිරීම ඔච්චරයි.