කාගිල්ස් ෆුඩ් සිටිය කියන්නෙ මං නිතර යන එන, බඩු ගන්න තැනක්. එතන මට නිතර මුනගැහෙන්නෙ ඉතා හොඳ පිරිසක්. සේවකයන් පවා ඉතා හොඳින් මට උදව් කරලා තියෙනවා.
විශේෂයෙන්ම කොරොනා කාලෙදි ගෙදරටම ඕන කරන බඩු මුට්ටු ගෙනත් දෙන්න අපේ ගෙවල් ළග ෆුඩ් සිටිය උනන්දු වුනා.
එක ෆුඩ් සිටියකට විතරක් නෙමෙයි මං බොහොමයක් ෆුඩ්සිටිවලට යනවා එනවා. ඒ හැම එකකම මට ලැබිලා තියෙන්නෙ පාරිභෝගිකයෙක් විදිහට ප්‍රසන්න අත්දැකීමක්.
කොතනක හරි එක තැනක සිද්ද වුනු සිදුවීමකින් ආයතනයක් ගැන තීරණ ගන්න එක බොළඳකමක්. ඒ ආයතනයේ ඊට වඩා ගොඩක් හොඳ දේවල් මං දැකලා තියෙනවා. කාගිල්ස් එකේ වැඩ කරන සේවකයන් සමහරකගේ පුද්ගලික ජීවිත ගැනත් මං දන්නවා. ඒ අය මේ ආයතනයේ වැඩ කරලා උන්ගෙ ජීවිත ගොඩදාගෙන ඉන්න විදිහ ගැන මං ඒ අයගෙන්ම අහලත් තියෙනවා.
කාගිල්ස් ෆුඩ් සිටි කියන්නෙ ලංකාවෙ සුපර් මාර්කට් කියන එක මහපොලොවට ගෙනාපු තැන. පුෂ් බයිසිකලෙන් ඇවිත් බඩු ගන්න පුළුවන් කියලා අර පොෂ් සුපිරි මානසිකත්වය ගමේ පොල ගානට අරන් ආවෙ කාගිල්ස් එක. ඒ ගැන මං ඒ තරම් කැමති නොවුනත් ඒ වැඩේ මේ රටේ පාරිභෝගික සංස්කෘතියෙ ලොකු පෙරලියක් ඇති කළා. අද වුනත් ඈත පැත්තක දියුණුවක් ගැන කතා කරද්දි ඒ පැත්තට ෆුඩ් සිටියක් එනවා කියන එක කාරණයක්. එහෙම නැත්තං කවුරු හරි ඒ නමෙන් ෆේක් ෆුඩ් සිටියක් හරි අරිනවා.
ඕනම ආයතනයක පිස්සු කෙලින මිනිස්සු ඉන්න පුළුවන්. ඒක රටේ සංස්කෘතිය මිසක් ආයතනයේ සංස්කෘතිය විදිහට බාරගන්න පුළුවන්කමක් නෑ. වැදගත් වෙන්නෙ ඒ ආයතනය ඒ වගේ සිදුවීමකදි ක්‍රියාත්මක වෙන ආකාරයයි. කාගිල්ස් එක මෙතනදි ඉතාම ශිෂ්ට විදිහට ආයතනයක් විදිහට තමන් වරද බාරගෙන, ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බව නිවේදනය කිරීම ප්‍රශස්තයි. ඕක ලේසියෙන්ම පුද්ගලික කෝන්තරයක් හරි වෙන සැලසුම්ගත ක්‍රියාවක් හරි කියලා ලිස්සලා යන්න තිබුන. ලංකාවෙ ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් සහ බොහෝ තැන්වල කරන දෙයක්.
මේ රටේ රාජපක්ෂලාට වඩා හානියක් කරන්නෙ හැම දේකටම සමාජ යුක්තිය වෙනුවෙන් කියල මැදිහත් වෙන කීබෝඩ් වීරයො. ඒ අයට සමාජ ක්‍රියාකාරීන් කියලත් කියනවා. තමන්ට මැදිහත්ව- අවංකව හිතන්න බැරි මනුස්සයෙකුට සමාජ යුක්තිය වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන්කමක් නෑ. ඒ වගේම ෆේස්බුක් එක කියන්නෙ යුක්තිය පසිඳලන තැනකුත් නෙමෙයි. මෙතනදි මේ ඇක්ටිවිස්ට්ලා බොහොමයක් උත්සාහ කරන්නෙ කාගිල්ස් එක දුෂ්ටයා කරමින් තමන් මාර යුක්තිසහගත වීරයෙක් කියන ස්වයංවින්දනය ලබන්න බව පැහැදිලියි. සෝෂල් ජස්ටිස් වොරියර්ස්ලාගෙ හැටි එහෙමයි.
මෙතන හොරකම් කළා කියන අය ගැන වගේම පහර දීපු අය ගැනත් මට තියෙන්නෙ දුකක්. කාගිල්ස් එකට ලේසියෙන්ම පුළුවන් ඒ පහර දීපු අයගෙ රැකියාව නැති කරන්න. බොහෝ විට ඒක එහෙම වෙයි. ඒත් ඒ මිනිස්සු ජීවත් වෙන්නෙත් මේ ගන්න පඩියෙන්. ශිෂ්ට විදිහට පාරිභෝගික සමාජයක හැසිරීම නොදන්නාකම නිසා ඒ අයගෙ වැටුපෙන් ජීවත්වෙන පවුල්වලටත් ඒක බලපානවා. මේ ශිෂ්ටකම කෙනෙක් රස්සාවට එන ආයතනේකින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපේ රටේ අපි ලබන අධ්‍යාපනය. අපේ සංස්කෘතිය. ඕනම දේකදි ප්‍රචන්ඩත්වය මුදාහැරීම මේ රටේ ප්‍රගතිශීලී යැයි කියන අයගේ පවා සංස්කෘතිය බව අපි දන්නවා. අරගලය කාලෙදි අපේ ගෙවල් ගිනි තියන්න කියලත් පෝස්ට් දැම්මෙ කාගිල්ස් එකේ වැඩකරන මිනිස්සු නෙමෙයි.
ආයතනයක් විදිහට මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න ඕන. වරද කළ අයට දඩුවම් දෙන්න ඕන. ඒ වගේම ඒ අයගෙ මානසිකත්වය, ඒ අයගෙ ජීවිත ගැනත් මානුෂිකව කල්පනා කරන්න පුළුවන් නම් වටිනවා. යුක්තිය කියන්නෙ එහෙම දේකට මිස වරදකරුවන් එල්ලුම් ගහට නියම කරන එකට නෙමෙයි.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)