මතක විදියට 2006 මැද විතර. X කණ්ඩායම බිඳ වැටුණට පස්සේ කැරළිකාර කණ්ඩායම නෙවෙයි ඉතුරු කට්ටිය වෙනත් විදියටක සංවිධානගත වෙන්න හදපු උත්සාහය. 

 
ඒ උත්සාහය ඇතුලේ නුවර සර්වෝදය ගොඩනැගිල්ලේ නැවත පංති වගයක් පටන් ගෙන තිබුණ. දුරකතන ඇමතුමක් දීල සම්බන්ද වෙලා ඒ පංතියට මමත් සහභාගී වුණා. 
 
ඒ පංතිය පටන් ගත්ත පළවෙනි දවසේ පෙන්නපු චිත්‍රපටිය තමයි Mike Figgis ගේ Leaving Las Vegas (1995). ඒ වෙලාවේ හැටියට අලුත් ම අත්දැකීමක් හැටියට ඒක මගේ මතකයේ රැඳුනා. ඒත් අද මම මේක ලියන්නේ ඒ ෆිල්ම් එක බලල අවුරුදු පහළොවකට පස්සේ. 
 
ගලහ හංදියෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලේ පහුකරලා ගිහිල්ල තමයි බහිරව කන්ද බඩගාලා අර පංතියට ගියේ. ඒක මරු. 
 
චිත්‍රපටයේ ප්‍රධාන තේමාව මරණය (death). ඊළඟට වරණය (choice). මරණය කරා ගමන් කිරීම. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය. මරණය කරා ගමන් කරන අතරේ හමුවන ස්ත්‍රිය. වේගාස් නගරය. නාගරික බව. ද්‍රවශීල ප්‍රාග්ධනය. නියෝන් ලයිට්, කැසිනෝ, ෂොපින් මෝල් මැද වොඩ්කා උගුරක් කටේ හලාගෙන ඒ ස්ත්‍රිය දිහා අන්තිම වතාවට බලල අවසන් හුස්ම හෙලීම. මේ සියල්ල මැද පවතින ආදරය. ආදරයේ මරණීය ආකෘතිය.  
 

 
නුවර පංතියේ මේ චිත්‍රපටය ගැන කතා වුණේ ස්ත්‍රිය කියන්නේ මරණය කරා පිරිමියා ගෙනියන වාහකයක් හැටියට. එයාල ඒ වෙලාවේ මට මතක විදියට පාවිච්චි කළේ දෛව ස්ත්‍රිය (femme fatale) කියන වචනය වෙන්න ඕනි. ඒ කියන්නේ පිරිමි ෆැන්ටසි එක එහි මරණීය අන්තයට ගෙනියන කෙනා හැටියට. වසඟයක් හැටියට. 
 
ඒ නිසා ඒ වගේ ස්ත්‍රියක් කියන්නේ පරිස්සම් විය යුතු දෙයක් වගේ හැඟීමක් දුන්නා වගේත් මතකයි. හැබැයි මේක ගොඩ කාලයකට ඉස්සර වෙලා සිදු වෙච්ච දෙයක් නිසා මගේ මතකය නිවැරදි නොවෙන්න පුළුවන්. 
 
හැබැයි පැහැදිළිව ඒ පංතියේ කිව්ව දෙයක් නම් ඒ වගේ නගරයක මිනිහෙකුට සෞන්දර්යාමක විදියට මැරෙන්න හරි පුළුවන් කියන එක. කන්න නැතුව, බොන්න නැතුව, අඳින්න නැතුව, වල් අලි ගහල මැරෙන රටක ඒ කතාව අදටත් හරි.  
 
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බෙන්. බිරිඳ එයාව දාල ගියාට පස්සේ (ඒක හරියට එයාට මතක නැහැ) එයා වැළඳ ගන්නේ සුරාව. සුරාව එක්ක මරණය. ඒ අවසන් වතාවට. අවසන් තේරීම හැටියට. මොනම හේතුවක් නිසාවත් එයා ඒ තේරීමෙන් ආපසු පය ගන්න සූදානම් නැහැ. 
 
ඒ සඳහා බෙන් තෝරා ගන්නේ මරණයේ නගරය. ලස් වේගාස් භූමිය. වැදගත් ම දේ නම් මරණය නම් ඔහුගේ වරණය සහ ඔහුගේ මේ මොහොතේ ක්‍රියාව අතර කිසිම පරතරයක් නැති කම. ඒ නිසා තමයි බුර්ෂුවා නරඹන්නාගේ දැක්ම ක්ෂිතිමය විසංයෝජනයකට ලක් වෙන්නේ. සියල්ල අල්ලගෙන ඉන්න අපිට ඒ රැඩිකල් අත්හැරීම තේරුම් ගන්න බැරිවීම පුදුමයක් නෙවෙයි. 
 
ඒ වරණය ඇතුලේ මුල්ම වතාවට ඔහු නිදහස් වෙනවා. මුල්ම වතාවට සියල්ලෙන් නිදහස් වෙනවා. මතකය, සම්බන්දතා, ආචාර සමාචාර, පිළිගත් සදාචාරය, දේශපාලන නිරවද්‍යතාව, හරියට හැසිරෙන හැටි, කතා කරන හැටි, යන එකී මෙකි නොකී සියළු දේවල් වලින් ඔහු නිර්-ගුරුත්වයක් ලබනවා (de-gravitate). 
 
මරණය තෝරා ගත්තට පස්සේ සමුරායි කෙනෙක් වගේ සියලු බැඳීම්, සියළු කොන්දේසි වලින් ඔහු නිදහස් වෙනවා. ඒක අපුර්ව නිදහසක්. මහපාරේ හමුවන සේරා එක්ක මොකක්දෝ අවසන් ගමනක අවසන් නිමේෂය අත්දකින ඔහු ඇයට දමන එකම කොන්දේසිය 'මට බොන්න එපා කියල නම් කියන්න එපා' කියන එක. එපමණයි. 
 
ඒ කියන්නේ මට මැරෙන්න එපා කියල කියන්න එපා කියන එක. මොකද ඒක විසින් තමයි ඔහුව නිදහස් කරන්නේ. මරණයේ කොන්දේසිය - කොන්දේසියක් නැති මරණය - විතරයි ඔහු අතේ අරගෙන යන්නේ. 
 
ඒ එකම කොන්දේසියට ඇය එකඟ වෙනවා. හරි එහෙනම් මම ආයේ බොන්න එපා කියල කියන්නේ නැහැ. දොස්තර කෙනෙක් ළඟට යමු කියල කියන්නෙත් නැහැ. බෙන් යන්න හදන අරමුණ එක්ක සේරා එකඟ වෙනවා. මරණය නම් සිද්දියට එයා භක්තිමත් වෙනවා (fidelity to the Event).
 
එහෙම වෙන්න හේතුව නම් පට්ට බොරු කාරයෝ සහ ව්‍යාජ අනන්‍යතා වැහි වැහැල තියන ලස් වේගාස් වල එයාට හමුවන එකම ඇත්ත අරමුණක් සහිත පිරිමියා බෙන් වීම. 
 
සේරාට හමු වෙලා තියෙන්නෙම එහෙම ව්‍යාජ පිරිමි. බොරු කියල, හිනාවෙලා, සල්ලි පෙන්නලා, එක්කන් ගිහිල්ලා, දුෂණය කරල අතහරින පිරිමි පිම්පි. ඒ වගේ උන් අතරේ බෙන් ඇත්තටම නූතන පිරිමියෙක් පශ්චාත් නූතන මරණයක් අපේක්ෂා කරන. ආශාව පැහැදිලි නිසා ඔහු ගුප්ත පිරිමියෙකුත් නෙවෙයි. 
 
ගොඩක් අය බොරු රංගනයක් ඇතුලේ ඉන්න වෙලාවක ඇත්තම මරණයේ රංගනය වෙනුවෙන් බෙන්ට ඇයව උවමනා උණා. ඇය ඒ රංගනය ආශාවෙන් කළා. ඒක ඇත්ත රංගනයක්. පාට පාට නිලංකාර රංගනයක්. ඒ විදියට තමයි බෙන් මැරෙන්න ආශා කළේ. 
 
අවසාන රමණය වෙනුවෙන් ඇය ඇත්තටම උවමණා වීම ඇතුලේ ආදරය මරණීය ආකෘතියක් දක්වා අරගෙන ගිහිල්ල ඒක අධ්‍යාත්මිකත්වයක් දක්වා ගමන් කරවනවා කියල මට හිතෙනවා. මොකද ඒක සාමාන්‍ය සිහිනයක් නොවන නිසා. එතැනදී තමයි සේරා සුර දුතිකාවක් වෙන්නේ (angel). වේදනාවෙන් මුදවන්නික් වෙන්නේ. 
 
මේ ලෝකෙන් නික්මිලා යන්න, ඔහු විඳින දුකෙන් මුදවන්න බෙන් ට ඇය උදව් කරනවා. ඒ ඇත්තම ආදරයක් එක්ක. ඒකයි ඒ 'සුර දූතිකාව' කියන නම එයාට ගැළපෙන්නේ. 
 
අන්තිම නිමේෂයේ බෙන් වේගාස් හැර යනවා. සියල්ල හැර යනවා. 
 
fgdfg
 
Sting ගේ Angel Eyes සිංදුව ඒ හැරයාමට හරියටම ගැළපෙනවා. වේගාස් වල සිද්ද වෙච්ච ඒ මරණීය ආදරයේ උත්කෘෂ්ට බව වෙනුවෙන් ඒ අද්විතීය කටහඬ දුන්නට ඔයාට ඇත්තටම ස්තුති Sting! 
 
අවුරුදු පහළොවකට පස්සෙත් ඒ ෆිල්ම් එක ගැන මම අදත් අසාවෙන් ලියනවා. එහෙම ෆිල්ම් එකක් පෙන්නුවට X වූ හෝ නොවූ (ආවා වූත් නාවා වූත්) ඒ සියළු දෙනාට ස්තුති. 
 
ඒ දවස සහ අද දවස අතර පරතරය (ගැප් එක) සැලකිල්ලට අරන් ෆිල්ම් එක නැවත බලපුවම මට දැනුණ එකම වෙනස සේරා දෛව ස්ත්‍රියක් නොවෙයි කියන අදහස විතරයි. 
 
ආදරය කියන සංකිර්ණ මනෝභාවය ඇතුලේ එයා ආදරය නිසාම බෙන්ගේ මරණය නම් සිද්දියට භක්තිමත් උණා කියන එක තමයි අදටත් මට තේරෙන බදිව්යානු අදහස. වෙනස් කළ නොහැකි දෙයක් ඒ විදියටම පිළිගන්නත්, ගලවා ගත නොහැකි දෙයක් ගලවා ගන්න උත්සාහ නොකරන්න තරම් එයාගේ ආදරය පුළුල් දෙයක් වීම එක්ක අසල්වැසියා එයාගේ ආදරය විඳින්න භාග්‍ය සම්පන්න වෙනවා. 
 
ඒ නිසා හුදු පුරුෂ නාට්‍යයක කොටසක් නෙවෙයි ඇය වීර කාව්‍යයක කොටසක් තමයි රඟපාන්නේ. එකම දේ ඒ වීර කාව්‍යයේ පිටපත බෙන්ගේ වීම විතරයි. එහෙම නාට්‍යයක රඟපෑවට කමක් නැහැ සේරා....
Sting ගේ Angel Eyes ගීතය පහත. 
 

 
 
Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 


 

THE LEADER TV 
 
 
 

ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන 

 

ජී. එල්. ටත් කැපිල්ලක් ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්