ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගය මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (අගෝස්තු 31 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

මේවන විට ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ පැහැබර කාලගුණ තත්ත්වයක් පවතී.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට තරග වදින්නේ සිය ප්‍රධාන පන්දු යවන්නන් සිව් දෙනෙකු නොමැති අභියෝගාත්මක වාතාවරණයකය.

‘හොඳම සංචිතය නම් කර තිබෙනවා

ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයන්ට ලක්ව සිටියද ආසියානු කුසලාන තරගාවලිය සඳහා හොඳ සංචිතයක් නම් කර ඇති බව හිටපු ප්‍රවීන ක්‍රීඩකයෙකු වන ෆර්වීස් මහරුෆ් බීබීසී සිංහල වෙත පවසා සිටියේය.

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ දී මෙන්ම සිම්බාබ්වේහිදී පැවති ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ලකුණු අතර සිටි දිමුත් කරුණාරත්න සංචිතයට නම් කර තිබීම වැදගත් බව ඔහු පැවසීය.

මේ අතර කුසල් ජනිත් පෙරේරා අද ( අගෝස්තු මස 31) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව ප්‍රවීන ක්‍රීඩක මහරූෆ් සඳහන් කළේය.

"කුසල් ජනිත් පෙරේරා කියන ක්‍රීඩකයා ෆුල් ෆිට්නස් එක තියා ගත්තොත් සෙල්ලම් කරන්න ඕන ක්‍රීඩකයෙක්. අද තරගය ඔහු සෙල්ලම් කරයිද කියලා මට ෂුවර් නැහැ. කොවිඩ් වලින් පස්සේ ගොඩක් දුරට ෆිට්නස් ටෙස්ට් එකක් එහෙම තියයි. එයා නැති වුනත් බැට්ස්මන්ලා තව හය දෙනෙක් ඉන්නවා. අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ මෙවැනි තරගාවලි සඳහා සෙල්ලම් කිරීම වැදගත්." ඔහු පවසා සිටියේය.

Screenshot 2023 08 31 at 14.24.31

වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීම නිසා තරගාවලිය අහිමිවීම ශ්‍රී ලංකාවට පාඩුවක් වුවත් ඒ වෙනුවට සංචිතයට නම් කළ ක්‍රීඩකයින්ට සිය දක්ෂතා විදහා දැක්වීමට මෙය හොඳ අවස්ථාවක් බව මහරුෆ් පැවසුවේය.

එමෙන්ම පළමු වටයේ තමන් මුහුණ දෙන තරග දෙක ජයග්‍රහණය කොට දෙවන වටයට යෑම සෑම කණ්ඩායමක්ම සිය අරමුණ කරගෙන සිටින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාංගණයේ තණ නිල්ලේ ස්වභාවය ඉක්මනින් තේරුම් ගෙන ඒ අනුව ක්‍රීඩා කිරීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

‘මේක සුබවාදීව බැලිය යුතු අවස්ථාවක්’

ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධානම පන්දු යවන්නන් සිව්දෙනෙකු ආබාධයන් නිසා ආසියානු කුසලානයට ක්‍රීඩා නොකළ ද දෙවන පෙළ ක්‍රීඩකයින්ට ඔවුන්ට ලැබුණු මෙම අවස්ථාව සිය දක්ෂතාවයන් පෙන්නුම් කිරීම සඳහා හොඳ අවස්ථාවක් බව ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසි සිංහල වෙත පැවසීය.

ඔහු සඳහන් කළේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ ආබාධ තත්ත්වයන් නිසා නම් කර ඇත්තේ හොඳම ශ්‍රී ලංකා සංචිතය නොවුවත් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ දෙවන පෙළ ක්‍රීඩකයින්ගේ හැකියාව පෙන්නුම් කිරීමට ඇති හොඳ අවස්ථාවක් බවයි.

"විශේෂයෙන් ප්‍රමෝද් මධුෂාන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම දුනීත් වෙල්ලාලගේ කැඳවීමට තීරණය කිරීමත් හොඳ දෙයක්. පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඔහු ක්‍රීඩා කළ ආකාරය දෙස බලන්න. තරුණ ක්‍රීඩකයෙක් වුවත් ඔහුගේ පරිණතභාවය හොඳට පෙන්නුම් කළා. මේක අපි සුබවාදීව දැකිය යුතුයි." රොෂාන් අබේසිංහ පැවසුවේය.

තීරණාත්මක සාධකය පිතිකරුවන්

ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුලික වටයේ තරග දෙක ක්‍රීඩා කිරීමට නියමිත පල්ලෙකැලේ සහ පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගණවල තණ තීරුව සම්බන්ධයෙන් ද බීබීසි සිංහල, රොෂාන් අබේසිංහ ගෙන් කරුණු විමසා සිටියෙමු.

එහිදී ඔහු පවසා සිටියේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණය පිතිකරුවන්ට හොඳ සහයක් දෙන තණ තීරුවක් වුවත් පවතින කාලගුණික තත්ත්වය ගැන ද අවධානය යොමු කිරීමට සිදුවන බවයි.

"මේ වගේ වැස්සක් සහිත අහස වලාකුළු වලින් බරව තියෙන තත්ත්වයක කාසියේ වාසිය දිනන කණ්ඩායමේ නායකයා ප්‍රතිවාදී කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දෙන්න කියලා ආරාධනා කරනවා. මොකද විකට් එකේ තියෙන තෙතමනය එක්ක."

"ඒ වගේම හොඳට අව්ව තියෙන දවසක් නම් කාසියේ වාසිය දිනන නායකයාට තීරණය කරන්න පුළුවන් පළමුවෙන් පන්දුවට පහර දෙන්න."

"කරච්චි හි විකට් එකත් පිතිකරණයට හොද වෙයි. ඒ වගේම පාකිස්තානයේ වේග පන්දු යවන්නන් වැඩි නිසා ඒ විකට් වේග පන්දු යවන්නට ටිකක් වැඩිපුර සහයක් දේවි."

"නමුත් මේ තණ තීරුවල තීරණාත්මක සාධකය ලෙස මම දකින්නේ පිතිකරුවන්. ඔවුන් ලකුණු ලබා ගත යුතුයි." ඔහු පැවසීය.

අවිශ්ක ප්‍රනාන්දු නොසිටීම අවාසනාවක්

ශ්‍රී ලංකා සංචිතයේ අවිශ්ක ප්‍රනාන්දු නොසිටිම අවසනාවන්ත තත්ත්වයක් බවත් දිනේෂ් චන්දිමාල් ද පන්දු වාර 50 තරග සඳහා වැදගත් බැවින් ඔහුද සංචිතයට ඇතුලත්ව සිටියා නම් යහපත් බව ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේය.

එමෙන්ම දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට කැඳවීම වැදගත් තීරණයක් බවත්, ආරම්භක පිතිකරු වශයෙන් පසුගිය තරගාවලි සඳහා ඔහු විසින් පෙන්නුම් කළ ඒ සංයමය කණ්ඩායමට ඉතා වැදගත් බැවින් ඔහු වටා සෙසු පිතිකරුවන් ඔවුන්ගේ ඉනිම් ගොඩනගා ගැනීම වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය.

'මැතිව්ස් සහ චන්දිමාල් සිටිය යුතුයි'

ආසියානු කුසලානය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය සඳහා අනිවාර්යෙන්ම ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත් කළ යුතුව තිබුණු බව තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන අනුෂ සමරනායක පැවසීය.

බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දැක්වූ දක්ෂකම් හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් විය යුතු බවට තමන් විශ්වාස කරන බවයි.

මේ අතර කුසල් ජනිත් පෙරේරා සංචිතයට කැඳවා තිබීම හොද කරුණක් බවද අනුෂ සමරනායක පැවසීය.

උප මහ්ද්ධිවිප කලාපයේ දී ක්‍රීඩා කළ තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට ප්‍රධාන සාධකය වුයේ පන්දු යැවීම බවත් වනිදු හසරංග, දුෂ්මන්ත චමීර ඇතුළු පළපුරුදු පන්දු යවන්නන් සිව්දෙනෙකු ගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවීම දැරිය නොහැකි පාඩුවක් බවද ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන අනුෂ සමරනායක වැඩිදුරටත් පැවසීය.

(BBC සිංහල සේවය)


සබැඳි ලිපි :
ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකි ක්‍රීඩකයින් කවුද ?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට : ශ්‍රී ලංකාවේ පෙරළිකාර වාර්තා ඔබ දන්නව ද ?


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්