The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දුවේ ලෝක පිළිවෙල කඩාකප්පල් කිරීමේ සෞදියේ ක්‍රීඩා සෝදාපාළුව

T

The Leader Desk

December 31, 2023 • 9:20 AM

පාපන්දුවේ ලෝක පිළිවෙල කඩාකප්පල් කිරීමේ සෞදියේ ක්‍රීඩා සෝදාපාළුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞදි අරාබිය පාපන්දු ක්‍රීඩාවේ ලෝක පිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම අදින් අවසන් වන 2023 වසරේ ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමු වුනු කාරණාවක්.
  •    මේ අරාබි දේශයට මානව අයිතීන් සුරැකීම පිළිබඳව දුර්වල වාර්තාවක් තිබියදීත් සිය දේශීය පාපන්දු ලීගය තරු පිරිවරා ගත් නියම තරගාවලියක් බවට පත්කිරීම සඳහා සෞදි අරාබියේ මේ අතදිග හැර වියදම් කිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ අභිලාෂයේ වැදගත්කම.
  • නමුත් අපි ඒ සීයට එකහමාර ලබා ගන්නවාමයි.” සෞදි අරාබියේ රාජකීය මහජන ආයෝජන අරමුදල (PIF) විසින් පවරා ගෙන තිබෙන ක්‍රීඩා සමාජ ද ඇතුළුව සෞදියේ පාපන්දු ක්‍රීඩා සමාජ දැන් පාපන්දු ක්‍රීඩාවේ ලොකුම නාමයන් ආකර්ෂණය කරගෙන සිටිනවා.
  • නමුත් ඔවුන් අවධාරණය කර සිටින්නේ සෞදි පාපන්දු කුසලතා වර්ධනය කිරීම සඳහා මේ විදෙස් ක්‍රීඩකයන් උපකාරී වන බවට.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සෞදි අරාබියේ අල්-හිලාල් (Al-Hilal) කණ්ඩායම ප්‍රංශ සුපිරි තරුව වන Kilian Mbappeගේ Paris Saint-Germain (PSG) ක්‍රීඩා සමාජයට අමෙරිකානු ඩොලර් මිලියන 332ක්ද සමග ඔහුව ඩොලර් බිලියන 1.1ක කොන්ත්‍රාත්තුවකට අත්සන් කිරීමට සහ වසරක කාලයක් සඳහා පමණක් Mbappe ට ඩොලර් මිලියන 775ක වැටුපක් ගෙවීමට උත්සාහ කිරීම සඳහා සැලසුම් කරද්දී විවේචකයන් මහ හඬින් කියා සිටියේ එය ක්‍රීඩාසෝදාපාළුවක් බව.

Neymar PSG vs Benfica Champions League 2022

Neymar

ජූලි මාසයේ කෙරුණු ඒ යෝජනාවට Mbappe “බැහැ” කියන්නට ඇතත් බොහෝ වාර්තාවලට අනුව ඊට මාසයකට පසුව Neymar නමැති බ්‍රසීල පාපන්දු තරුව අල්-හිලාල් ට “හා” කිවුවේ PSG සිට ඩොලර් මිලියන 98.5ක පමණ වටිනාකමකින් යුත් ක්‍රීඩක මාරුවක යෙදෙමින්. 

වාර්තා බිඳ වැටුනු ක්‍රීඩකයන් මාරුවීමේ කාලයක් තුළදී සෞදි වෘත්තීය ලීගයේ (SPL) පාපන්දු සමාජයන් ඩොලර් බිලියනයකට වැඩි මුදලක් වැය කර තිබෙන්නේ ප්‍රංශයේ Ligue 1, ස්පාඤ්ඤයේ La Liga, ඉතාලියේ Serie A, ජර්මනියේ Bundesliga සහ එංගලන්තයේ Premier League යන යුරෝපයේ ප්‍රධානතම පාපන්දු ලීගයන්ගෙන් විදෙස් ක්‍රීඩකයන් 94 දෙනෙකු මිලදී ගැනීමට. මේ අනුව සෞදි වෘත්තීය ලීගය අදින් අවසන් වන 2023 වසරේ පැවති ක්‍රීඩක මාරුවේදී දෙවැනියට වැඩියෙන් ම වියදම් කළ පාර්ශවය බවට පත්වූයේ යුරෝපීය පාපන්දුවේ වඩාත් ම ස්ථාපිත ලීග් දෙකක් වන ස්පාඤ්ඤයේ La Liga සහ ජර්මනියේ Bundesliga ද අභිබවා යමින්.   

මේ අරාබි දේශයට මානව අයිතීන් සුරැකීම පිළිබඳව දුර්වල වාර්තාවක් තිබියදීත් සිය දේශීය පාපන්දු ලීගය තරු පිරිවරා ගත් නියම තරගාවලියක් බවට පත්කිරීම සඳහා සෞදි අරාබියේ මේ අතදිග හැර වියදම් කිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ අභිලාෂයේ වැදගත්කම.

1236066414

මොහමඩ් බින් සල්මාන්

තම රට ක්‍රීඩාව වෙනුවෙන් කරන මුදල් ආයෝජනය ක්‍රීඩාසෝදාපාළුවක් ලෙසින් හැඳින්වීම පිළිබඳව තඹ දොයිතුවකටවත් මායිම් නොකරණ බව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා මෙන්ම එරට අගමැතිවරයා ද වන මොහමඩ් බින් සල්මාන් (Mohammed bin Salman) ප්‍රකාශ කරනවා.

“ක්‍රීඩාසෝදාපාළුවෙන් මගේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට එකකින් වැඩිවෙනවා නම්, මම දිග ට ම ක්‍රීඩාසෝදාපාළුවේ නිරත වෙනවා” යැයි සල්මාන් කුමරු පවසනවා.

‘ක්‍රීඩාසෝදාපාළුව’ යන යෙදුම පිළිබඳව අපහසුවට පත්ව සිටින්නේ ද යනුවෙන් නැගුනු ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ මේ අයුරින්: “මම ඒක ගණන් ගන්නේ නැහැ. ක්‍රීඩාවෙන් මට සියයට එකක GDP වර්ධනයක් තියෙනවා. මම ඉලක්ක කරගෙන ඉන්නේ තවත් සියයට එකහමාරක්. ඒකට තමන් කැමති ඔ්නෑම නමක් දාගත්තට මට කමක් නෑ. නමුත් අපි ඒ සීයට එකහමාර ලබා ගන්නවාමයි.”

සෞදි අරාබියේ රාජකීය මහජන ආයෝජන අරමුදල (PIF) විසින් පවරා ගෙන තිබෙන ක්‍රීඩා සමාජ ද ඇතුළුව සෞදියේ පාපන්දු ක්‍රීඩා සමාජ දැන් පාපන්දු ක්‍රීඩාවේ ලොකුම නාමයන් ආකර්ෂණය කරගෙන සිටිනවා.

ලෝකයේ සිටින ප්‍රධානතම ක්‍රීඩා තරු ගල්ෆ් දේශයට ඇද ගැනීමෙන් සෞදි වෘත්තීය ලීගයට අවශ්‍යව තිබෙන්නේ තරගකාරිත්වය පිටිය තුළ හා ඉන් පිටතට ගෙන යාමට. නමුත් ඔවුන් අවධාරණය කර සිටින්නේ සෞදි පාපන්දු කුසලතා වර්ධනය කිරීම සඳහා මේ විදෙස් ක්‍රීඩකයන් උපකාරී වන බවට.

tfHRu ho 400x400මේ වසරේ ග්‍රීෂ්ම සෘතුවේ ක්‍රීඩක මාරුවීම් කාලය තුළ රජය විසින් පාලනය කරන PIF විසින් ඔවුන් පවරා ගත් පාපන්දු සමාජ හතරේ සමුච්චිත අගය පස් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබෙන්නේ ඔවුන් රටේ වඩාත්ම වටිනා කණ්ඩායම් බවට පත් කරමින්.

විශේෂයෙන් ‘බැලන් ඩි ඔ්ර්’ සම්මානලාභී කරිම් බෙන්සිමා ඇතුළු ප්‍රධාන පෙළේ සුපිරි ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සෞදි වෘත්තීය ලීගයට සම්බන්ධ වීමට කැමැත්ත පළ කළේ ඉතාමත් උනන්දුවෙන්.

1253756563.0
යුරෝපීය ක්‍රීඩක මාරුවේ කාලය නිමා වන විට PIF ‌ට අයත් කණ්ඩායම් හතර සුපිරි ජාත්‍යන්තර ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 900ක් වැය කර තිබූ බව වාර්තා වුනා. මේ අනුව මේ කණ්ඩායම් හතර ක්‍රීඩකයින් මාරු කිරීමේ වියදම් අතින් ලොව ඉහළ ම ක්‍රීඩා සමාජ 20 අතරට ශ්‍රේණිගත වුනේ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය හා ඉතාලිය යන රටවල පාපන්දු යෝධයන් සමග.

අල්-හිලාල් ක්‍රීඩා සමාජය පමණක් ඩොලර් මිලියන 378ක් PSG හා Arsenal යන කණ්ඩායම්වලට වඩා වැඩියෙන් වියදම් කරමින් මේ වසරේ දෙවැනියට වැඩි ම මුදලක් වියදම් කළ පාපන්දු ක්‍රීඩා සමාජය බවට පත්වුනා.

සෞදි වෘත්තීය ලීගය ට එක්වූ පළමු සුපිරි පාපන්දු තරුව වුනේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ. ඔහු අල්-නසර් කණ්ඩායම සමග දෙවසරක කොන්ත්‍රාත්තුවකට අත්සන් කළේ වසරකට ඩොලර් මිලියන 200ක අතිවිශාල මුදලකට. මේ හේතුවෙන් රොනාල්ඩෝ ලෝකයේ වැඩි ම මිලක් ගෙවනු ලබන පාපන්දු ක්‍රීඩකයා බවට පත්වුනා.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගෙන් 2023 වසරේ 50 වැනි ගෝලයක්

රොනාල්ඩෝ

මේ වන විට සෞදි අරාබියේ සිටින වඩාත් ම මිල අධික ක්‍රීඩකයින්ගෙන් විදෙස් ක්‍රීඩකයින් 21 දෙනෙකු ම ක්‍රීඩා කරන්නේ PIF ට අයත් ක්‍රීඩා සමාජවලට.  

සිය රටේ ආයෝජනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර PIF එංගලන්ත පාපන්දු සමාජයක් වන ‘නිවුකාසල් යුනයිටඩ්’ (Newcastle United) වසර 2021දී මිලදී ගත් අතර එම කණ්ඩායම ද වර්තමානයේ ක්‍රීඩකයන් සඳහා වැඩියෙන් ම වියදම් කරන ක්‍රීඩා සමාජ අතර ට පිවිස සිටිනවා. 

PIF විසින් අයිතිකර ගෙන නැති සෞදි ක්‍රීඩා සමාජ පවා ඔවුන්ගේ ලොකුකම් ප්‍රදර්ශනය කරමින් විශාල මුදල් ගෙවා ක්‍රීඩකයින් මිලදී ගෙන තිබෙනවා. 

සෞදි අරාබිය පාපන්දු ක්‍රීඩාවට දක්වන්නේ විශේෂ ආදරයක්. පාපන්දුවේ ජවසම්පන්න අයවලුන් බවට පත්වීමට කරන උත්සාහයේදී ඔවුන් ගමන් කරන්නේ කටාර් දේශය වැනි රටවල් ගිය අඩිපාරේ. 

සෞදියේ ජාතික පාපන්දු කණ්ඩායම ද ලෝක කුසලාන තරගාවලියන් කිහිපයකට සහභාගි වී තිබෙන අතර එරට ක්‍රීඩා සමාජ ද ආසියානු ශූරතා ගණනාවක් දිනා ගෙන තිබෙනවා. සෞදි අරාබි කණ්ඩායම පසුගිය වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආජන්ටිනාව පරාජය කිරීම ඉතිහාසයේ එක් ලොකුම පෙරලියක් ලෙස නොමැකී සටහන්ව තිබෙනවා. මේ ජයග්‍රහණය අගය කරමින් සෞදි රජු Salman bin Abdulaziz Al Saud ජාතික නිවාඩු දිනයක් පවා ප්‍රකාශ කළා.

ක්‍රීඩා තරග පැවැත්වෙන කාලය අතරතුර දෙවතාවක් විවෘත වන Transfer Window - අවස්ථාවේදී කණ්ඩායම්වලට ක්‍රීඩකයන් බඳවා ගැනීමටත්, ලොව පුරා තිබෙන අනෙකුත් කණ්ඩායම්වලට ක්‍රීඩකයන් අලෙවි කිරීමටත් ක්‍රීඩා සමාජවලට අවස්ථාව උදා වෙනවා. මෙහි ප්‍රධාන කාලය උදාවෙන්නේ ශීත සෘතුවේ එනම් ජූලි හා සැප්තැම්බර් මාස අතරතුර. මීට අමතරව මේ කාලය සමහර රටවලට ජනවාරි මාසයේද විවෘත වන්නේ තරග වාරය මැදදී ක්‍රීඩකයන් ලබා ගැනීමට හෝ විකිණීමට කණ්ඩායම්වලට අවස්ථාව ලබා දෙමින්.

සටහන :
දූවරුන්ගේ නම් සඳහන් පාවහන් පැළඳ කවාජා ක්‍රිකට් පිටියේ(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...