The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අප්‍රිකානු කුණු ගොඩෙන් මතුවූ නයිජීරියානු රන් සපත්තුව

T

The Leader Desk

January 11, 2024 • 4:34 PM

අප්‍රිකානු කුණු ගොඩෙන් මතුවූ නයිජීරියානු රන් සපත්තුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔලුසොසන් ගොඩ කළ බිම - Olusosun Landfill - යනු නයිජීරියාවේ තිබෙන අක්කර 100ක කුණු ගොඩක්.
  • දිනකට කුණු කසළ ටොන් 10,000ක් මේ ස්ථානය වෙත ගෙන එනවා.
  • ඉවතලන දේ රැගත් කන්ටේනර නෞකා 500ක පමණ අපද්‍රව්‍ය ද මේ කුණු ගොඩට රැගෙන එන්නේ අහක දමන ඉලෙක්ට්‍රොනික් කෑලි සැලකිය යුතු කොටසක් ද මෙහි ගොඩගැසෙමින්.
  • මේ අප්‍රසන්න බිමේ මුඩුක්කු පැල්පත් 500ක් පමණ තිබෙන අතර ඒවායේ ජීවත් වන කසළ ශෝධක නිවැසියන් දිනපතා වෙහෙසෙන්නේ විකිණීමට හැකි සුන්බුන් සොයා කුණු ගොඩ පීරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය අප්‍රිකාවේ තිබෙන විශාලතම කුණු ගොඩ මෙන්ම මුළු ලෝකයේ ම ඇති එක් විශාලතම කුණු දමන තැනක්. දිනකට කුණු කසළ ටොන් 10,000ක් මේ ස්ථානය වෙත ගෙන එනවා. ඉවතලන දේ රැගත් කන්ටේනර නෞකා 500ක පමණ අපද්‍රව්‍ය ද මේ කුණු ගොඩට රැගෙන එන්නේ අහක දමන ඉලෙක්ට්‍රොනික් කෑලි සැලකිය යුතු කොටසක් ද මෙහි ගොඩගැසෙමින්. මේ සමහර ඉලෙක්ට්‍රොනික් කෑලිවලට රසායනිකව සාත්තු කරන්නේ ඒවායින් නැවත පාවිච්චියට ගත හැකි කොටස් ගලවා ගැනීම පිණිස. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් මුදා හැරෙන්නේ විෂ දුමාරයක්.


මේ අප්‍රසන්න බිමේ මුඩුක්කු පැල්පත් 500ක් පමණ තිබෙන අතර ඒවායේ ජීවත් වන කසළ ශෝධක නිවැසියන් දිනපතා වෙහෙසෙන්නේ විකිණීමට හැකි සුන්බුන් සොයා කුණු ගොඩ පීරමින්.

ලේගෝස් (Lagos) නගරයේ ඇති මේ කුප්‍රකට කුණු ගොඩෙන් මතුවන විෂ දුමාරයේ අළු යටින් නැගිට නයිජීරියානු පාපන්දුවේ රත්තරං සපත්තුව බවට පත්වූ වික්ටෝ ඔසීමෙන් (Victor Osimhen) නූතන සින්ඩරෙලා (Cinderella)ගේ සංකේතාත්මක ප්‍රතිමූර්තිය යි.

xzdfgsdfg


‘කලකිරීම හා දුෂ්කර ක්‍රියාව’ නමැති පාසලෙන් පමණක් ජීවිතය පිළිබඳව අත්දැකීම් ලැබූ ඔසීමෙන් ට ජීවත් වීම සඳහා ලේගෝස් නගරයේ වීදි දිගේ කුඩා වතුර පැකට් විකිණීමටත්, සපත්තු හා පාපන්දු පාවහන් අඩියට ගසන කුඩා යකඩ කූඤ්ඤ සොයා ‘ඔලුසොසන්’ කුණු ගොඩේ කැළි කසළ ඇවිස්සීමටත් සිදුවුනා.


පියා ට රැකියාව අහිමි වීමෙන් පසුව ඔසීමෙන් සහ ඔහුගේ සොයුරු සොයුරියන් එකිනෙකාට උදව් කර ගනිමින් ජීවත් වෙද්දී ඔසීමෙන් කුඩා අවදියේ ම ඔහුගේ මව මිය ගියේ ඔහුගේ අවාසනාවට තවත් දෙයක් එකතු කරමින්.


“ඔලුසොසන් වීදිවලින් පැමිණි තරුණ කොල්ලෙක් විදියටත්, මගේ පවුලේ අය සහ මම මුහුණ දී සිටි නොයෙකුත් අභියෝග හමුවේ හැදී වැඩෙමින් සිටියදී සතියේ සෑම දිනකම පාහේ වාහන ගමනාගමනය අස්සේ වතුර පැකට් විකුණමින් තැනින් තැන ගිය කෙනෙක් විදියටත්, මම අප්‍රිකාවේ හා ලෝක පාපන්දුවේ වස්තුවක් බවට පත්වන බවට සිහිනයක් දැකීම පවා විකාරයක් වී තිබුනා” යනුවෙන් X සමාජ මාධ්‍යයේ තැබූ සටහනකින් ඔසීමෙන් කියා සිටියා.

Victor Osimhen
ඉතාලියේ නැපලී (Napoli) වෘත්තීය පාපන්දු සමාජයට ක්‍රීඩා කරන වික්ටෝ ඔසීමෙන්ගේ විස්මයජනක ක්‍රීඩාව African Cup of Nations (AFCON) තරගාවලියේත් දක්නට ලැබෙනවා. මෙහිදී ‘සුප ඊගල්ස්’ නයිජීරියානු ජාතික පාපන්දු කණ්ඩායම අප්‍රිකානු පාපන්දු කිරුළ කරා ගෙන යාමට මේ 25 හැවිරිදි ක්‍රීඩකයාට හැකි වේවිද?

යුරෝපීය පාපන්දු සමාජ කණ්ඩායම් වෙනුවෙන් ඉතා හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් නයිජීරියා පාපන්දු සංචිතය පිරී තිබෙන නිසා තරගාවලිය ජයග්‍රහණය කිරීමට නයිජීරියාවට හැකියාව තිබෙන බව ඔසීමෙන් පවසනවා.


අප්‍රිකාවේ ලොකුම කුණු කන්ද පාමුල සිටින ඔලුසොසන් දුප්පත් ප්‍රජාව අතරින් සුරංගනා කතාවක බඳු ඉස්මතුවීමකට වේදිකාව සපයා දී තිබෙන්නේ ඔසීමෙන්ගේ සහජ පාපන්දු දක්ෂතාව. මේ නැගිටීමෙන් පසුව ‘නැපලී’ ඉදිරි පෙළ ක්‍රීඩකයා ගෝලීය පාපන්දු සුපිරි තරුවක් හා ඔහුගේ සමාජ කණ්ඩායමට හා රට ට අතිශය පලදායී ගෝල් ලබා ගන්නෙක් ලෙස අවධානයට ලක්ව සිටිනවා. ඉතාලි සමාජ කණ්ඩායම වෙනුවෙන් ද ඔහුගෙන් ලැබී තිබෙන්නේ සුපිරි ක්‍රීඩාවක්.

Victor Osimhen22
මෙවර අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේදී නයිජීරියාව ඔවුන්ගේ සිවුවැනි ශූරතාව කරා‌ ගෙන යන සුරයක් බවට ඔසීමෙන් පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

‘සුප ඊගල්ස්’ ඔවුන්ගේ තෙවැනි අප්‍රිකානු පාපන්දු කිරුළ දිනා ගත්තේ 2013 වසරේදී. ඊට පෙර 1994දීත්, ඊටත් පෙර 1980 වසරේදී මංගල වතාවටත් නයිජීරියාව අප්‍රිකානු පාපන්දු කුසලානය ජයග්‍රහණය කළා.

AFCON සුදුසුකම් ලබා ගැනීමේ සිය අවසාන තරගයේදී නයිජීරියාව වික්ටෝ ඔසීමෙන්ගේ පිට පිට ගෝල් ත්‍රිත්වය සමග සාඔ් ටෝම් (Sao Tome) කණ්ඩායම ගෝල් 6-0කින් පරාජය කිරීම නිසා ‘සුප ඊගල්ස්’ මෙවර අප්‍රිකානු කුසලාන තරග බිමට පිවිසියේ සෙසු කණ්ඩායම් අතර ප්‍රබල ලෙස ඉස්මතු වෙමින්.

මේ දස්කම් හේතුවෙන් වික්ටෝ ඔසීමෙන් නයිජීරියාවේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභීන්ගේ ලැයිස්තුවේ සිවු වැනි ස්ථානයට පැමිණ සිටිනවා. සුදුසුකම් ලබා ගැනීමේ තරග හතරකදී මේ ක්‍රීඩකයා ගෝල් පහකින් දායක වී තිබෙනවා.

xgdfgew
2017 වසරේදී නයිජීරියාව වෙනුවෙන් සිය මංගල තරගයට සහභාගි වූ තැන් පටන් මේ දක්වා ක්‍රීඩා කර ඇති තරග 26කින් ගෝල් 20 වාර්තා කර තිබෙන ඔසීමෙන් වර්තමානයේ ක්‍රියාකාරීව සිටින වැඩිම ගෝල් ලබා ගත් නයිජීරියානු පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.


වික්ටෝ ඔසීමෙන්ගේ මේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඔහුට ‘2023 වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා’ ඔටුන්න හිමිවුනා. මෙහිදී ඔහු වෙතින් පරාජය ලැබුවේ මොහමඩ් සලා හා අච්රෆ් හකිමි.


මේ පාපන්දු ක්‍රීඩකයාගේ ‘සින්ඩරෙලා’ කතාන්දරය ආරම්භ වන්නේ 2015 වසරේදී ප්‍රථම වතාවට ඔහුගෙන් ලෝක වේදිකාවට පිවිසීමේ හැකියාවන් ප්‍රදර්ශනය වූ අවස්ථාවේදී. එම වසරේ පැවති FIFA අවුරුදු 17න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී වික්ටෝ ඔසීමෙන් ගෝල් 10ක් ලබා ගනිමින් නයිජීරියාව වාර්තාගත පස්වැනි ශූරතාවක් කරා ගෙන ගියා. මේ දක්ෂතාව නිසා ඔහුට ‘රන් සපත්තුව’ හා ‘රිදී පන්දුව’ යන සම්මාන පිරිනැමුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...