ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ අදහස්, සංවාද මෙන්ම ආන්දෝලන මැද ජාත්‍යන්තර ක්‍රිකට්

කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පැනවූ තහනමට සති 03ක කාලයක් ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ප්‍රවීණ ක්‍රීඩක උපුල් තරංගගේ සභාපතීත්වයෙන් නව තේරීම් කමිටුවක් ද පත් කෙරුණි.

ලබන වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 10ක්, එක්දින සහ විස්සයි 20 තරග 21 බැගින් සහ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිතයි.

නව ප්‍රවණතාව හමුවේ ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට කුමන ඉරණමක් අත්වෙයිද? ටෙස්ට් ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන වෘත්තීමය ක්‍රීඩකයින්ට කුමක් සිදුවේද යන්න පිළිබඳ බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.


ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහන

ශ්‍රී ලංකාව ඉදිරියේදී සහභාගිවීමට නියමිතව ඇති ක්‍රිකට් තරග කාලසටහන පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වනු ලැබීය.

ඒ අනුව ලබන වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 10ක්, එක්දින සහ විස්සයි 20 තරග 21 බැගින් සහ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වා ඇති 2023-2027 දක්වා වූ අනාගත තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 25ක්, එක්දින තරග 52ක් සහ විස්සයි 20 තරග 54ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට ඇති මුළු තරග සංඛ්‍යාව 131ක් වේ.

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල වෙත පවසා සිටියේ මේවන විට ලොවපුරා වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ටෙස්ට් තරග සඳහා නොව පන්දුවාර 20 තරග සඳහා බවය.

"දැන් ටෙස්ට් ක්‍රිකට් වලට ලොකු අවධානයක් නැහැ.දැන් අවධානය තියෙන්නේ මට පේන විදිහට විස්සයි 20 තරගවලට. ඊට පස්සේ තමයි ටෙස්ට් ක්‍රිකට් තියෙන්නේ."

"හේතුව තමයි විස්සයි 20 තරග වලින් තමයි වාණිජ පැත්ත තියෙන්නේ. ඒ වගේම මේක එන්ටර්ටේන්මන්ට් කියන තැනටයි T20 තරග ස්ථානගත කරලා තියෙන්නේ."

"එතකොට ටෙස්ට් සහ එක්දින තරග පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙයි. ටෙස්ට් තරග ක්‍රීඩා කළත්, එක්දින තරග ගොඩක් අඩුවෙයි කියලා මම හිතෙනවා." ඔහු පැවසීය.

මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට අත්වන ඉරණම කුමක්දැයි බීබීසි සිංහල, ඔහුගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඉදිරියේදී ටෙස්ට් තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවයි.

"එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ටෙස්ට් තරග සෙල්ලම් කරන ක්‍රීඩකයින්ට. ඒක ස්ථිරයි."

"ඉදිරියට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ යම් පමණකින් නවසීලන්තය වගේ රටවල් හැරුණුම ටෙස්ට් ක්‍රිකට් ඉදිරියට අරන් යන්න අනෙක් රටවල්වලට ලොකු අභියෝගයක් මේක." ඔහු කියා සිටියේය.

set4w5ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල වෙත පවසා සිටියේ මේවන විට ලොවපුරා වැඩි අවධානයක් යොමුවී ඇත්තේ ටෙස්ට් තරග සඳහා නොව පන්දුවාර 20 තරග සඳහා බවය.

 

ටෙස්ට් ක්‍රීඩකයින් මුහුණ දෙන අභියෝග මොනවාද ?

ටෙස්ට් ක්‍රිකට් ඉදිරියට පවත්වා ගෙන යාමේදී ටෙස්ට් තරග පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ද රොෂාන් අබේසිංහ අදහස් දැක්වීය.

"අපේ රටේ ටෙස්ට් ක්‍රිකට් පමණක් සෙල්ලම් කරන්න කියලා වෙන් කරපු ක්‍රීඩකයින් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තම දිනේෂ් චන්දිමාල්.දැනට සෙල්ලම් කරන්නේ ටෙස්ට් තරග පමණයි."

"පන්දු යවන්නන් ගත්තොත් අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසුරිය, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය ඇතුළු ක්‍රීඩකයින් ගොඩක් ඉන්නවා.මේ අයගේ බලාපොරොත්තුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන එක."

"මම දකින විදිහට අවුරුද්දට ටෙස්ට් තරග 4-5ක් සෙල්ලම් කරන්න මේ අය දවස් 365ක් කැප කරන්න ඕන. ඒක විශාල කැප කිරීමක්. "

"ඒ අය ලීග් තරග සෙල්ලම් කරන්නේ නැහැ, විස්සයි 20 හෝ එක්දින තරග ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ අය ඇවිල්ලා වෘත්තිමය භාවයෙන් යුත් ක්‍රීඩකයෝ. "

"ඒ අය කොහොමද රඳවා ගන්නේ කියලා කල්පනා කරන්න ඕන ? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ඒ ඒ රටවල ක්‍රිකට් පාලක මණ්ඩල මේක ගැන කතා කරන්න ඕන."

"ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කියන රටවල ටෙස්ට් ක්‍රිකට් තියෙයි."

stge456දිනේෂ් චන්දිමාල් දැනට ක්‍රීඩා කරනු ලබන්නේ ටෙස්ට් ක්‍රිකට් පමණි.

"මොකද වාණිජමය පැත්තෙන් ඉන්දියාව කියන රටට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කියන රටවල් දෙක අළු බඳුන තරගාවලිය ක්‍රීඩා කරනවා."

"ඉතින් මේ රටවල පළමු පෙළ තරග ක්‍රීඩා කරනවා වගේම ඒවල ක්‍රීඩකයින්ට හොඳට ගෙවනවා. අනික් රටවලට මේක ලොකු අභියෝගයක් වෙනවා."

"මේ ගැන ICCය සහ අනෙක් රටවල්වල ක්‍රිකට් පාලක මණ්ඩලය අවධානය යොමු කරලා අවම වශයෙන් ටෙස්ට් තරග ක්‍රීඩා කරන සෑම රටක්ම අවම වශයෙන් වසරකට ටෙස්ට් තරග 10 ක් හෝ 12ක් ක්‍රීඩා කරන තැනට ගෙන්න කටයුතු කරන්න ඕන කියන එකයි මගේ හැඟීම."

"මේකට මුදල් පැත්තෙන් ටෙස්ට් තරග අරමුදලක් කියලා පිහිටුවන්න ඕන. එහෙම කරලා අනිත් රටවල් ටෙස්ට් තරගා ක්‍රීඩා කරන ආකාරය බලලා ඔවුන්ට මුල්‍යමය පැත්තෙන් ශක්තියක් දෙන්න ICC එක කටයුතු කරන්න ඕන."

"එහෙම කලේ නැත්නම් මම දකින්නේ අනෙක් රටවල ටෙස්ට් ක්‍රිකට් ස්ථිර ලෙසම පරිහාණියට පත්වෙනවා." ඔහු කියා සිටියේය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රධාන ගැටලුව

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ශක්තිමත් දෙවන පෙළ සංචිතයක් බිහිකිරීමේ අවශ්‍යතාවය දීර්ඝ කාලීනව තිබුණද, එය මෙතෙක් ඉටුකර ගැනීමට අපොහොසත් වී ඇති කරුණක් බව නොරහසකි.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සිය ජාතික සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් විවේක ගන්වා දෙරට අතර පැවති විස්සයි 20 තරග සංචාරය ඊට කඳිම නිදසුනක් විය.

ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොවූ දක්ෂ ක්‍රීඩකයෝ රැසක් එම තරගාවලියට ක්‍රීඩා කළහ.

එවැනි ශක්තිමත් දෙවන පෙළක් සෑදීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත් වී සිටීම ගැනද බීබීසී සිංහල රොෂාන් අබේසිංහ ගෙන් විමසා සිටියේය.

ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

" ඒකට ගොඩක් හේතු තියෙනවා. T20 ගැන බැලුවොත් ඉන්දියාවේ IPL එක තමයි රහස. ඉන්දියානු ක්‍රීඩකයෝ ගොඩක් විස්සයි 20 තරග සඳහා නැඹුරු වෙලා තියෙනවා."

"ඒ වගේම IPL එක නිසා ඒගොල්ලන්ට හොඳ ආදායම් මාර්ගයක් විවෘත වෙලා තියෙනවා. ඒ හරහා ඔවුන්ට ස්ථාවරත්වයක් තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ ඇති වෙන්න ක්‍රීඩකයෝ බිහිවෙනවා."

"ඉන්දියාවේ ක්‍රිකට් ආර්ථිකය දැවැන්තයි. ඕස්ට්‍රේලියාව ගත්තොත් ඔවුන්ගේ බිග්බෑෂ් එකට ලොකුවට අවධානය යොමු කරන නිසා ක්‍රීඩකයෝ බිහිවෙනවා."

"මේ නිසයි මම හැමතිස්සෙම කිව්වේ ලංකාවේ සෙල්ලම් කරන LPL තරගාවලිය තව විශාල විය යුතුයි. ඒකෙ තත්ත්වය තව වැඩිවෙන්න ඕන කියලා. ඒකට අපි උදව් කරන්න ඕන."

"දැන් බලන්න LPL එකට කණ්ඩායම් පහක් සෙල්ලම් කරනවා. එක කණ්ඩායමකට ලංකාවේ ක්‍රීඩකයෝ 14 ගානේ 70 දෙනෙක් ක්‍රීඩා කරනවා."

"මේ අයගෙන් අපිට හොඳ ක්‍රීඩකයෝ 30 දෙනෙක් හොයා ගන්න පුලුවන් වෙන්න ඕන. ඒක කරන්න මේක දිගටම සෙල්ලම් කරන්න ඕන, තරගාවලියේ තත්ත්වය උසස් කරන්න ඕන."

"මේ තුළින් ක්‍රීඩකයාට ඔහුගේ අනාගතය වගේම ආර්ථිකය පැත්තෙන් බලාපොරොත්තුවක් ලබාදිය යුතුයි. මේ වගේ දෙයක් කළොත් ශ්‍රී ලංකාවේ විස්සයි 20 ක්‍රිකට් පැත්තෙන් බොහෝ විට විසඳුමක් හොයා ගන්න පුළුවන් මට හිතෙන විදිහට."

"එංගලන්තය, පකිස්ථානය, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් ගත්තම ඔවුන් මේ විදිහෙන් ක්‍රීඩකයෝ හොයාගෙන තියෙනවා." ඔහු සඳහන් කළේය.

fhy57ඉන්දියාව ශක්තිමත් දෙවන පෙළක් සෑදීමේ රහස IPL බව රොෂාන් අබේසිංහ සඳහන් කළේය.

 

ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්‍යතාවය ගැන අවධානයෙන් සිටීම වැදගත්

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරග සංචාර තුනකට එක්වීමට නියමිතව ඇති අතර ඉන් පසුව පැවැත්වෙන IPL තරගාවලිය සඳහා සහභාගී වීමට ද ඇතැම් ක්‍රීඩකයින් සූදානම්ව සිටියි.

එවැනි කාර්යබහුල ක්‍රීඩා රටාවක් මැද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතාවය නිසි අයුරින් පවත්වා ගෙන යාම සිදුකළ යුතු නොවේදැයි බීබීසි සිංහල ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ගෙන් විමසුවෙමු.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ක්‍රීඩකයින්ට සහ කණ්ඩායමේ භෞතික චිකිත්සකවරුන්ට එහිදී වැඩි වගකීමක් පැවරෙන බවයි.

" අනිවාර්යෙන්ම ඒගොල්ලන්ව මැනේජ් කරන්න ඕන."

fdg56පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරග සංචාර තුනකට එක්වීමට නියමිතව ඇති අතර ඉන් පසුව පැවැත්වෙන IPL තරගාවලිය සඳහා සහභාගී වීමට ද ඇතැම් ක්‍රීඩකයින් සූදානම්ව සිටියි.

 

"අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයයි, අපේ ඩොක්ටර්ස්ලයි අනිවාර්යෙන්ම දැන් මේ IPL සෙල්ලම් කරන්න යන කණ්ඩායම්වල පුහුණුකරුවන්, වෛද්‍යවරුන් එක්ක සම්බන්ධ වෙලා මේ අයගේ වර්ක්ලෝඩ් එක මැනේජ් කරන්න ඕන. ඒක තමයි කළ යුත්තේ. නැත්නම් ඒ අයට ඉන්ජරි ප්‍රශ්න එන්න පුළුවන්."

"ජෝ රූට් තීරණයක් අරන් තියෙනවා IPL එකට සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒක එයාගේ පෞද්ගලික තීරණයක්."

"නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයක් ක්‍රීඩකයෙක්ව IPL එහෙකට වගේ යන්න එපා කියලා නැවැත්තුවොත් බොහෝ විට ඒ ක්‍රීඩකයා විශ්‍රාම ගන්නවා. විශ්‍රාම අරන් ලෝකේ වටේ තියෙන ලීග් තරගාවල සෙල්ලම් කරනවා."

"එතකොට ජාත්‍යන්තර තරග වලින් විශ්‍රාම යන තරුණ ක්‍රීඩකයින්ව මිලට ගන්න ලීග් සෙල්ලම් කරන කණ්ඩායම් කැමතියි. මොකද ඒ අය දන්නවා ඔවුන් දිගටම සෙල්ලම් කරනවා කියලා." ඔහු කියා සිටියේය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්