වර්ෂාව, ආලෝකය මඳ වීම, හිමකැට කුණාටු පමණක් නොව වායු දූෂණය හා කාන්තාර කුණාටු නිසාත් ක්‍රිකට් තරගයක ක්‍රීඩාව යම් කාලයකට

නතර වූ අවස්ථා තිබෙනවා. නමුත් ඊයේ මෙල්බර්න් නුවරින් වාර්තා වූ සිදුවීම අරුම පුදුම එකක් වුනේ ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙස්ට් තරගයක ක්‍රීඩාව තරග විනිසුරුවෙක් විදුලි සෝපානයක හිරවීම හේතුවෙන් නතර වීම නිසා.

ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර බොක්සිං දිනයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් ගැටුමේ ඊයේ තෙවැනි දිනයේ දිවා ආහාරයෙන් පසු ක්‍රීඩාවේ ආරම්භය මිනිත්තු හතකින් ප්‍රමාද වුනා. තරගයේ තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරන රිචඩ් ඉලිංවර්ත් (Richard Illingworth) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි සෝපානයේ හිරවීම ඊට හේතුව යි. තරග විස්තර ගෙනෙන රූපවාහිනී විකාශකයන් ඔවුන්ගේ කැමරාව තෙවැනි විනිසුරුගේ අසුන වෙත යොමු කරන විට එය හිස්ව තිබුනා.

උදය වරුවේ තරගය අවසානයේ දිවා ආහාරය ගැනීමෙන් පසුව ආපසු එද්දී ඉලිංවර්ත් විදුලි සෝපානයේ හිරවී සිටින බව විකාශකයින් අනාවරණය කළා. ඒ සමග ම පිටියේ හතරේ සීමාව අසළ සිටි තවත් නිළධාරියෙක් ඉලිංවර්ත් වෙනුවට කටයුතු කිරීම පිණිස පියගැට පෙළ නැග ඉහළ මාලයට දිව යන අයුරු දිස්වුනා. 


තරග ආරම්භයට හේතු වූ මේ විකාර සිදුවීම පිළිබඳව පිටියේ තරග විනිසුරුවන් වන මයිකල් ගෝ සහ ජොඑල් විල්සන් විසින් ක්‍රීඩකයන්ට පහදා දෙන අයුරු ද දර්ශනය වුනා. ඒ වන විට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 6කට බිඳ වැටී තිබුනා.

“විස්මයාකාර සිද්ධීන් නිසා ක්‍රීඩාව නතර වන අංක 1 ස්ථානයේ සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි” සජීවි තරග විස්තර ගෙන එමින් සිටි මයිකල් වෝන් පැවසුවේ විහිළුවට මෙන්.

සජීවි විස්තර කුටියේ සිටි වසිම් අක්රම් ද වෝන් සමග සිනාසෙමින් පිළිගත්තේ ඔහු ද මෙවැනි සිදුවීමක් මීට පෙර දැක නැති බව.

“තෙවැනි විනිසුරු විදුලි සෝපානයක හිරවෙලා ඉන්න නිසා අපට ක්‍රීඩාව නතර වීමක් පේනවා. පොද වැස්සක් නිසා මීට කළින් තරගය ටිකක් ප්‍රමාද වුනා. දැන් ඔක්කොම සූදානම් වී තිබුනත් විනිසුරුවෙකුගේ සෝපානයේ සිරවීමක් තිබෙනවා. මෙච්චර විවිධ වූ හේතුන් නිසා මෙතරම ට ම එකිනෙකට වෙනස් වූ තරග ප්‍රමාද වීම් තියෙන වෙනත් ක්‍රීඩාවක් ගැන ඔබ දන්නවාද?” අක්රම් අසා සිටියා.

“ආයෙත් එහෙම වුනාද? දවස් කීපයකට ඉස්සරත් ඔහොම වුනා” යනුවෙන් හිටපු පාකිස්තාන නායක අක්රම් Fox Cricketවලින් හෙළිකර සිටියේ සිනහව නතර නොකර. “ලෝකෙ අපි ඉන්න පැත්තෙ මේ වගේ දෙයක් වෙන එක, විදුලි සෝපානයක් ඇතුලේ හිරවෙන එක මට තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙහෙදි? මම මේ වගේ දෙයක් මීට පෙර කවදාවත් දැකලා නැහැ.”

වැරදිකාරයා කුමන විදුලි සෝපානය ද කියන්න තමා හරිය ට ම දන්නා බව හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් කියා සිටියා. “ඒක හරිම හෙමින් යන ලිෆ්ට් එකක්. මේකට ටික වෙලාවක් යයි. පැහැදිලිවම දවල් කෑමත් හොඳට තිබුනා. මොකද, ඉලිංවර්ත් ඒකෙන් ගොඩක් කෑවා” යනුවෙන් වෝන් විහිළුවෙන් සඳහන් කළේ විනිසුරු පමා වී විදුලි සෝපානයට ඇතුළු වන්නට ඇතැයි ද අනුමාන කරමින්. 

gettyimages 1264124730 1611644859රිචඩ් ඉලිංවර්ත්

නියමිත වේලාවට නියමිත අසුනේ නොසිටි ඉලිංවර්ත් නැවත ඔහුගේ කුටියට පැමිණෙන තුරු සිවුවැනි විනිසුරු විසින් තෙවැනි විනිසුරුගේ කාර්යයේ නියැලීමත් සමග තරගය යළි ආරම්භ වුනා. සෝපානයෙන් බේරී පැමිණීමෙන් පසුව ඉලිංවර්ත් පිටියේ සිටින ඔහුගේ සගයින්ට අත වැනුවා.

“එයා කොහොම හරි ආපහු ඇවිල්ලා” යනුවෙන් වෝන් පැවසුවා. “එයාට ටිකක් මහන්සි පාටක් පේනවා. සමහර විට එයාට පඩිපෙළ නැගලා එන්න සිද්ධ වෙන්න ඇති.” 

මීට පෙරත් ක්‍රිකට් තරගයක් අතරමග නතර වුනු තවත් අසාමාන්‍ය සිදුවීමක් 2019 වසරෙන් වාර්තා වෙනවා. ඒ, ප්‍රථම වතාවට තියුණු හිරුඑළිය නිසා ක්‍රීඩාව නතර වූ අවස්ථාව. එය සිදුවුනේ එම වසරේ ජනවාරි මාසයේදී නවසිලන්තයේ නේපිය (Napier) නගරයේ මෙක්ලේන් පාක් (McLean Park) ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියාව හා නවසිලන්තය අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගයේ. බැස යන හිරුගේ සැර ආලෝකය හේතුවෙන් තරගය මිනිත්තු තිහකට වැඩි කාලයක් ඇනහිටියා.

හිරු කිරණ කෙළින් ම වැටෙන පරිදි ස්ථානගතව සිටි නිසා නවසිලන්ත පන්දු යවන්නන්ට මුහුණ දීම ඉන්දියා ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් ට අපහසු වුනා. පැකිළීමකින් තොරව තරග විනිසුරුවන් වෙත ගිය ඔහු කඩුල්ලේ ඔහු මුහුණ දෙන දුෂ්කර තත්ත්වය ඔවුන්ට දැනුම් දුන්නා.

dhawan 02 1504359509
පිටියේ තරග විනිසුරු දෙපළ සාකච්ඡා කර මේ තත්ත්වය උඩ ක්‍රීඩාව තවදුරටත් කරගෙන යාමට නොහැකි බවට තීරණය කළා. ඒ අනුව ඔ්වර 10කින් පසුව ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 43ක් රැස්කර ගෙන සිටියදී ධවාන් හා නායක විරාට් කෝලි පිටියෙන් ඉවත්ව ගියා.

මේ දිවා රාත්‍රී තරගයේ ක්‍රීඩාව සැර හිරුඑළිය නිසා නැවතුනේ ක්‍රීඩකයින් රාත්‍රී ආහාර විවේකයෙන් පසුව නැවත පිටියට පිවිසීමෙන් පසුව. 

ක්‍රීඩාව මෙසේ නතර වීම පිළිබඳව නරඹන්නන් පැහැදිලිවම කලකිරීමට පත්වුනත් ඔවුන් තරගය නැවත ආරම්භ වන තුරු ඉවසීමෙන් බලා සිටියා. මේ ප්‍රමාදය හේතුවෙන් තරගයේ ඔ්වර සංඛ්‍යාව 49කට අඩු කෙරුනු අතර ඉලක්කය ලකුණු දෙකක් අඩුවෙන් 156ක් බවට තීරණය කෙරුනා.

eab8ffaf1bb3883fc006eb9bd13890a4b91cdd2a

සාමාන්‍යයෙන් ක්‍රීඩාංගණයේ තරග පිටිය තිබෙන්නේ උතුර-දකුණ වශයෙන්. නමුත් McLean Park තිබුනේ නැගෙනහිර-බටහිර ට මුහුණ ලා. මේ නිසා බැසයන හිරු විසින් නිර්මාණය කෙරෙන හෙවණැලි මේ සිදුවීමට හේතු වුනා. නේපිය හි පවත්වන ලද පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ ඇතිවූ මේ සිද්ධිය තරග විනිසුරුවන් වූ ෂෝන් ජෝජ් (Shaun George) හා ෂෝන් හේග් (Shaun Haig)ටත් ඔවුන් මුහුණ දුන් මේ ආකාරයේ පළමු අත්දැකීම වුනා.

“බැස යන හිරු රැස් කෙළින් ම වැටී තිබෙන්නේ පිතිකරුගේ ඇස්වලට. ඒ නිසා ක්‍රීඩකයන්ගේ හා විනිසුරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අපට බලන්න සිදුවුනා. එබැවින් මේ තත්ත්වය හොඳ අතට හැරෙන තුරු ක්‍රීඩාව නතර කරන්න අපි තීරණය කළා” යැයි හේග් ප්‍රකාශ කර තිබුනා.

“ක්‍රිකට් පිටියක මෙවැනි දෙයක් සිදුවෙනවා මම මගේ අවුරුදු 14ක විනිසුරු කාලය තුළ දුටු පළමු අවස්ථාව මෙය යි. හොඳ ප්‍රවෘත්තිය වන්නේ අපට මිනිත්තු තිහක අතිරේක කාලයක් තිබීම” යැයි ඔහු එදා කියා තිබුනා.

මේ අතර නේපිය නගරාධිපති බිල් බෝල්ටන් (Bill Balton) පවසා තිබුනේ නේපිය නුවර දිවා රාත්‍රී තරගයක් පැවැත්වෙද්දී මෙවැනි තත්ත්වයක් උද්ගත වන බව නිළධාරීන් කළින් දැන සිටි බව. මීට විසඳුමක් සොයා ගැනීම පිණිස ඔවුන් ක්‍රියා කරමින් සිටින බව ද පුරපති සඳහන් කර තිබුනා. 

වර්ෂාව හේතුවෙන් ක්‍රිකට් තරග නතර වීම සාමාන්‍ය දෙයක් වුනත් හිරු නිසා තරගයක් නතර වූ පළමු අවස්ථාව මෙය යි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගත කරන ජීවිතය එදා සම්පූර්ණ වුනේ මේ සිදුවීමත් සමග. ඒ, ‘වර්ෂාව නිසා තරගය නතර වෙයි’ (Rain Stops Play), ‘ආලෝකය මඳ වීම හේතුවෙන් තරගය නතර වෙයි’ (Bad Light Stopped Play) යන සිරස්තල දැකීමෙන් පසුව ‘හිරු නිසා තරගය නතර වෙයි’ (Sun Stops Play) යනුවෙන් ද අවසානයේ අසන්නට ලැබුනු නිසාවෙන්.

සටහන :
දූවරුන්ගේ නම් සඳහන් පාවහන් පැළඳ කවාජා ක්‍රිකට් පිටියේ(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්