ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තාන සංචාරයේ දිගටම නියැලී සිටින ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දීමෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය එම සංචාරයේ තරග සටහන වෙනස් කර තිබෙනවා.
දෙපිල අතර දෙවැනි හා තෙවැනි ජාත්‍යන්තර තරග දිනකින් කල්දමා තිබෙන අතර ඒ අනුව අද (13) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගය පැවැත්වෙන්නේ හෙට. තෙවැනි තරගය 16 වැනිදා ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙන අතර මේ සියලු තරග හා ඉන්පසුව සිම්බාබ්වේ කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් නොවැම්බර් 18 සිට 29 දක්වා ක්‍රීඩා කිරීමට නියමිත ජාත්‍යන්තර විස්සයි20 තුන්කොන් තරගාවලිය ද පැවැත්වෙනු ඇත්තේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ.
නොවැම්බර් 11 වැනිදා පැවති පළමු එක්දින තරගයේදී පාකිස්තානය ට ලකුණු හයක තියුණු ජයක් හිමිවුනා.
පාකිස්තානය තරග සටහන මෙසේ වෙනස් කර තිබෙන්නේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම නතර වී සිටින හෝටලය පිහිටි ඉස්ලාමාබාද් නුවර සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව. එම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ආරක්ෂක හේතුන් මත යළි මව්බිමට පැමිණීමට අවසර ඉල්ලා සිටීමත් සමග පාකිස්තාන හා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වහාම ක්‍රියාත්මක වූ අතර පාකිස්තානයේ දිගටම රැඳී සිටින ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායමට උපදෙස් දුන්නා.
කෙසේ වෙතත්, මේ උපදෙස් නොතකා සංචාරක කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙක් හෝ සාමාජිකයෙක් නැවත ශ්‍රී ලංකාව ට පැමිණීමට තීරණය කළහොත් තරග සංචාරය බාධාවකින් තොරව අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිණිස ආදේශ ක්‍රීඩකයන් පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටියා.
සංචාරක ශ්‍රී ලංකා පාර්ශ්වයේ සෑම සාමාජිකයෙකුගේම ආරක්ෂාව පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සහතික වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ක්‍රීඩකයන් පිළිබඳව සැලකිලිමත් වන බව දන්වා සිටි අතර දිගටම තරග සංචාරයේ නියැලී සිටින ලෙසට දී තිබෙන උපදෙස්වලට එරෙහිව ක්‍රියා කරන ක්‍රීඩකයන් විධිමත් සමාලෝචනයකට ලක්කරනු ඇතැයි ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා සංචිතයට ‘වැරදිය නොහැකි ආරක්ෂාවක්’ පිළිබඳ සහතිකයක් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ලබා දී තිබෙන්නේ ඔවුන්ට රාජ්‍ය අමුත්තන්ගේ තත්ත්වය පිළිගන්වමින්. යුද හමුදාව හා යුද බළඇණිවලට සමාන කණ්ඩායම් යොදවා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තවත් තරකර තිබෙනවා.
ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සමග ඊයේ (12) පැවති සාකච්ඡාවකදී පාකිස්තාන රජයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ද වන පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොසින් නක්වි, ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිමත් ආරක්ෂාවක් ලබා දෙන බවට සහතික වී තිබෙනවා. ශ්‍රී ලංකා හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් දෙකේ ම කළමනාකරුවන් සහ ඉහළම පෙලේ ආරක්ෂක නිලධාරීන් මේ සාකච්ඡාවට සහභාගි වූ බවට වාර්තා වනවා.

තරග සංචාරය අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කිරීම පිළිබඳව නක්වි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පළකර තිබෙනවා. ඔහු පෞද්ගලිකවම ක්‍රීඩාංගණයට ගොස් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුණගැසී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් දී තිබෙන බව වාර්තා වනවා.
ඉස්ලාමාබාද් දිස්ත්‍රික් උසාවි ගොඩනැගිලි අසල අඟහරුවාදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තවත් 27 දෙනෙකුට තුවාල සිදුවුනා. මේ බෝම්බ පිපිරීම සිදුවුනේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය රාවල්පින්ඩි නුවරදී ආරම්භ වීමට පැය කිහිපයකට පෙර.
මේ සිද්ධියෙන් නැවත සිහිගන්වා තිබෙන්නේ 2009 වසරේ මාර්තුවේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට යමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයට ත්‍රස්තවාදී තුවක්කුකරුවන් විසින් සිදුකළ වෙඩිතැබීම. එම ප්‍රහාරයේදී මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස් හා තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවූ අතර එම සංචාරය වහාම අවලංගු කෙරුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය බවට පත්වීමෙන් පසුව කිසිම විදෙස් ක්‍රිකට් කණ්ඩායමක් දශකයකට ආසන්න කාලයක් තුළ පාකිස්තානයට ගියේ නැහැ.
මීට තෙවසරකට පෙර නවසිලන්ත කණ්ඩායම, ඔවුන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වීමට ඉඩ ඇති බවට ලැබුනු විශ්වාස කළහැකි බුද්ධි තොරතුරුවලින් පසුව රාවල්පින්ඩි නුවර පැවැත්වීමට නියමිතව තිබූ සුදු පන්දුවේ තරගමාලාවක් අහෝසි කර යළි සියරට ගියේ එකම තරගයක් හෝ ක්‍රීඩා නොකර.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







