තුර්කියේ වෘත්තීය පාපන්දු ලීග් තරගවල ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවලියන්ට සහභාගි වූ ක්‍රීඩකයන් 1,024ක් සහ තරග විනිසුරුවන් 149
දෙනෙකුට පාපන්දු ක්‍රීඩාව තාවකාලිකව තහනම් කිරීමට තුර්කි පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.
තුර්කියේ ඉහළම පාපන්දු කොටස වන සුපර් ලීගයේ ක්‍රීඩා සමාජ නියෝජනය කළ ක්‍රීඩකයන් 27 දෙනෙක් මේ ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවන්ට සහභාගි වී ඇති බවට එම සම්මේලනය විසින් සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා. වර්තමාන ශූරයින් වන ගැලටසරායි කණ්ඩායමේ දෙදෙනෙකු ඇතුළුව මේ ක්‍රීඩකයින් 27 දෙනා තුර්කි පාපන්දුවේ ඉහළම පෙලේ කණ්ඩායම් 18න් 14ක විසිරී සිටින බව තහවුරු වී තිබෙනවා.
ඉතිරි ක්‍රීඩකයන් 997 දෙනා පළමු ලීගය, දෙවැනි ලීගය හා තෙවැනි ලීගය යන පහළ කොටසේ ක්‍රීඩකයන් බව තුර්කි පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරනවා.

තරග සම්බන්ධව ඔට්ටු ඇල්ලූ බවට චෝදනා ලැබ සිටින තරග විනිසුරුවන් අතර ඉහළම මට්ටමේ තරග විනිශ්චය කිරීම සඳහා අනුමැතිය ලැබූ 7 දෙනෙක් සහ ඉහළම මට්ටමේ සහාය විනිසුරුවන් 15 දෙනෙකු ද සිටිනවා.
තහනමට ලක්වූ ක්‍රීඩකයන් අතර තුර්කි ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක 25 හැවිරිදි එරන් එල්මල (Eren Elmali) ද සිටිනවා. ගැලටසරායි (Galatasaray) යන ඉස්ටාන්බුල් නගරයේ පාපන්දු සමාජ කණ්ඩායමේ ආරක්ෂක පෙල ක්‍රීඩකයෙකු වන ඔහු මේ ක්‍රීඩා වාරයේ එම සමාජයේ චැම්පියන්ස් ලීග් තරග හතර ට ම ක්‍රීඩා කර තිබෙන අතර සැප්තැම්බරයේ ලිවපූල් කණ්ඩායමට එරෙහිව ගෝල් 1-0ක ජයක් අත්කර ගත් තරගය ද මීට ඇතුළත්. තුර්කියේ ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් තරග 20කට ක්‍රීඩා කර ඇති ඔහු බල්ගේරියාව හා ස්පාඤ්ඤය ට එරෙහි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා වන තුර්කි සංචිතයට ද නම් කර තිබුන ද, තරග ඔට්ටු ඇල්ලීමේ චෝදනාවලින් පසුව ඔහුව සංචිතයෙන් ඉවත් කෙරුනා.
මේ සම්බන්ධයෙන් එල්මල ‘ඉන්ස්ටග්‍රෑම්’ හි මෙසේ සටහන් කර තිබෙනවා: “මගේ නම මේ ලිපිගොනුවේ තියෙන්නේ මීට අවුරුදු පහකට පමණ කලින් මගේ දැනුවත්කම හෝ සහභාගිත්වයක් නැතිව මගේ කලින් කණ්ඩායම සහභාගි වූ තරගයක ඔට්ටුවක් අල්ලා තිබෙන නිසා බව මට පැහැදිලිව කියන්න අවශ්‍යයි. ඒ දවසේ ඉඳන්, කිසිම ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවකට හෝ මේ සිද්ධියට හෝ මගේ කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ.”
තරගවල ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් වන තහනම මාස 8 සිට 12 දක්වා වන පරාසයක තිබෙන අතර සේවය අත්හිටුවා තිබෙන තරග විනිසුරුවන් 149 දෙනාට අමතරව තවත් විනිසුරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙමින් තිබෙනවා.
මෑත වසරවලදී, තුර්කියේ පාපන්දු තරග විනිශ්චය උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ තරග නිලධාරීන්ට එරෙහිව පක්ෂපාතිත්වයේ චෝදනා එල්ල වීම බහුලව සිදුවන බැවින්.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







