හේටි පාපන්දු කණ්ඩායම වසර 51කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත් වුනා.
එහෙත් ලබන වසරේ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරග සඳහා සහභාගි වන එම කණ්ඩායම දිරිගැන්වීම පිණිස පැමිණීමට බලාපොරොත්තු වන හේටි පාපන්දු ක්‍රීඩා ලෝලීන්ව අමෙරිකාව සතුටින් පිළිගන්නේ නැති බව ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කරනවා.
1974 වසරෙන් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගත් හේටි දේශය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය ජූනි මාසයේ අත්සන් කරනු ලැබූ සංචාරක තහනමට අයත් රටවලින් එකක්. මේ ජනාධිපති නිවේදනය මගින් රටවල් 19ක පුද්ගලයන් අමෙරිකාව ට ඇතුළු වීම සීමා කර තිබෙනවා
එහෙත් ක්‍රීඩකයන් හා ඔවුන්ගේ පවුල්, පුහුණුකරුවන් හා සහාය මණ්ඩලයේ සාමාජිකයන්ට ප්‍රධාන තරග ඉසව්වලට සහභාගි වීමේ විශේෂ නිදහසක් එම ප්‍රකාශයට ඇතුළත් කර තිබෙනවා. නමුත් මේ විශේෂත්වය අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගවලට පැමිණීමට බලාපොරොත්තු වන හේටියානු ක්‍රීඩා ලෝලීන් හෝ නරඹන්නන්ට අදාළ නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අමෙරිකාවේ සංචාරය කිරීමේ තහනමට ලක්ව සිටිමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ ඉරානය සමග දැන් හේටි එක්ව සිටිනවා. මේ රටවල් දෙක ට ම එක සමානව මේ සංචාරක තහනම අදාළ වනවා.
කල්ලි අතර විශාල ලෙස පැතිරුණු ප්‍රචණ්ඩත්වය හා ඉතා නරක අතට හැරෙමින් තිබෙන මානුෂික තත්ත්වයන්ගෙන් සලකුණු කෙරුනු දේශපාලනමය අර්බුදයකට හේටි රට මුහුණ දී සිටින අතර ඔවුන්ගේ පාපන්දු කණ්ඩායම සත්කාරක තරග පවත්වන්නේ රටින් පිට ස්ථානවලයි.
වීසා බලපත්‍රවලට අයැදුම් කර තරග නැරඹීමට පැමිණීම සඳහා සම්මුඛ සාකච්ඡා සැලසුම් කර ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට තවමත් අවස්ථාව ඇතත්, ඔවුන් වීසා නිකුත් කිරීමට හෝ අමෙරිකාව ට ඇතුළු වීමට නුසුදුසු වීමට ඉඩ තිබෙන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







