එංගලන්තයේ ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙකු වන ග්‍රැහැම් තෝප් ට එංගලන්ත ක්‍රිකට් ප්‍රධානීන් වඩා හොඳ ආධාර ලබා දුන්නා නම් ඔහු තවමත් ජීවත්ව සිටිනු ඇති බවට තෝප්ගේ බිරිද විශ්වාස කරනවා.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු තනතුරෙන් ඉවත් කර වසර දෙක හමාරකට පසුව 2024 අගෝස්තුවේ 55 වැනි වියේ පසුවෙමින් සිටියදී තෝප් සියදිවි නසාගත්තා. එංගලන්තය හා සරේ කණ්ඩායම් වෙනුවෙන් ගතකළ සිය කීර්තිමත් දිගු ක්‍රිකට් දිවිය තුළ ඔහු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද පත්වුණා.
තෝප්‌ගේ මරණයෙන් ඔහුගේ බිරිඳ අමන්ඩා සහ දරුවන් මහත් අසරණ වූ අතර තෝප්ගේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අහෝසි කිරීම ඔහුට විනාශකාරී බලපෑමක් ඇති කළේ ඔහුට ඔහුගේ ක්‍රිකට් පවුල අහිමි වූ නිසා බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණ පරීක්ෂකවරයා කියා සිටියා.
එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ කොන්ත්‍රාත්තුව අහෝසි කළේ 2021-22 ‘අළු බඳුන’ ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ක්‍රීඩකයන් හා පුහුණුකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් කොවිඩ් වසංගතයේ සීමාවන් නොසලකා හැර හෝටලයක මධුවිත පානය කරද්දී ඔවුන් විසුරුවා හරිමින් සිටි පොලිස් නිලධාරීන්ව තෝප් සරදමට ලක්කිරීම වීඩියෝවකට නැගීමෙන් පසුව.
නමුත් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් එක පහරකින් තෝප්ව කපා දැමීම තම සැමියාගේ මානසික පහත වැටීමට ලොකු සාධකයක් වූ බව අමන්ඩා පවසනවා.
“ඒ සංචාරයේදී ග්‍රැහැම් ඉතාමත් භයානක මානසික තත්ත්වයකට ආසන්න වෙලයි හිටියේ. සිද්ධ වුන දේ ගැන එයා ඇත්තෙන්ම අධෛර්යයට පත්වෙලා හිටියා” යනුවෙන් ඇය ප්‍රකාශ කරනවා.
“ආපසු එද්දී ගුවන් යානය වටේ ගිය ඔහු ඒ සංචාරයේ සිටි හැම දෙනාගෙන්ම පෞද්ගලිකව සමාව ඉල්ලුවා.”
“ඊට පස්සේ, ඔහුට මානසික වශයෙන් සහාය වන රාමුවක පොඩි ඉඩක් හෝ එයාට තිබුණා නම් ලොකු වෙනසක් වෙන්න ඉඩ තිබුණා. එහෙම වුනා නම් එයා තවමත් ජීවත් වන බව ඉතා පැහැදිලියි.”
එම සංචාරයට මාස 18කට පෙර සිට තෝප් මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබමින් සිටි අතර තෝප් සේවයෙන් පහකිරීමෙන් පසුව ECBය ඔහුට මාර්ගගත උපදේශ සැසිවාර 10ක් සපයා දුන්නා.
තෝප් තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහුට නේවාසික පහසුකම් සහිත ප්‍රතිකාර ලබා දිය යුතු බවට ඔහුගේ මානසික උපදේශකවරයා විසින් තෝප්ගේ සාමාන්‍ය වෛද්‍යවරයාට නිර්දේශ කර තිබෙනවා.
එහෙත් මෙය සිදු නොවූ අතර ඔහු 2022 වසරේමැයි මාසයේදී සියදිවි නසා ගැනීමට උත්සාහ කළ අතර එයින් ලැබූ තුවාල සුව කිරීම පිණිස සති දෙකක දැඩි සත්කාර අවශ්‍ය වුනා.
එංගලන්ත කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් සොයා යාමේ කාර්යයක් 2022 වසර පසුභාගයේ ඔහුට යෝජනා කෙරුනද ඒ වන විට එය ප්‍රමාද වැඩි වූ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ග්‍රැහැම් තෝප්ගේ දුක්මුසු මරණය අද බොහෝ දෙනා මුහුණ දෙන මානසික සෞඛ්‍යයේ අභියෝග පිළිබඳව සිහි ගැන්වීමක් බව ECBය සඳහන් කරනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







