ආදි ශාස්ත්රාලයීය ක්රිකට් සංගමය (Old Sastralians Cricket Association) සංවිධානය කරන ‘ශාස්ත්රාලියන් ප්රිමියර් ලීග් 2026’ (SPL – Sastralian Premier League) තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය හෙට (18) පස්වරු 4.00 සිට යටදොළ හිමකර හෝටලයේ පැවැත්වෙනවා.
මතුගම ආනන්ද ශාස්ත්රාලය ජාතික පාසලේ ක්රිකට් ක්රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්ය මූල්ය පදනම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් එම විදුහල් කළමනාකාරිත්වය සහ ආදි සිසුන්ගේ එකමුතුවෙන් සංවිධානය කරන මේ අභිනව තරගාවලිය සඳහා ඉදිරිපත්ව සිටින කණ්ඩායම් අට ම ව්යාපාරික ප්රජාව විසින් මේ වන විට මිලදී ගෙන අවසන් වීම විශේෂත්වයක්. තරගාවලිය සඳහා ක්රීඩකයින් 143 දෙනෙකු ලියාපදිංචි වී සිටින අතර ඔවුන් අතරින් කණ්ඩායම් සඳහා ක්රීඩකයින් තෝරා ගැනීම හෙට පැවැත්වෙන වෙන්දේසියේදී සිදුවනවා.

සංචිත තෝරා ගැනීමේ නීති රීති
එක් කණ්ඩායමකට ක්රීඩකයින් 16 දෙනෙක් දක්වා තෝරා ගැනීමේ අවස්ථාව තිබෙන අතර කණ්ඩායම් නායකයින් වෙන්දේසියට ඇතුළත් වන්නේ නැහැ. මතුගම ප්රදේශයේ පාසල්වල ක්රිකට් ක්රීඩාවේ නිරත වන හෝ මීට පෙර නිරත වූ ක්රීඩකයින්ට ද ‘ආරාධිත ක්රීඩකයින්’ කාණ්ඩය (Guest Players) යටතේ වෙන්දේසිය හරහා කණ්ඩායම් නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනවා. ඒ අනුව, අනෙකුත් පාසල් නියෝජනය කරන ක්රීඩකයින් හය දෙනෙක් දක්වා කණ්ඩායමකට තෝරාගත හැකි වන අතර ඉන් සිවුදෙනෙක් අනිවාර්යයෙන්ම ක්රීඩා කළ යුතු වනවා.
මීට අමතරව, මතුගම ආනන්ද ශාස්ත්රාලය ජාතික පාසලේ වර්තමාන ක්රීඩකයින් දෙදෙනෙකු ද කණ්ඩායම් සංචිතවලට ඇතුළත් කර ගැනීම අනිවාර්ය කර තිබෙනවා. කෙසේ වෙතත්, එක් තරගයකදී මේ දෙදෙනාගෙන් එක් ක්රීඩකයෙක් පමණක් ක්රීඩා කිරීම ප්රමාණවත් වනවා. මෙයින් පාසලේ වත්මන් ක්රීඩකයින්ට පළපුරුදු ක්රීඩකයින් සමග ක්රීඩා කරමින් අත්දැකීම් ලබා ගැනීමට මං විවර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉතිරි ක්රීඩකයින් තෝරා ගැනීමේදී වයස අවුරුදු 20 ට වැඩි ක්රීඩකයින් පස් දෙනෙක් සහ අවුරුදු 40 ට වැඩි ක්රීඩකයින් තිදෙනෙක් ඇතුළත් කර ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව ලැබෙන අතර පාසලේ සියලුම ක්රීඩකයින් ‘පාසල් ක්රීඩකයින්’ (School Players) යන කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තරග කාලසටහන සහ කණ්ඩායම් පෙළගැස්ම
දහයයි10 (T10) ශෛලියෙන් පැවැත්වෙන තරගාවලියට අයත් සමස්ත තරග සංඛ්යාව 16ක්. තරගාවලිය නොවැම්බර් 7, 8 සහ 15 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් 16 වැනිදා අතිරේක දිනයක් ලෙස වෙන්කර තිබෙනවා.
තරගාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ ‘ඉම්පැක්ට් ක්රීඩකයෙක්’ (Impact Player) යොදා ගැනීමට කණ්ඩායම්වලට අවස්ථාව තිබීමයි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම්:
* ‘ඒ’ කාණ්ඩය: JSD Challenges, Jagath Express, Liveka Power Lions, Rexhill Warriors
* ‘බී’ කාණ්ඩය: JPI Royals, Five Star Heroes, Marine Titans, Finnk Falcons
(සටහන | වර්නන් ගුණසේකර)
ක්රීඩා සංස්කාරක




