හිස කෙස් රක්ෂණය කළ වේන් රූනි
මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ පුරාවෘත්තයක් වන වේන් රූනිගෙන් (Wayne Rooney). මීට දස වසරකට පෙර දෙවතාවක් හිසකෙස් රෝපණය කළ ඔහු දැන් ඔහුගේ කෙස් වැටිය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.
තමන්ගේ හිසකෙස් රක්ෂණය කළ පළමු ක්රීඩකයා රූනි නෙවෙයි. අමෙරිකානු පාපන්දු තරුවක් වන ට්රෝයි පලමාලු (Troy Polamalu) ඔහුගේ සුවිශේෂ ලක්ෂණය වූ කැරලි කළ කොණ්ඩය 2010 වසරේදී ඩොලර් මිලියනයකට (පවුම් 650,000ක් පමණ) රක්ෂණය කර තිබුණා.
ශරීර කොටස් රක්ෂණය කළ ක්රීඩකයෝ
පසුගිය වසර කිහිපයේදී තමන්ගේ ශරීරයේ විවිධ කොටස් රක්ෂණය කිරීමට තීරණය කළ ක්රීඩකයින් අතළොස්සකි මේ...
1. ඩේවිඩ් බෙකම් - කකුල්, පය, පා ඇඟිලි, මුහුණ
හිටපු මැන්චෙස්ටර් යුනයිටඩ් සහ රේආල් මෙඩ්රිඩ් තරුවක් වන ඩේවිඩ් බෙකම් පන්දුවට පා පහර එල්ල කිරීමට තිබූ හැකියාව නිසා ප්රසිද්ධියට පත්වුණා පමණක් නොව ඔහු ලිංගික ආකර්ෂණයේ සංකේතයක්, නිරූපණයක් හා කීර්තිමත් ව්යාපාරිකයෙකු ලෙසින් ද ජනප්රිය වුණා.
සරලව කිවතොත් බෙකම් ට කළ නොහැකි දෙයක් තිබුණේ නැහැ. ඔහු ඔහුගේ මුළු ශරීරය ම රක්ෂණය කිරීමට තීරණය කළේ ඒ නිසා වන්නට ඇති.
2006 වසරේදී ඔහු පවුම් මිලියන 100ක රක්ෂණ ගනුදෙනුවකට පිවිසියේ ඔහුගේ කකුල්, පාද, පා ඇඟිලි හා මුහුණේ පෙනුම ද ආවරණය වන ලෙසින්. ඒ කාලයේ එය ක්රීඩා ඉතිහාසයේ ලොකුම පෞද්ගලික රක්ෂණ සහතිකය වශයෙන් සලකනු ලැබුවා.
2. ක්රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ ලියොනල් මෙසී - කකුල්
එදා මෙදා තුර බිහිවූ ශ්රේෂ්ඨතම ක්රීඩකයින් දෙදෙනෙකු වන මේ පාපන්දු තරු යුගලය ඔවුන්ට කීර්තිය අත්කර දුන් කකුල් රක්ෂණය කිරීම පුදුමයට කරුණක් නෙවෙයි.
මෙසීගේ රක්ෂණය පවුම් මිලියන 682ක් බවට වාර්තා වුණේ බෙකම්ගේ රක්ෂණය සම්පූර්ණයෙන් අතුගා දමමින්.
රොනාල්ඩෝගේ රක්ෂණ ගිවිසුම ද බෙකම් ට වඩා වැඩි වූ අතර එහි වටිනාකම පවුම් මිලියන 109ක්.
3. ඊකර් කැසිලාස් හා මැනුවෙල් නොයා - අත්
නිදහස් පහර එල්ල කිරීමට හපන් ක්රීඩකයින් ඔවුන්ගේ පාද හා පා ඇඟිලි රක්ෂණය කරනවා. පුරාවෘත්ත ඉදිරි පෙළ ක්රීඩකයින් ඔවුන්ගේ කකුල් ආරක්ෂා කර ගන්නවා. ගෝල් රකින්නන් ඔවුන්ගේ දෑත් ආරක්ෂා කර ගන්නවා.
මේ ප්රතිමාමය ගෝල් නවත්වන්නන් දෙදෙනා ම ඔවුන්ගේ ගෝල් බේරාගන්නා අත් ආරක්ෂා වන බවට සහතික කිරීම පිණිස විවිධ ගනුදෙනුවලට අත්සන් කළා.
රේආල් මෙඩ්රිඩ් තරුව වන ඊකර් කැසිලාස් (Iker Casillas) එසේ කළ පළමුවැන්නා බවට 2007 වසරේදී පත්වුණේ පවුම් මිලියන හයක ගිවිසුමකට එළඹෙමින්.
2014 වසරේදී, බායින් මියුනික් කණ්ඩායමේ තරුව මැනුවෙල් නොයා (Manuel Neuer) ජර්මනිය සමග ඔහුගේ ලෝක කුසලාන ජයග්රහණයෙන් පසුව පවුම් මිලියන 2.5කට ඔහුගේ අත් රක්ෂණය කළා. මෙයින් ආවරණය වුණේ ගෝල් රකින්නෙකු ලෙස වෘත්තිමය වශයෙන් ඔහුගේ ක්රීඩාව නතර කරන තරමට ඔහුගේ අත්වලට සිදුවන තුවාල පමණයි. සුළු ආබාධ මේ ගිවිසුමෙන් ආවරණය වුනේ නැහැ.
4. ෆනැන්ඩෝ අලොන්සෝ - මහපට ඇඟිලි

මේ Formula One සුපිරි මෝටර් රථ ධාවකයා කැසිආස් හා නොයා මෙන් ඒ පැකේජයට ම ගියේ නැහැ. ඔහු විශේෂයෙන් අවධානය යොමු කළේ ඔහුගේ මහපට ඇඟිලිවලට යි.
2012 වසරේදී ඔහු පවුම් මිලියන 8.5ක පමණ රක්ෂණ ගිවිසුමක් ඇතිකර ගත්තේ ෆෙරාරි වෙනුවෙන් රිය පදවමින් සිටි වකවානුවේ.
කෙසේ වෙතත්, ඔහු මේ රක්ෂණ පැකේජයට මුදල් ගෙවුවේ නැහැ. එය ඔහුට ත්යාග කළේ ෆෙරාරිගේ අනුග්රාහකයින් වන සැන්ටැන්ඩර්.
5. කීරන් ලී - ශිශ්නය

මේ ලැයිස්තුවේ තිබෙන වඩාත්ම අරුම පුදුම රක්ෂණය මෙය බවට සැකයක් නැහැ.
වැඩිහිටි චිත්රපට නළුවෙකු ද වන Sunday League පාපන්දු ක්රීඩක කීරන් ලී (Keiran Lee) ඔහුගේ පිරිමිකම පවුම් මිලියන 800කට රක්ෂණය කළා.
මේ අමුතු රක්ෂණ සහතිකය ලබා ගත් ලෝකයේ එකම ක්රීඩා තරුව මොහු බවට විශ්වාස කෙරෙනවා.
6. මර්ව් හියුස් - උඩු රැවුල

ඔස්ට්රේලියානු හිටපු වේග පන්දු යවන්නෙකු වන මර්ව් හියුස්ගේ (Merv Hughes) උඩු රැවුල කොතරම් සංකේතාත්මක වූයේ ද කිවතොත් ඔහු එය රක්ෂණය කිරීමට තීරණය කළා.
වසර 1980 හා 1990 ගණන් වකවානුවේ ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායම්වල ජනප්රිය ක්රීඩකයෙකුව සිටි හියුස් ටෙස්ට් තරග 53ක් හා ජාත්යන්තර එක්දින තරග 33කට ක්රීඩා කළ ද ඔහු කැපී පෙනුනේ ඔහුගේ උඩු රැවුලෙන්.
ඔහු මේ ජනප්රිය උඩු රැවුල පවුම් 200,000කට ආසන්න මුදලකට රක්ෂණය කර තිබූ බව පැවසෙනවා.
- වර්නන් ගුණසේකර (ක්රීඩා සංස්කාරක)




