ඝෝෂාකාරී ක්රීඩා ලෝලීන්ගෙන් පිරුණු දීප්තිමත් ක්රීඩාංගණයක් සතුන්ට සුදුසු ස්ථානයක් නොවන බව මේ සත්ව අයිතීන්ගේ සංවිධානය ප්රකාශ කරනවා.
ක්රිස්ටල් පැලස් පාපන්දු සමාජයේ ක්රීඩාංගණය වන සෙල්හර්ස්ට් පාක් හි තරගවලට පෙර පැවැත්වෙන සන්දර්ශනවලට ‘ෆීනික්ස්’ (Phoenix) නමැති රාජාලියා පාවිච්චි කිරීම නතර කරන ලෙසට හා ජීවත් වන සත්වයන් නැවත කිසි විටෙකත් සංකේත වශයෙන් භාවිතා නොකරන ලෙසට ‘සතුන්ට සදාචාරමය ලෙස සැලකීම සඳහා වන ජනතාව’ (Peta – People for the Ethical Treatment of Animals) නමැති සංවිධානය ප්රිමියර් ලීග් පාපන්දු ක්රීඩා සමාජයට පවසා තිබෙනවා.
ක්රිස්ටල් පැලස් ‘රාජාලියෝ’
1973 වසරේ සිට ‘රාජාලියෝ’ (Eagles) ලෙසින් හැඳින්වෙන මේ ලන්ඩන් කණ්ඩායම ඔවුන්ගේ තරග පැවැත්වෙන දින සඳහා ජීවමාන රාජාලියෙක් 2010 වසරේදී හඳුන්වා දුන්නා. 2020 වසරේදී මිය ගිය ‘කේලා’ (Kayla) වසර දහයක කාලයක් එම කාර්යය ඉටු කළ අතර ඇගේ ආදේශය වන ‘ෆීනික්ස්’ ප්රථම වරට ඇයගේ කාරියට පිවිසියේ 2024 අගෝස්තුවේ වෙස්ට් හැම් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන්.
PETA අවධාරණය
ක්රීඩාංගණ වටපිටාවේදී කුරුල්ලන් බියට පත්ව, අන්දමන්ද වෙමින් හා කලබල වෙමින් උන් මෙන්ම ක්රීඩා ලෝලීන් ද අවදානමට ලක් කිරීමට ඉඩ තිබෙන බව Peta කියා සිටිනවා.
ප්රදර්ශන හා විනෝදාත්මක අවස්ථාවන්ට උන් භාවිතා කිරීම මගින් ස්වභාවයෙන්ම මිනිසුන් මඟ හරින කුරුල්ලන්ට උන්ගේ ස්වභාවික ඉව සමග නිරත වීමේ අවස්ථාව වළක්වන බව ද Peta සඳහන් කරනවා.
කුරුල්ලන් ඇතුළු ප්රාණවත් සංකේත සම්බන්ධ සිදුවීම්වල විස්තරාත්මක වාර්තා Peta සංවිධානය සතුව තිබෙනවා. තාප්ප, ජනේල හා තරගවලට යොදා ගන්නා බෝල සමග ගැටීමෙන් මිය ගිය හෝ තුවාල ලැබූ කුරුල්ලන් පිළිබඳව මෙන්ම නරඹන්නෙකුගේ හිස මතට ගොඩ බැස ඔහුගේ හිස් කබල ඇතුළට කුරුලු නිය ගිල්වූ උකුස්සෙකුගේ විස්තර ද ඔවුන් ළඟ තිබෙනවා.
2015 වසරේ පැවති ලීග් කුසලාන තරගයකදී ‘කේලා’ ට මුෂ්ටි පහරක් දීමට උත්සාහ කළ චාල්ටන් ඇත්ලටික් සමාජයීය ක්රීඩා ලෝලියෙකුට ඊට දෙවසරකට පසුව දඩුවම් නියම කෙරුණා.
සුදු පැහැති රාජාලියෝ නිදහසේ සංකේතයන් ලෙස බොහෝ විට සැලකෙන බැවින් ක්රීඩා ලෝලීන්ගේ විනෝදාස්වාදය පිණිස මේ කුරුල්ලන් යොදා ගැනීමට වඩා වැඩි සැලකීමක් උන්ට අයිති බව Peta අවධාරණය කරනවා.
- වර්නන් ගුණසේකර (ක්රීඩා සංස්කාරක)




