The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියට ආවේ නැත්නම් ශ්‍රී ලංකාවට වෙන මුදල්මය පාඩුව ගැන හිතන්නේ නැද්ද? -හිටපු පාකිස්තාන ක්‍රිකට් ලේකම්

T

The Leader Desk

January 29, 2026 • 3:04 PM

පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියට ආවේ නැත්නම් ශ්‍රී ලංකාවට වෙන මුදල්මය පාඩුව ගැන හිතන්නේ නැද්ද? -හිටපු පාකිස්තාන ක්‍රිකට් ලේකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ සියලු තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ බැවින්
  • තරගාවලියෙන් ඉවත් කෙරුනු බංග්ලාදේශය වෙනුවෙන් සහයෝගය දැක්වීමක් ලෙස පාකිස්තානයත් තරගාවලියෙන් ඉවත් වන බවට PCB සභාපති මෝසින් නක්වි තර්ජනය කර තිබෙනවා.
  • ඔවුන්ගේ සහභාගිත්වය පිළිබඳ පාකිස්තාන රජයේ අවසන් තීරණය සිකුරාදා (හෙට) හෝ සඳුදා ලබා දෙන බව නක්වි කියා තිබෙනවා.
  • පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පාකිස්තාන කණ්ඩායම මේ තරගාවලියට යැවිය යුතු ම බව ඔහු අවධාරණය කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාකිස්තානය තරගාවලිය වර්ජනය කළහොත් ශ්‍රී ලංකාව ට පාඩු විඳීමට සිදුවනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) හිටපු ලේකම් අරි‌ෆ් අලි අබ්බාසි පවසනවා.

තරගාවලියෙන් ඉවත් කෙරුනු බංග්ලාදේශය වෙනුවෙන් සහයෝගය දැක්වීමක් ලෙස පාකිස්තානයත් තරගාවලියෙන් ඉවත් වන බවට PCB සභාපති මෝසින් නක්වි තර්ජනය කර තිබෙනවා. ඔවුන්ගේ සහභාගිත්වය පිළිබඳ පාකිස්තාන රජයේ අවසන් තීරණය සිකුරාදා (හෙට) හෝ සඳුදා ලබා දෙන බව නක්වි කියා තිබෙනවා.

අබ්බාසි මෙන්ම PCBයේ හිටපු සභාපති ඛලිඩ් මහමූද් ද ලෝක කුසලාන තරගාවලියට පාකිස්තානය ඔවුන්ගේ කණ්ඩායම නොයැවීම පිළිබඳව කිසිම තර්කානුකූල හේතුවක් දකින්නේ නැහැ.


“පාකිස්තානය බංග්ලාදේශය ට සහයෝගය දැක්වීම මට තේරුම් ගන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) හා එහි සාමාජික රටවල ක්‍රිකට් මණ්ඩල සමග තිබෙන සබඳතාවන් පළුදු කර ගැනීම හැරුනුකොට කණ්ඩායම තරගාවලියට සහභාගි නොකිරීම මගින් PCBය ඉෂ්ට කර ගන්නා අරමුණ මොකක්ද?” යනුවෙන් අබ්බාස් ප්‍රශ්න කරනවා.


පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පාකිස්තාන කණ්ඩායම මේ තරගාවලියට යැවිය යුතු ම බව ඔහු අවධාරණය කරනවා.


“ශ්‍රී ලංකාවත් එක්ක අපට තිබෙන සබඳතාවට මොකද වෙන්නේ? පැහැදිලිවම, පාකිස්තානය තරගාවලියට ආවේ නැත්නම් ඔවුන්ට විශාල මුදල්මය පාඩුවක් සිදුවනවා. මොකද, ඉන්දියාව සමග තරගය ද ඇතුළුව පාකිස්තානයේ සියලු තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නිසා” යනුවෙන් අබ්බාස් පෙන්වා දෙනවා.


පාකිස්තානයේ ආකල්පය ප්‍රශංසනීය වූව ද, එය බුද්ධිමත් හා පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත කේන්ද්‍ර කරගත් එකක් ලෙස තිබිය යුතු බව ඛලිඩ් මහමූද් කියා සිටිනවා.


“පාකිස්තානය හැරුනුවිට වෙනත් කිසිම රටක ක්‍රිකට් මණ්ඩලයක් ඉන්දියාවේ පවත්වන තරග වෙනස් කරන ලෙසට බංග්ලාදේශය කළ ඉල්ලීමට සහාය නොදැක්වූ බව අපි මතක තබා ගත යුතුයි. බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය දරන මතය මට තේරෙනවා. නමුත් ඔවුන්ට ICC සාකච්ඡාවේදී කිසිම කෙනෙක් සහයෝගය නොදැක්වීමත් සැලකිය යුතු කාරණාවක්” යැයි මහමූද් සඳහන් කරනවා.


ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායම සහභාගි කරවන ලෙසට පාකිස්තානයේ හිටපු ටෙස්ට් පිතිකරු සහ හිටපු ප්‍රධාන තේරීම් නිලධාරී හා ප්‍රධාන පුහුණුකරු මෝසින් ඛාන් PCBයට බලකරනවා. “අපිට ඉන්දියාවත් එක්ක ප්‍රශ්න තියෙනවා. නමුත් අපි අපේ තරග සියල්ල ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ” යනුවෙන් ඔහු කියනවා. ‌ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමේ ICCයේ තීරණයට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අභියාචනය කිරීමක් හෝ අභියෝග කිරීමක් සිදු නොකරන බවට පළවූ වාර්තා තමා දුටු බව ද ඔහු කියනවා.

“එහෙම නම්, PCBය මොන පදනමේ සිට ද ඔවුන්ගේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට යවන්නෙ නැත්තේ. එය අපේ ක්‍රිකට් ක්‍රීඩාවට අහිතකර දෙයක් වේවි” යනුවෙන් ඔහු අනතුරු අඟවනවා.

ලෝක කුසලාන තරගාවලියේ ආරම්භය ළඟාවෙමින් තිබෙන මේ මොහොතේ පාකිස්තානයේ ආකල්පයට එරෙහිව ඔවුන්ගේ රටේ ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ද පෙළ ගැසෙමින් අන්ත පියවරක් නොගන්නා ලෙසට නක්වි ට බලකර සිටිනවා.

අවසන් තීරණයක් ගන්නා අතරතුර පාකිස්තානය සෑම දෙයක් ගැනම සිතේ තබා ගත යුතු බවට ඉන්සමාම් උල් හක්, මොහමඩ් යූසුෆ් හා මොහමඩ් හෆීස් යන හිටපු ක්‍රිකට් නායකයින් අවවාද කරනවා.

“පාකිස්තානය ලෝක කුසලානයේ තරග කරනවා දකින්න මම පෞද්ගලිකව කැමතියි. අපිට හොඳ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඉන්නවා. ඊටත්, අපේ කණ්ඩායම ලොකු තරගාවලියන්හි හොඳින් ක්‍රීඩා කරනවා දකින්න අපේ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍යයි” ඉන්සමාම් පවසනවා.

තරගාවලියෙන් ඉවත් වීම සඳහා ප්‍රමාණවත් හේතු නැති බැවින් පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියට සහභාගි වනු ඇති බවට කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වල හිටපු ප්‍රධාන පුහුණුකරු මෙන්ම හිටපු ප්‍රධාන තේරීම් නිලධාරියෙකු ද වන හිටපු ටෙස්ට් පිතිකරු හරූන් රෂීඩ් විශ්වාස කරනවා.

“අපි බංග්ලාදේශය ට සහාය දුන්නා. ඒක හොඳ දෙයක්. අපි ප්‍රතිපත්තිමය ආකල්පයක සිටියා. නමුත් දැන් ඇවිත් තියෙන්නේ අපේම ක්‍රිකට් ක්‍රීඩාව ගැනත් බැලිය යුතු කාලයයි” ඔහු ප්‍රකාශ කරනවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...