සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම පළමු ස්ථානය සමාගම් පහක් අතර බෙදී ගොස් තිබේ.


ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) 2020 වසරේ ආරම්භ කළ සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම (TRAC) වාර්ෂිකව සිදු කරයි. 

ඒ අනුව (2023 ජුලි 5 වන දිනට කොළඹ කොටස් වෙළඳපොළ දත්ත මත පදනම්ව) ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තු ගත, ප්‍රමුඛතම පොදු සමාගම් 125 මෙම වසරේ ඇගයීම්කරණයට ඇතුළත් විය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2024 පෙබරවාරි 15 වන දින පැවැත් විණ. 

අදාළ මාධ්‍ය සාකච්ඡාව සඳහා: TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා, වැඩසටහන් කළමනාකරු (පුද්ගලික අංශය), නිකෝල් එලායස් සහ, වැඩසටහන් නිලධාරී, (පුද්ගලික අංශය), ෆෙඩ්‍රික් වින්ස්ලෝ සහභාගි වුහ.

එහි දී TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා අදහස් දක්වමින් මෙසේ පැවසුවා ය.

 

“TRAC ඇගයීම හරහා ශ්‍රී ලංකාවේ සියලුම මහා පරිමාණ දූෂණ සිදුවීම්වලට විසඳුම් නොලැබෙන බව අපි දන්නවා. ඒ නිසා තමයි විවිධ ප්‍රවේශ ඔස්සේ දූෂණ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්න TISL ආයතනය උත්සාහ කරන්නේ. ඒ අතර පර්යේෂණ හා නඩු කටයුතු, අල්ලස් සහ දූෂණ විරෝධී පුහුණු වැඩසටහන් සහ වෙනත් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනවා. එසේ වුවත්, දූෂණ අවදානම අවම කිරීම සඳහා ආයතනික විනිවිදභාවය පවත්වා ගැනීම සමාගම්වලට ගත හැකි එක් වැදගත් පියවරක් ලෙස අපි දකිනවා.

 

නව නියාමන ප්‍රමිතීන්ට අනුකූල වීමට සමාගම් කැපවිය යුතුයි. ඒ වගේ ම අවම ප්‍රමිතීන්ට වඩා ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ස්වයං නියාමනයක් පවත්වා ගැනීම වැදගත් බව අපි විශ්වාස කරනවා. එම නිසා, සමාගම් තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් පෙන්නුම් කරන විනිවිදභාවය වරින් වර ඇගයීම මගින් එම සමාගම්වලට ඔවුන්ගේ ප්‍රතිපත්ති නිරතුරුව සමාලෝචනය කිරීමට සහ තොරතුරු අනාවරණය වැඩිදියුණු කර ගැනීමට උත්තේජනයක් සපයනු ඇති බවටත් අපි විශ්වාස කරනවා.” 

මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් 2024 පෙබරවාරි 15 වන දින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිකුත් කළ නිවේදනය යි.

 

සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධයෙන් පූර්ණ ලකුණු ලබා ගනිමින් මෙවර සමාගම් පහක් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත. පෙර වසරේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී සහ ටීජේ ලංකා පීඑල්සී යන සමාගම් මෙවර ද පළමු ස්ථානයේ රැඳී සිටින අතර, ලංකා දුම්කොළ සමාගම, ඩයලොග් ආසියාටා පීඑල්සී සහ දිල්මා සිලෝන් ටී යන සමාගම් ද මෙවර පළමු ස්ථානයට තේරී පත්ව ඇත. මෙම ඇගයීමේ ක්‍රියාවලියට අනුව සමාගම් 27ක් දෙවන කාණ්ඩයට ඇතුළත්ව තිබේ.   

 

2024 පෙබරවාරි 15වන දින නිකුත් කළ TRAC 2023 වාර්තාවට ඇතුළත් වන සියලුම සමාගම් සමස්තයක් ලෙස සැළකූ විට, 2022 වසරට සාපේක්ෂව සමාගම් වාර්තාකරණයේ යම් වර්ධනයක් පෙන්නුම් කරඇති බව (ලකුණුවල සාමාන්‍යය අගය 5.85/10) දැක්විය හැකි ය.  

TRAC 2023 වාර්තාව හරහා ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් දූෂණයට එරෙහිව සටන් කිරීමට ගත් පියවර මෙන්ම දූෂණය වැළැක්වීමට තීරණාත්මක වන ක්ෂේත්‍රවලට අදාළ වන තොරතුරු හෙළිදරව් කිරීමේ පිළිවෙත් පිළිබඳව තක්සේරු කර ඇත. එනම්, දූෂණ විරෝධී වැඩසටහන්, ආයතනික විනිවිදභාවය පවත්වා ගැනීම, දේශීය මූල්‍ය වාර්තාකරණය, ස්ත්‍රී පුරුෂ භාවය සහ වෙනස් ලෙස සැලකීම් නොකිරීමේ ප්‍රතිපත්ති පිළිබඳ වාර්තා කිරීම, රටින් රටට අදාළ වාර්තා වෙනම ම දැක්වීම, රජයේ කොන්ත්‍රාත්/ටෙන්ඩර් සම්බන්ධ ප්‍රසම්පාදන පිළිබඳ වාර්තා කිරීම යනාදී ක්ෂේත්‍ර මෙම ඇගයීමේදී සලකා බැලිණ. 

සමාගම්වල ප්‍රසිද්ධ කළ ඇති තොරතුරු මත පදනම්ව මෙම ඇගයීම සිදු කර ඇත. ඒ අනුව, සමාගම්වල තොරතුරු අනාවරණයේ මට්ටම අනුව 0 සිට 10 දක්වා ලකුණු ලබා දෙමින් (10 ඉහළම ලකුණු සහ 0 අඩුම ලකුණු) සියලු සමාගම් කාණ්ඩ හයකට වෙන්කර ඇත. ‘‘පූර්ණ විනිවිද භාවයක්, සැලකිය යුතු විනිවිද භාවයක්, මධ්‍යස්ථ විනිවිද භාවයක්, අර්ධ වශයෙන් විනිවිද භාවයක්, අඩු විනිවිද භාවයක් සහ අවම විනිවිද භාවයක්” පෙන්නුම් කරන ලෙස මෙම කාණ්ඩ හැදින්විය හැකි ය. මූලික ලකුණු ගණනයෙන් පසු සමාගම්වලට ඔවුන්ගේ ලකුණු පිළිබඳ ප්‍රතිපෝෂණ ලබා දීමට අවස්ථාව ලබා දුනි.  

TRAC ඇගයීමේ ඉහළ ලකුණු ලාභීන්ට අපි සුබ පතන අතරම, TRAC වාර්තාව මගින් සමාගම් සිය ආයතනික තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් පෙන්නුම් කරන විනිවිද භාවය පමණක් ඇගයීමට ලක්කරන අතර, ඒවායේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති හෝ වැඩසටහන් සත්‍ය ලෙස ක්‍රියාත්මක වන්නේදැයි TISL ආයතනය ඇගයීම් කර නැති බව මතක් කර සිටිමු.

 එබැවින්, අඩු ලකුණු ප්‍රමාණයක් ගත් පමණින් යම් සමාගමකට ශක්තිමත් දූෂණ විරෝධී වැඩසටහන් නොමැති බව හෝ සමාගමේ පාර්ශවයෙන් කිසියම් වරදක් ඇති බව අදහස් නොවේ. එසේම, යම් සමාගමක් ඉහළ ලකුණු ගත් පමණින් එහි දූෂණ-විරෝධී වැඩසටහන් සාර්ථකත්ව ක්‍රියාත්මක වන බව පිළිබිඹු නොවේ. එහෙත් එම සමාගම්වල දූෂණ විරෝධය, ආයතනික විනිවිදභාවය, දේශීය මූල්‍ය වාර්තාකරණය සහ ස්ත්‍රී පුරුෂ භාවය සහ අසාධාරණ ලෙස නොසැලකීම පිළිබඳ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු අනාවරණය කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණ පවතින බව කිව හැකිය.  

 

TRAC ඇගයීම වරින් වර සිදු කිරීම මගින් ව්‍යාපාර කටයුතුවල සුපිළිපන් භාවය සහ විනිවිද භාවය වැඩිදියුණු කර ගැනීමට සමාගම් දිරිමත් වනු ඇති බව TISL ආයතනයේ අපේක්ෂාවයි. මෙම ඇගයීමේ වැදගත්ම පරමාර්ථය වන්නේ දූෂණ විරෝධී භාවිත අන්තර්ග්‍රහණය කර ගැනීමටත් එම තොරතුරු ප්‍රසිද්ධියේ ලබා දීමටත් සමාගම් පෙලඹවීම ය.

 

අප රටේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ පැතිරී ඇති දූෂණය ද බරපතළ ප්‍රශ්නයකි. පෞද්ගලික අංශයේ පාර්ශ්ව බොහෝ විට රාජ්‍ය අංශයේ මහපරිමාණ දූෂණ ක්‍රියා සඳහා නිහඬ හවුල්කරුවන් හෝ දායකයින් ලෙස කටයුතු කරනු දැකිය හැකි ය. 2023 වසරේ අලුතින් හඳුන්වා දුන් දූෂණ විරෝධී පනත යටතේ පුද්ගලික අංශයේ අල්ලස් ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා ඇත. 

 
එපමණක් නොව, ලැයිස්තුගත සමාගම් අකටයුතුනාදකයින් (whistle-blower) පිළිබඳ ප්‍රතිපත්ති සහ අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කිරීම සහ එම ප්‍රතිපත්ති පිළිබඳ හෙළිදරව් කිරීම අවශ්‍ය බව දක්වමින් මෑතකදී කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමේ රීති සංශෝධනය කර ඇත. 
  
සටහන -   
ධූමලාවණ්‍යාගාරය'ට ඇතුළු වීමෙන් ඉක්බිති...- (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්